Thursday, February 20, 2014

8 වැනි දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය හෙට සිට

8 වැනි දැයට කිරුළ  ජාතික ප්‍රදර්ශනය හෙට සිට

‘ශ්‍රී ලාංකේයීය ජාතියේ පිබිදුම’ අටවැනි දැයට කිරුළ ජාතික සංවර්ධන මහා ප්‍රදර්ශනය හෙට (21) සවස 5.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේදී විවෘත කැ‍රේ. කුලියාපිටිය පිහිටි වයඹ විශ්වවිද්‍යාලය, කර්මික විදුහල සහ කුලියාපිටිය මධ්‍ය මහා විදුහල් භූමිය කේන්ද්‍රකොට අක්කර 162ක් පුරා දින හතක් තිස්සේ මේ මහා ප්‍රදර්ශනය පැවැත්වේ.
ජනාධිපතිතුමා, ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ ජනාධිපති ආර්යාව ප්‍රධාන සම්භාවණීය අමුත්තන් හෙට සවස 5.00ට ප්‍රදර්ශන භූමියේ ප්‍රධාන දොරටුව අභියසට සපැමිණීමට නියමිතය. එහිදී ජනාධිපතිතුමා පිළිගනු ලබන්නේ දැයට කිරුළ ප්‍රදර්ශන කමිටු සභාපති හා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය, වයඹ පළාත් දේශපාලන අධිකාරියේ නියෝජිතයෝ ප්‍රධාන රාජ්‍ය නිලධාරීහු විසිනි. අනතුරුව පිරිස ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන එනු ලබති.
හෙළ සංස්කෘතික අංගයන්ගේ අපූර්වත්වය රමණීය හා මනස්කාන්ත බව විදහා දක්වන නර්ථනාංගයක් පවත්වා සම්භාවණීය පිරිස පිළිගනු ඇත. පිරිස පිළිගැනීමේ කටයුත්ත ඇමැති රං‍ජිත් සියඹලාපිටිය මහතා විසින් සිදු කරනු ලබන්නේ ඉන් පසුවය.
ජනාධිපතිතුමාගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සිය කථාව සිදු කරනු ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශන කුටිය නරඹා සම්භාවණීය පිරිස තැපැල් දෙපාර්තමේන්තු කුටියට පිවිස එහිදී සමරු මුද්දරය නිකුත් කරනු ලබති.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ විවෘත කිරීමේ අභිමානවත් අවස්ථාවට විදේශීය තානාපතිවරු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු, රජයේ මැති ඇමැතිවරු, මහජන නියෝජිතයෝ මෙන්ම සර්ව ආගමික නායකයෝ විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
පසුදින (22) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට්ටිපොළ බස් නැවතුම් පොළ හා වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම, හෙට්ටිපොළ මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය, කුලියාපිටියමහ රෝහලට වෛද්‍ය උපකරණ බෙදාදීම, කුලියාපිටිය උසාවි සංකීර්ණය විවෘත කිරීම සිදු වේ.
වයඹ විශ්වවිද්‍යාල භූමි ශ්‍රවණාගාරයේදී සවස 3.00ට, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක දෙකේ ඉඩම් ඔප්පු 1000ක් පිරිනැමේ. අනතුරුව නැවත වතාවක් ජනාධිපතිතුමා දැයට කිරුළ ප්‍රදර්ශනය නරඹනු ඇත.
රාත්‍රී 7.30ට කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලයේදී වණිජ මණ්ඩල ව්‍යාපාරික සම්මේලනය සංවිධානය කරන හොඳම ව්‍යාපාරිකයන්ට හිමි සම්මාන ප්‍රදානෝත්සවයට ජනාධිපතිතුමා එක් වේ. මෙහිදී කුඩා මධ්‍යම සහ මහා පරිමාණ හොඳම ව්‍යාපාරිකයින් සඳහා සම්මාන 9ක් ප්‍රදානය කැරේ.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 23 වැනි ඉරිදා පුත්තලම දිස්ත්‍රික්කයේ ‍පොදු පහසුකම් කිහිපයක් ජනතා අයිතියට පත් කැරේ. එදින උදේ 10.00ට නවගත්තේගම මධ්‍ය මහා විදුහලේ තෙමහල් පරිපාලන ඒකකය හා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කැරේ.
උදේ 11.20ට වනාතවිල්ලුව බණ්ඩාරනායක මහ විදුහලේ තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීම, පුත්තලම සහිරා ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර විවෘත කිරීම, පාලවිය කල්පිටිය සංවර්ධනය කරන ලද මාර්ගයේ නොරොච්චෝල නගරයේදී විවෘත කිරීම සිදු කැ‍රේ. හලාවත හැලඹවටවන ශ්‍රී සද්ධානන්ද විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීම සිදු කරනුයේ සවස 4.30ටයි.
රුපියල් මිලියන පනස් දහසකට අධික මුදලක් වැය කොට කුරුණෑගල, පුත්තලම හා කෑගල්ල දිස්ත්‍රික්ක තුනේ පොදු පහසුකම් දියුණු කැරිණි. ඒ අනුව ජනතා සුබ සාධන ව්‍යාපෘති ලක්ෂ 1 1/2කට වඩා ක්‍රියාත්මක කොට ඇත.


http://www.dinamina.lk/2014/02/20/_art.asp?fn=n1402202

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි