Sunday, February 16, 2014

දැන් හැදෙන සින්දු අද ජනප්‍රියයි ඒත් ඒවා හෙට ඇහෙන්නේ නෑ

දැන් හැදෙන සින්දු අද ජනප්‍රියයි ඒත් ඒවා හෙට ඇහෙන්නේ නෑ

මහින්ද අල්ගම
ප්‍රවීණ ගී පද රචකයකු සහ ගුවන් විදුලි ළමා වැඩ සටහන් නිෂ්පාදකවරයකු වන මහින්ද අල්ගම දශක පහක යුග මෙහෙවර අගැයුණු “මහින්ද හරසර” ප්‍රසංගය ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ දී  පැවැත්විණි.
චන්ද්‍ර මඬලු යට සුරංගනාවන්
දූ සනසන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ...!
(ගායනය - නන්දා මාලිනි)
“මා ලැබු අත්දැකීම් ඇසුරින් ලියැවුණු ගීත කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් ශ්‍රාවක සිත්ගත් ගීතයක් තමයි ‘චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන්’ ගීතය. මේ ගී පද රචනය මා අතින් ලියැවුණේ නන්දා මාලිනී එයාගේ දුවව වඩාගෙන ඉන්න කොට දැකලයි! මම කවදාවත් ගීත ලියා නැහැ, ලියැවෙනවා මිසක්.”
ඔහු ජනපි‍්‍රය ගීත සංකල්පනා ගණනාවක හිමිකරු වුවද නිහඬ දිවි පෙවෙතකට හුරු පුරුදු වී සිටින හුදකලා මිනිසෙකි. ඔහු නමින් මහින්ද අල්ගම. ඔහු කලබල නැත. කැළඹෙන්නේ ද නැත. සන්සුන්ව සීරුවට දිවි මඟ පියවර තබන ඔහු මෙලොව වෙනස් නොවන මිනිසුන් සිටිනවා නම් ඔවුනතරින් එක් අයෙක් ද වේ. ඔහු වෙනුවෙන් “මහින්ද හරසර” ප්‍රසංගය පැවැති පසුගිය තිස් වැනිදා ඔහු ගී පද රචනය කළ “චන්ද්‍ර මඬුලු යට” ගීත ඇල්බමයත්, ඔහු විසින් රචිත ළමා ගී ඇතුළත් “තරු මුතු කුමරිය” ගීත ඇල්බමය සහ ග්‍රන්ථයත් එළිදැක්වීමට නියමිතව තිබුණි.
“ගුවන් විදුලියේ ළමා පිටියට තමයි මං මුලින්ම ගී පද රචනයක් කෙරුවේ. ‘සමනල කන්ද’ ගැනයි ඒ ගීතය ලිව්වේ. එතකොට මම ළමා පිටියේ ළමා ශිල්පියකු හැටියට කටයුතු කළා. ඒ මීට අවුරුදු පනහකට විතර ඉස්සෙල්ලා.”
“අයියයි (ජයම්පති අල්ගම) මඩවල එස්. රත්නායකයි තමයි මට මුලින්ම අතහිත දුන්නේ. මුල් කාලයේ චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, අරිසෙන් අහුබුදු, ඩොල්ටන් අල්විස්, මඩවල එස්. රත්නායක, කරුණාරත්න අබේසේකර වැනි නිර්මාණකරුවන්ගේ ගීත රස වින්දා. මං ගීත රචනයේදී ඔවුන්ගේ ගීත ආභාසයට ගත්තා.
ඒ වගේම ඉංගී‍්‍රසි ගීත අසා අධ්‍යයනය කළා. සිංහල සංගීතය සම්භාව්‍ය සංගීතය අතර සංස්කෘතීන් දෙකක සම්මිශ්‍රණයට මැදි වීමෙනුත් දැනුම්වත් වීම් වුණා. ගුණාත්මක නිර්මාණකරුවකු වීමට එම දැනුම මට බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව මගේ හැඟීමයි.”
ඔබ තවමත් ළමා පිටියට සම්බන්ධයි නේද?
“ඔව්. මම දැන් සෙනසුරාදා ළමා පිටියේ නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරනවා.
වර්තමාන ළමා ගීත පිළිබඳ ඔබේ අදහස...?
ඉස්සර ළමා ගීත ප්‍රශස්ත මට්ටමක තිබුණා. ඒත් අද ළමයින්ට සුදුසු ගීත නිර්මාණය වෙන්නෙ නැති තරම්.
ඔබ එලෙස පැවසුවත් ප්‍රථම රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී ප්‍රශස්ත ළමා ගී පද රචනය සඳහා ඔබට සම්මාන පිරිනැමුණා නේද?
නිර්මාණ සඳහා සම්මාන පිරිනැමුණාටම එම නිර්මාණ සමාජගත වූවා යැයි තීරණය කිරීම වැරැදියි. සම්මානයකින් කෙරෙන්නේ නිර්මාණ අගැයුමක් පමණයි.
රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී ඔබට තවත් සම්මානයක් ලැබුණා?
ඔව්, ගීත පද රචනා ක්ෂේත්‍රය වෙනුවෙන් මහගමසේකර අනුස්මරණ සම්මානය ලැබුණා.
රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමං කර
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...!
(ගායනය - නන්දා මාලිනි)
ගී පද රචනා ක්ෂේත්‍රයේ දශක පහක් නියැලී සිටි ඔබ මේ වන විට ගීත කොපමණ ගණනක් රචනා කර තිබෙනවා ද?
මේ අවුරුදු පනහටම ගීත තුන්සීයක් විතර රචනය කරලා ඇති. ප්‍රමාණයට වඩා ප්‍රමිතියයි ගී පද රචනයකදී මම සලකන්නේ. ප්‍රමිතියකට ලියැවෙන ගීත පරපුරෙන් පරපුරට යුග ගණනක් පවතිනවා.
අද එවැනි ගුණාත්මක ගී නිර්මාණ බිහි නොවන්නේ ඇයි?
අද හැමදේම සිදුවන්නේ මුදල් වලටයි. ප්‍රසිද්ධිය බලාගෙන මුදල් උදෙසා කරන නිර්මාණ ගුණාත්මක නිර්මාණ වෙන්නෙ නැහැ. ප්‍රචාරාත්මක පැත්තට වඩා පැවැත්මට ගුණාත්මක පැත්ත අවශ්‍යයි. අද එවැනි ගී නිර්මාණ කෙරෙනවා අඩුයි.
ඔබ ඔහොම කියන්නේ ඔබ ගුවන් විදුලියේ සේවය කළ හින්දා. ඔබේ ගීත වලට ප්‍රචාරාත්මක කීර්තියක් ලබා ගැනීමට හැකි වූ නිසා නොවේ ද?
නැහැ, මම නම් එවැනි කිසිම අයුතු ප්‍රයෝජනයක් ලබාගෙන නැහැ මම ලියපු ගීතවලට. ප්‍රචාරාත්මක කීර්තියකට වඩා එදා ගීතවලට ලැබුණේ ගුණාත්මක අගැයුමක්. ගීත රසිකයින්ගේ ආදරය නොමඳව ලැබුණු ගීත උදෙසා අමුතුවෙන් ප්‍රචාරයක් අවශ්‍ය වුණේ නැහැ.
ඔවුන් එම ගීත පවත්වා ගෙන ගියා.
ඔබ පවසන්නේ අද ගීත රසිකයින් උදෙසා ගී නිර්මාණය නොවන බව ද?
ඉඳහිට ගීතයක් දෙකක් හැරුණු විට බොහෝ ගීත රසිකයින් උදෙසා නිර්මාණය කරන ගීත නොවේ අද නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි එම ගීත අද ජනපි‍්‍රය වී හෙට නොඇසී යන්නේ. ගීත පද රචනා පමණක් නොවේ,
සංගීතය සහ ගායනය පිළිබඳව වුවත් කියන්න තියෙන්නේ එයමයි. චිත්ත සමාධියක් ඇති කරන්නයි ගීත නිර්මාණය කරන්න ඕනේ. ඒත් අද නටන්නයි ගීත නිර්මාණ කරන්නේ.
ඉතින් ඉස්සරත් නටන්න සුදුසු වේග රිද්ම ගී නිර්මාණ කෙරුණා නේ...?
හැබැයි අද වගේ බොල් ගී එදා ඒ ගීත අතර තිබුණේ නැහැ. උදාහරණයකට කියනවා නම් ‘නෙළුම් මලේ පෙති කඩලා’ ගීතය ගැන කියන්න. ඒ වගේ ලස්සන ගී අද නිර්මාණය වෙන්නේ නැහැ.
ඊට වගකිව යුත්තේ කවුරුන් ද?
අලුතින් පටන් ගත් එෆ්. එම්. නාලිකා. කිසිදු ප්‍රමිතියකට නැති ගීත ප්‍රචාරය කරමින් එවැනි ගීත මතු කරවන්නට දායක වන එෆ්. එම්. නාලිකා තමයි වගකිව යුත්තේ ගුණාත්මක ගීත නිර්මාණ ගීත රසිකයින්ගෙන් දුරස් කිරීමට.
පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගයන “ජීවිතය නැවතිලා” ගීතය ඔබේ ජීවන අත්දැකීමක් ද?
එහෙම කියන්නත් පුළුවන්. ආදරය කායික වශයෙන් විඳින්න ඕන නැහැ. පොත් මගේ පෙම්වතියයි.
ඔබේ බුද්ධිමය දේපළ ගැන ඔබ කල්පනා කර බලන්නෙ නැද්ද?
කල්පනා කර බලන්න දෙයක් නැහැ. මම මගේ ගායනා කර තිබෙන ගීත පද රචනා වෙන කාටවත් විකුණන්නේ නැහැ. ගායකයාටත් අයිතියක් තිබිය යුතුයි කියලයි මම හිතන්නේ. එතකොට ගීතයක් නිර්මාණය කරන්න දායක වෙන තුන් දෙනාටම අයිතිය ලැබීම සාධාරණයි. හැබැයි ඉතින් ගායක ගායිකාවොත් සදාචාර සම්පන්න වෙන්න ඕනේ. ඔවුන් දැනුම්වත් වෙනවා නම් ගී පද රචකයාටයි, සංගීත ශිල්පියාටයි ගෙවීමක් කරන්න අවශ්‍ය බව එතැනයි නිවැරැදි වෙන්න ඕනේ.
ගීත සඳහා ගෙවන කර්තෘ භාග පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙනවා ද?
දැන් ගුවන් විදුලියෙන් කර්තෘ භාග ගෙවනවා. මමත් ලබා ගත්තා. සෑම නිර්මාණ ශිල්පියකුටම කර්තෘ භාග ලබා ගත හැකියි. තවදුරටත් ඒ සඳහා විධිමත් සංවිධානයක් ඕනේ. එවිට කර්තෘ භාග නිසියාකාරව ගෙවීමට නිර්මාණ ප්‍රයෝජනයට ගන්නා සියලුම පුද්ගලයින් සහ ආයතන පෙළ ගැසෙයි කියලා මම හිතනවා.
ඔබේ සමකාලීනයන් පවා වෙනත් ආයතනවලට සම්බන්ධ වී උසස් තනතුරු සහ ඉහළ වැටුප් ලබද්දී ඔබ නොවෙනස්ව තවමත් ගුවන් විදුලියේ රැඳී සිටිනවා. වෙනස් වෙන්න හිතුණේම නැද්ද?
නැහැ. වෙනස් වෙන්න මට ඕන කමක් වුණේ නැහැ. ගුවන් විදුලිය මගේ තෙවැනි අම්මා විදිහටයි මම සලකන්නේ. මේ මාව හැදූ මව. මගේ පළමු අම්මා වැදූ මව. දෙවැනි අම්මා පාසල් මව. මේ අම්මලාගෙන් තුන් දෙනාගෙන් ඈත් වී යන්න මට හිතෙන්නේ නැහැ.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි