Tuesday, February 18, 2014

උගන්ඩාවේ දරුවන් බලන්නට නෑගම් ගිය ජනාධිපති ආර්යාව

උගන්ඩාවේ දරුවන් බලන්නට නෑගම් ගිය ජනාධිපති ආර්යාව


උගන්ඩාවේ පැවැත්වුණු වෛද්‍ය කඳවුරට සහභාගි වූ ලංකාවේ සහ උගන්ඩාවේ වෛද්‍ය කණ්ඩායම
උගන්ඩාව යනු සුපිරි පෙළැන්තියේ ජනප්‍රිය රාජ්‍යයක් නොවේ. කලෙකදී ඉඩිඅමින් නම් කුරිරු පාලකයාගෙන් බැට කෑ දරිද්‍රතාවයෙන් පෙළුණු එහෙත් වත්මන් ජනපති යුවේනි මුසවේනි මැතිතුමන්ගේ පාලනය හමුවේ හිස එසවීමට වෙරදරමින් සිටින අප්‍රිකානු කලාපයේ තවත් රාජ්‍යයකි.
උගන්ඩාවේ සෞඛ්‍ය දර්ශක ඉතා අඩු අගයන්හි පවතී. එහි ජනගහන වර්ධන වේගය සියයට 3.4ට වැඩිය. දළ උපත් අනුපාතිකය 46.5කි. මාතෘ මරණ අනුපාතිකය උපත් ලක්ෂයකට 435කි. උපතේ දී ආයු අපේක්ෂාව වයස අවු 56කි. මීට අමතරව ප්‍රතිශක්තිකරණ ප්‍රතිශතය ඉතා අඩු අගයක පවතී.
ශ්‍රී ලංකාවේ දක්නට නොමැති මැලේරියා රෝගය බහුල රටකි. ඒඩ්ස් රෝග ව්‍යාප්තිය සියයට 7කි. ක්ෂයරෝගය වෙනත් ආකාරයේ ‍බෝවන රෝග සහ මන්ද පෝෂණය බහුල වශයෙන් පවතී. බීමට ගන්නා ජලය විශාල ගැටලුවකි.
ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය සෙනෙහසේ දෑත් දිගු කළේ මෙවන් පරිසරයක පිහිටි අනාථ නිවාසයක වෙසෙන දරුවන් පිරිසකගේ සුබසාධනය වෙනුවෙනි.
උගන්ඩාව යනු ශ්‍රී ලංකාවට හිතවත්ව කටයුතු කරන තවත් ලෝක දේශපාලනයේ ප්‍රබල රාජ්‍යයකි. එහි ජනපති යුවේනි මුසවේනි මැතිතුමන් විසින් ශ්‍රී ලංකා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ගෙන් කළ එක් ඉල්ලීමක් වූයේ එහි පවතින සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බාවය වැඩි දියුණු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහයෝගය ලබා දෙන ලෙසයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ඉල්ලීම සතුටින් බාරගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ වෛද්‍ය කණ්ඩායමක් උගන්ඩා රාජ්‍යයේ වෙස්කෝ දිස්ත්‍රික්කයේ මසුලිටා ග්‍රාමයේ පිහිටි ඒඩ්ස් ආසාධිත දරුවන් පිරිසක් මුල් කරගෙන වෛද්‍ය සායනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරිණි. මෙම මහඟු පුණ්‍යකර්මයේ ගෞරවනීය නායකත්වය උසුලන ලද්දේ ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය විසිනිය.
ජනපති ආර්යාව ලෙසට රාජකාරිමය වගකීම් රැසක් ඉසිලුවද දරුවන්, මවුවරුන් සහ ගිලන් වූවන් වෙනුවෙන් ජීවිතයේ වැඩි කාලයක් කැප කරන මෙම උතුම් කාන්තාවගේ සේවාවන් ගැන කෙටියෙන් හෝ සඳහන් කිරීම මගේ යුතුකමකි.
 උගන්ඩාවේ ඒඩ්ස් ආසාදිත දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මඟින් ඉදිකිරීමට යෝජිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට මුල්ගල තැබූ අයුරු.
ශිරන්ති රාජපක්ෂ මැතිනිය කාල්ටන් පෙර පාසල් සමූහයේ නිර්මාතෘ මෙන්ම පාලන අධ්‍යක්ෂිකාව ද වේ. එහි ඉ‍ෙගන ගන්නා දරුවන් සංඛ්‍යාව දහස් ගණනකි. ආරම්භයේ සිට පසුගිය කාලය තුළ දැයට දායාද කෙරුණු දක්ෂතා ඔප් නැංවූ දරුවන් ද දහස් ගනණකි. සිරිලිය සවිය ප්‍රජා සත්කාරක සේවාව හරහා උපකාර ලබන සහ ජීවිතය ගොඩනංවාගත් දැ‍යේ මවුවරුන් ගණන අතිමහත්ය.
එමෙන්ම එම ඒකකයේ ක්‍රියාත්මක වන ගිලන් රථ සේවාව හරහා උපකාර ලබන සහ උපකාර ලැබ සුවපත් වූ රෝගීන් ගණන වයස් භේදයකින් තොරව දහස් ගණනකි. ලෝකයේ කුමන හෝ රාජ්‍යයක ජනපති මැඳුරක ගිලනුන්හට නේවාසික පහසුකම් සමඟ උපකාර සත්කාර කෙරේ නම් ඒ ශ්‍රී ලංක‍ාවේ ජනපති ආර්යාව විසින් කරනු ලබන සේවාව පමණි.
මීට අමතරව පිළිකා රෝගීන්හට සත්කාර කිරීම ද අක්ෂි ආබාධ සඳහා උපකාර කිරීම, රෝහල් වෙත අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම ද ප්‍රමුඛ ස්ථානයක් ගනී.
ශ්‍රී ලංකාවේ මාර්ග පහසුකම් පවා නොමැති ඉතා දුෂ්කර ප්‍රදේශවල පසුගිය වසර කිහිපය තුළදී පවත්වා ඇති වෛද්‍ය සායන ගණන තිහකට වැඩිය. මෙම සේවා සලසන ලද්දේ ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ සංකල්පයකට හා ම‍ඟ පෙන්වීමට අනුව නිර්මාණය කරන ලද කාල්ටන් සුව උදාන සෞඛ්‍ය හා සමාජ සත්කාරක සේවාව තුළිනි.
විවිධ ‍ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් නවීන පරීක්ෂණ පහසුකම් සහ සේවා ඔස්සේ ප්‍රතිලාභ ලැබූ ජනතාව දහස් ගණනකි. එමෙන්ම මෙහිදී රෝද පුටු, කිහිලිකරු, අත්වාරු, කෘත්‍රිම පාද ලබා දීම මෙන්ම පාසල් සඳහා පරිගණක, ක්‍රීඩා භාණ්ඩ, සංගීත භාණ්ඩ, පොත්පත් හා අනෙකුත් උපකරණ ලබා දීම වැනි බොහෝ සමාජ සත්කාරක ක්‍රියා ද ඉටු කෙරේ.
එමෙන්ම ලාංකේය නව ජන්ම ළදරු සත්කාරක සේවාවන් වෙනුවෙන් ද හෘද රෝගී දරුවන් ද තැලසීමියා රෝගයට ගොදුරු වූ දරුවන් සහ ඔටිසම් රෝගී දරුවන් වෙනුවෙන් ද උපකාර කිරීමට ආර්යාව පෙරමුණ ගෙන සිටින බව සඳහන් කළ යුතුය.
දැයේ ප්‍රථම කාන්තාව මෙන්ම ඇය දේශයේ මාතාව ලෙස හැඳින්වීම ද අතිශයෝක්තියක් නොවේ. මෙම උතුම් චරිතය දැයේ ප්‍රථම කාන්තාව වීම ලක්වැසි අප ලද භාග්‍යයකි.
ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ උගන්ඩා සංචාරය ශ්‍රී ලංකාවට අතිශය කීර්තියක් ගෙන දුන් බෙහෙවින් සාර්ථක සංචාරයක් බව සඳහන් කළ යුතුය. මේ වෛද්‍ය සායනය සැලසුම් කිරීම ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා උගන්ඩා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ආර්යාවගේ මඟ පෙන්වීම අනුව සිදුවිය.
සුහද කතාබහක
වෛද්‍ය පහසුකම් ගැන විමසමින්
ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු ඇතුළු නව දෙනෙකුගෙන් සමන්විත විය. පුරා දින දෙකක් ස්ථාන දෙකක දී සිදු කෙරුණු වෛද්‍ය කඳවුරුවලට පිරිස දෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූහ. මෙහිදී ඒඩ්ස් ආසාධිත නව රෝගීන්, මැලේරියා රෝගීන්, ක්ෂයරෝගීන්, පෝෂණ ඌනතාව අධික දරුවන්, සංජානනීය ආබාධ සහිත දරුවන්, සංකූලතා ඇති ගැබිණි මවුවරුන් සහ අක්ෂි ආබාධ සහිත දරුවන් හා වැඩිහිටියන් සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනාගැනීමට හැකි විය.
උගන්ඩා රජයේ සහයෝගය ඇතිව මේ සියලු රෝගීන් සඳහා පසු සොයා බැලීම් සහ පුනරුත්ථාපන කිරීම් ලබා දීමට කටයුතු සම්පාදනය කෙරිණ. ඉන් තෝරා ගැනුණු දරුවන් කිහිප දෙනකු සුවපත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාවේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී ලබා දීමට එකඟතාවයකට එළැඹිණ.
මීට අමතරව ආර්යාවගේ විශේෂ අවධානය යොමු කෙරුණු කරුණක් වූයේ ආරක්ෂිත ළමා හා මාතෘ සංරක්ෂණ වැඩ පිළිවෙළක අවශ්‍යතාවයි. මේ සඳහා ශ්‍රී ලංකා රජයේ සහයෝගය ලබා දීමට මැදිහත්ව කටයුතු කිරීමට එකඟ විය.
මේ වෛද්‍ය කඳවුරුවල කටයුතුවලට අමතරව එම අනාථ නිවාසයේ සහ ප්‍රජාවේ දරුවන්ගේ අනාගතය යහපත් කරනු වස් ශ්‍රී ලංකා රජයෙන් පරිත්‍යාග කෙරෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා මුල් ගල තැබීම ද ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නා ගසක පැළයක් රෝපණය කිරීම ද ආර්යාව විසින් සිදු කෙරිණ.
මේ කඳවුර පැවැත්වුණු කාලය පුරා සෑම අවස්ථාවක දීම සියලු කටයුතු සඳහා උගන්ඩා රජයේ ප්‍රසාදය සහ සහයෝගය නොමසුරුව ලැබිණි. එහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කළ උගන්ඩා රජයේ ජනපති ආර්යා ජැනට් මුසවේනි මැතිනිය පැවසුයේ ශ්‍රී ලංකා රජයේ ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය විසින් දරුවන් කෙරෙහි දැක්විය යුතු ආදරය කරුණාව හා සෞඛ්‍ය පිළිබඳ අවධානය කෙරෙහි උගන්ඩා ආර්යාවගේ දෑස් පාදන ලද බවත් ඒ මඟ පෙන්වීම පිළිබඳව ශ්‍රී ලංකා ජනපති ආර්යාවට ස්තුතිවන්ත වන බවත් ශ්‍රී ලංකා ජනපති ආර්යාවගේ පැමිණීම උගන්ඩාවේ දරුවන්හට ආශිර්වාදයක් වූ බවත්ය.
උගන්ඩාවේ ශ්‍රී ලංකා තානාපති කේ.කණනාදන් මහතා ප්‍රකාශයක් කරමින් මෙම සත්කාරවල ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර අන්‍යොන්‍ය අවබෝධය හා සම්බන්ධතාව ඉතා දැඩි වූ බවත් මෙවන් වූ වෛද්‍ය කඳවුරු අප්‍රිකානු කලාපය පුරා ව්‍යාප්ත කළ යුතු බවත් ඒ තුළින් ශ්‍රී ලංකාව අප්‍රිකානු කලාපය තුළ ඇති බැඳීම තවදුරටත් වර්ධනය කළ හැකි බවටත් කරන ලද වෛද්‍ය කඳවුර තුළින් උගන්ඩා රජයට මහත් ප්‍රතිලාභ අත්වූ බවත් ප්‍රකාශ කරන ලදී.
මේ සියලු කරුණු සලකා බැලීමේ දී ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ උගන්ඩා සංචාරය අතිශයින් සාර්ථක රටට මහත් ප්‍රතිලාභ අත්කර දුන් මෙන්ම දරුවන් රෝගීන් සහ මවුවරුන් කෙරෙහි ආර්යාව ගේ කැපවීම අන්තර්ජාතිකව ඇගැයීමට ලක්වූ අවස්ථාවක් බව සඳහන් කරනු කැමැත්තෙමි.


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි