Sunday, February 9, 2014

මට කවුරුවත් ආදරේ නෑ ඒකයි මම හපා කෑවේ

මට කවුරුවත් ආදරේ නෑ ඒකයි මම හපා කෑවේ

සතුන් වත්තේ ටෝනි කියයි
ඔහෙලා හිතන්න එපා මං මේ ‍පාපොච්චාරණයක් කරන්න හදනවා කියලා. නමුත් මටත් තියෙනවා අයිතියක් මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා කියන්න. මං තිලක්ගෙ අතේ ඇඟිල්ලක් සපා කෑවාම ඒක මහ ලොකුවට පත්තරවල පළවුණේ හරියට මනුස්සයකුගෙ බෙල්ල සපා මරා දැම්මා වගේ බරපතළ විදියටයි.’
බලධාරීන්, සත්ත්වවේදීන්, මාධ්‍යවේදීන්, පශු වෛද්‍යවරුන් එක එක කතාන්දර කියාවී, ඒත් මේ කවුරුවත් හරියට මං ගැන දන්න එකක්යැ.
මං අයිති අප්‍රිකානු චිම්පන්සි වර්ගයට. මං ඉපදුණාම මගෙ අම්මා මාව අත ඇරියා. කිරි දුන්නේ නැහැ. චිම්පන්සි අම්මා කෙනෙකු පැටියා අතහැරියාම මොකෝ දැන් ඔය මිනිස් අම්මලත් දරුවෝ අත ඇරලා මහමඟ දාලා විතරක් නෙමෙයි උපන් හැටියෙ මරලත් දාන්නේ.
ඔහෙලා එහෙම කියාවි අම්මා මාව අතහැරියා කියලා මං අනාථ වුණේ නැහැ. හැමෝම එකතු වෙලා මාව හදාගත්තා. මට මතකයි බෝතලෙන් කිරි පොවනවා. මං අම්මගෙ කිරිවල රස හැඳිනුවේ නැති වුණාට පිටිකිරි රස හොඳට හඳුනනවා.
පුංචි කාලේ ඉඳලා මා බලා ගත්තේ තිලක් පුෂ්පකුමාර. එයා හරියට මට අම්මා තාත්තා වගෙයි. මං තිලක් අයියගේ ආදරේ හොඳට හඳුනනවා. එයා තමයි මට එක එක සෙල්ලම් ඉගැන්නුවේ. මම හැමදේම ඉගෙන ගත්තා. සෙනඟ ඉස්සරහා ඒ ඉගෙන ගත් සෙල්ලම් පෙන්නුවා.
පොඩි දරුවෝ තරුණ තරුණියෝ විතරක් නොවෙයි වැඩිහිටියොත් මගෙ දක්ෂකම් දැකලා සතුටු වෙනවා මං බලාගෙන හිටියේ ආඩම්බරයෙන්. මගේ දක්ෂකම් මතුකර ගත්තේ තිලක් අයියා.
කොහොමහරි ටික කලක් යනකොට රංචුවෙන් පන්නපු චිම්පන්සියෙක් කියලා මට කොහොමටවත් හිතුණේ නැහැ. මං ඉන්න තැනට ටිකක් පහළින් මගෙ සහෝදරයා සංජුත් ඉන්නවා. මං තිලක් අයියට බොහෝම කීකරුව හිටියා. ඒත් ඉතින් අපේ මුල තියෙන්නෙ කැලේනේ. චිම්පන්සි අපි හොඳට හික්මවන්න අමාරුනේ. කවදාහරි කැලෑ ගති මතු වෙනවාමයි. මං ටික ටික මුරණ්ඩු වෙනකොට බලධාරීන් සංදර්ශන වලින් අයින් කෙරුවා. ඊට පස්සේ මට සිද්ධ වුණේ මේ කූඩුවට වෙලා ඉන්න.
පේනවා නේද මේ කූඩුවේ හැටි හතර පැත්තම දිරා ගිහිල්ලා. බැලු බැල්මට ඔහේලට හිතේවී මේ චිම්පන්සියට මේ කූඩුව විශාල වැඩියි කියලා. ඒ වුණාට නිකමට හිතලා බලන්න මං කැලේ හිටියනම් දුව පැන ඇවිදින කැලෑවේ සීමා මායිම් තියෙනව ද කියලා.
මේ ලී කොටවලින් ගහපු අට්ටාලයයි, ඔංචිල්ලාවයි හැරෙන්න මට මොනව ද තියෙන්නේ. දැන් මේ යකඩත් දිරන්න පටන් අරගෙන. දැන් මගෙ වයස අවුරුදු එකොළහයි. ඒ කියන්නේ මගෙ හොඳම වයස. මෙච්චර කාලෙකට කාටද හිතුණේ මේ තනිකඩ මට ආදර වන්තියක් සොයා දෙන්න ඕන කියලා.
මේ හැමදේම ඉවසන්න පුළුවන්. ඒ වුණත් දැන් මිනිස්සු ඇවිල්ලා “ආ මෙයා ද මේ අර තිලක්ගේ ඇඟිල්ල කඩා ගත්ත චිම්පා... අපෝ අපේ ළමයින්වත් අයින් කරගන්න ඕන කියලා.’ මිනීමරුවෙක් දිහා බලන බැල්මෙන් මං දිහා බලන එක තමයි ඉවසන්න බැරි. ඒත් ඔය කවුරුවත් දන්නව ද ඇයි එහෙම වුණේ කියලා.
රැළෙන් පන්නපු මා බලා ගත්තේ තිලක් අයියා. අපි දෙන්නා අවුරුදු ගාණක් හිටියෙ හොඳ මිත්‍රයෝ වගේ. තිලක් අයියා හැරෙන්න වෙන කාටවත් මං මෙච්චර හිතවත්ව සිටියේ නැහැ. ඒත් හිටි හැටියේම තිලක් අයියා කුරුල්ලෝ බලාගන්න තැනට මාරු කළාම හිතාගන්න පුළුවන් ද ඔහෙලට මං විඳපු දුක.
ඒ තනිකම මට කියා ගන්න බැහැ. අපි හරියට යාළුවෝ වගේ හිටියේ. තිලක් අයියා ගියාට පස්සේ මාව බලාගන්න ආවේ පාලිත. අපරාදේ කියන්න බැහැ පාලිතත් හොඳයි. මගෙ කූඩුව අස්කරලා හොඳට පිරිසුදුව තියා ගන්නවා. ඒත් ඉතින් තිලක් අයියා නැති අඩුව පුරවන්න මේ අයට පුළුවන් ද?
කුරුල්ලෝ එක්ක ඉන්න ගියාට තිලක් අයියා හැමදාම වගේ මෙතනින් යනකොට මා බලන්න එනවා. ඒ එන ගමන් මට ටොෆියකුත් අරගෙන එනවා. මං උදේ ඉඳන් මේ කම්බිකූරු අතරින් බලාගෙන ඉන්නේ තිලක් අයියා කොයි මොහොතේ හෝ මෙතනින් යාවි කියලා.
තිලක් අයියා ඈත එනකොට මං අත්පුඩි ගහලා එයාට කතා කරනවා. ඒ වෙලාවට එයා ළඟට ඇවිත් මගෙ කටට ටොෆියක් දානවා. පහුගිය දවස්වල මට හිතුණා තිලක් අයියා වෙනස් වෙලා කියලා. ඊටත් වඩා එයා ළඟින් කුරුල්ලන්ගේ ගඳ තියෙන බව මට දැනෙන නිසයි.
ඇත්තම කිව්වොත් මට ඇතිවුණේ ඉරිසියාවක්. ඊටත් වඩා මගේ හිතේ තියෙන කැළඹිල්ල දන්නේ මං විතරයි. ඒ කැළඹිල්ල ඕනැනම් මෙහෙම කියන්න පුළුවන්. මානසික ආතතිය කියලත්. මං දන්නෙ නෑ පහුගිය දවස්වල මට මොනවා වුණා ද කියලා. මං තිලක්ගේ දකුණු අතේ දබර ඇඟිල්ල හයියෙන් හපලා ඇදලා ගත්තා.
ඒ හැපු පාරට තිලක් අයියගෙ නහරත් ඇදිලා ආවා. ඇඟිලි කොටය කූඩුව ඇතුළට වැටුණා. එතැන එක කලබලයයි. මට ඇහුණා කවුදෝ කියනවා අයිස්වල දමලා ඇඟිල්ල ගෙනියමු කියලා. තිලක් අයියවත් අයිස්වල දාපු ඇඟිල්ලත් කළුබෝවිල රෝහලට ගෙනිහිල්ලා තිබුණත් ඒත් මං හපලා තිබුණ විදියට ඒ ඇඟිල්ල බද්ධ කරන්න බැරිලු.
හදිසි අනතුරු වාට්ටුවේ හිටපු තිලක් අයියා වාට්ටු අංක 25 ට මාරු කරලා. මේක ඉතින් මං හුඟක් හිතාමතා සැලසුම් ගහලා කරපු දෙයක් නෙමෙයි. කොහොමද හොඳ? මං මේකට හදිසි කෝපය කියලා කිව්වොත් ඔයගොල්ල ඒ ගැන උරණ වෙන එකක් නැහැ.
ඕගොල්ලන්ට පුළුවන් ද චිම්පන්සියෙක් වුණු මගේ හැඟීම් තේරුම් ගන්න. තිලක් අයියගෙ සිද්ධියෙන් පස්සේ මේ දැල් කූඩුවට එහා ඇති පාර අයිනේ ඉඳන් තමයි මිනිස්සු මගෙ දිහා බලන්නෙ.
“මූ තමයි අර සේවකයාගෙ ඇඟිල්ල හපා කාලා තිබුණේ”
“ළමයින් එහෙම ළඟට යවන්න එපා.”
“දොස්තර මහත්තුරු මෙයාගේ මානසික තත්ත්වය හොඳ ද කියලා බලන්න හදන්නේ. මූට පිස්සු හැදිගෙන එනව ද දන්නෙ නෑ.”
“මේ චිම්පන්සියෙක් මිනිසකුගේ ඇඟිල්ල කඩා ගත්ත පළමු වතාව නොවෙයි. විශ්‍රාම ගිය පස් දෙනකුගේම ඇඟිලි, එක දෙක නැහැ චිම්පන්සියොම හපලා.”
උද්‍යාන සේවකයෝ මෙතැනට යන එන අයට මාව පෙන්වලා එක එක ජාතියේ කතන්දර කියනවා. ඇත්තම කිව්වොත් ඒ කතන්දර ඇහෙනකොට තරහා යනවා නෙමෙයි දුක හිතෙනවා.”
දැන් ඔය මගෙ කූඩුවට එහා පැත්තේ ඉන්නේ කිරි මැණිකෙයි, මාලියි, අර පොඩි එකිගෙ නම මොකක්ද කියලා මට මතක නැහැ. ඒගොල්ලන්ට නම් ලොකු ඉඩක් තියෙනවා. ඒත් මට තියෙන්නේ මේ යකඩ කූඩුව විතරයි. ඔහෙලානම් කියයි ඉඩකඩ ඕනෑවටත් වඩා වැඩියි කියලා. ඇවිත් බලන්නකෝ මේකෙ ඇතුළෙ ඉන්න පුළුවන් ද කියලා. හරියට හිර කූඩුවක් වගෙයි.
දැන් ඔය එක එක්කෙනා මං ගැන විවිධ කටකතා කියනවා. එතකොට බලධාරීන් තවත් කතා කියනවා. ඔහෙලා හිතන්න එපා මට පිස්සු හැදිලා කියලා. මිනිස්සු වෙච්ච ඔහෙලටත් ඉඳලා හිටලා කේන්ති යනවා නේද? මේ කූඩුවල ඉන්න අපිත් චිම්පන්සි වුණාට අපිටත් කේන්ති යනවා.
ආවේගශීලි ගති ලක්ෂණ පහළ වෙනවා. මං ඉතිං ඔය තිලක් අයියගෙ ඇඟිල්ල හැපුවේ එයාට ඔච්චර හානියක් වේවි කියලා හිතලා නෙමෙයි. තිලක් අයියට මං තාමත් කැමැතියි. මොනවා කරන්න ද නරක වෙලාව ආවාම ඔහොම තමයි.
තිලක් අයියා කියන්නේ මේ සත්තු බලා කියාගෙන පඩිය අරගෙන පවුල නඩත්තු කරන මනුස්සයෙක්. එහෙම කෙනකුගේ අතේ ඇඟිල්ලක් අඩුවීම පව් තමයි. ඒ වුණාට ඉතින් මොනවා කරන්න ද? කේන්ති ගියාම මොනවා වෙනව ද කියන්න බැහැ. මේක එහෙම වෙලාවක සිදුවුණු අත්වැරැද්දක්.
ඔය කිසිම දෙයක් වෙන්නේ නැහැ මටත් හැඟීම් දැනීම් තියෙන චිම්පන්සියෙක් විදිහට සැලකුවානම්. මේ හුණ්ඩුවක් වගෙ කූඩුව වෙනුවට තව ඔංචිල්ලාවක් දෙකක් එක්ක මට උඩ නඟින්න පනින්න තැන් කිහිපයකුත් එක්ක හොඳ කූඩුවක් හදලා මං කැමැති තිලක් අයියටම මාව බාරගන්න දුන්න නම් ඉවර‍නේ. දැන් අන්තිමට කවුද දුක් විඳින්නේ.
පත්තරවලත් මං ගැන විවිධ දේ පළවුණ නිසා මට පොඩි ආඩම්බරයකුත් තියෙනවා. ඒත් ඉතිං ඒ ප්‍රසිද්ධිය වැඩක් තියෙනව ද? නරක දෙයක් කරලනේ මං ප්‍රසිද්ධ වුණේ. තාමත් රෝහලේ ඉන්න තිලක් අයියා ගැන දුකයි. එයා ආයෙත් මෙහෙ ආවම මට කොහොමට සලකාවි ද දන්නෑ. දවසින් දවස මගෙ හිතේ අමාරුව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.
මේ හැමදේම ඔහේලට කිව්වේ කරපු වැරැද්දෙන් නිදහස් වෙන්න නෙමෙයි. සාධාරණව හිතන්න පුළුවන්නම් ඔහේලා තේරුම් ගන්න ඇයි මං එහෙම දරුණු වුණේ කියලා. මං වෙනුවෙන් කතා කරන්න ඉන්නේ තරුණ සත්ත්වවේදියෝ විතරයි. එගොල්ලෝ හැමදාම හිටියේ සත්තුන්ගෙ පැත්තේ. අනිත් අය නම් එක එක කතා කියනවනේ. තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් තේරුම් ගන්න ඕනෙ මොකක්ද වුණේ කියලා.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි