Saturday, September 6, 2014

පාට සරුංගල්

පාට සරුංගල්

පාසල් ‍නිවාඩු කාලෙ චන්දිම අයියයි මමයි මගෙ යාළුවෝ සෙනුර රනෝද් සමඟ හැන්ද‍‍ෑවේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියා. හැංගිමුත්තන් කළා. බෝල ගැසුවා, තරගයට දිවුවා. අපි මෙහෙම සෙල්ලම් කර කර ඉන්නකොට දැක්කා. අහසේ සරුංගල් එහාට මෙහාට පාවෙනවා. අහසේ උඩින් ම පාවෙලා යන නිසා අපි සරුංගල් දැක්කෙ පුංචිවටයි.
චන්දිම අයියා කීවා ‘අපිත් හෙට උදේ සරුංගල් හදමු’, ‘ඔයාලට මම කියල දෙන්නම්’ කීවා. මමයි යාළුවෝ දෙන්නයි ඒ අදහසට කැමැති වුණා.
ගම්, නූල්, පාට පාට සව් කඩදාසි, කතුරු අරගෙන අඹ ගහයට පැදුරක් එළා ගෙන අපි වාඩි වුණා. චන්දිම අයියා බට පඳුරෙන් බට ලී කපාගෙන ඇවිත් බට පඳුරුවලින් සරුංගල් හදන හැටි අපිට කියල දුන්නා. පළමුව කුරුසය වගෙ බට පතුරු දෙකක් එකට තියල නූල්වලින් තදට ගැට ගහල කතිරය මැදට ඇඟිලි තියල ඔසවල බලල එහෙම මෙහෙට ඇල නොවුණොත් හරි.ඇල වුණෝතින් බැඳපු තැනින් බැම්ම එහාට මෙහාට කරල සමබර කරගන්නවා. පසුව බට පතුරු දෙකේ කොන් සතරට නූල් දමල පොඩි වකයක් එන විදිහට නූල ඇදල තදට බඳින්න කියල දුන්නා. අපි අයියා කියල දුන්න විදිහට සරුංගල් සැකිලි හදාගෙන ඉවර වුණා.
ඊළඟට සරුංගල් සැකිලිවලට නූල් දමල කොළ අලවන හැටි කියල දුන්නා. කොළ අලවල නූල දැම්මොත් කොළ ඉරෙයි කීවා. වක ඇති පැත්තේ උඩ සිට යටටයි නූල දමන්නෙ. එතකොට තමා සරුංගල් උඩු සුළඟට බදල නිල් අහසේ පාවෙන්නෙ කියල අයියා කීවා. ඉන් පසුව අපි සරුංගල් පාට පාට කොළවලින් ලස්සනට අලවා ගත්තා. පාට පාට රැළි කපල සරුංගල්වල අලවල සරුංගල් හැඩ වැඩ කර ගත්තා. ලස්සනම ලස්සන සරුංගල් ටිකක් අපිම හදපු නිසා අපිට ලොකු සතුටක් දැනුණා.
හැන්දෑවේ චන්දිම අයියා මම රනෝද් සෙනුර අපි හතර දෙනා සරුංගල් අරගෙන පිට්ටනියට ගියා. නිල් අහසේ සරුංගල් පා කරන්ට එවෙන කොට මගේ පාසලේ යාළුවෝ කට්ටියක් ද පිට්ටනියට ඇවිත් සිටියා.
නයි සරුංගල් මොනර සරුංගල්, පෙට්ටි සරුංගල්. විවිධ පාටවලින් අළවා හැඩ කරගෙන තිබුණා. අපි හැමෝම සතුටින් නිල් අහසේ මඳ සුළ‍ඟේ සරුංගල් පා කරා. අපේ සරුංගල්වල රැලි වැනි වැනී ඉහළට පහළට පා වුණා. සමහර සරුංගල් ඈතට ගියා. ඒ වෙලාවේ අහස රන්වන් පාටින් හැඩවෙලා තිබුණු නිසා සරුංගල් දේදුනු පාටට හරිම ලස්සනට අපිට පෙනුණා. කොටසක් අහසේ ඉහළට පාවෙලා යනවා කොටසක් පහළට පාවෙලා එනවා. සුළඟ ටික ටික වැඩි වෙනකොට සරුංගල් වෙනත් සරුංගල්වල නූල් සමඟ පැටලිලා. සරුංගල් කැඩිලා ඈතින් ඈතට පාවෙලා යන හැටි අපි දැක්කේ මල් ගොන්නක් පාවෙලා යනවා වගේ. අන්තිමට පුංචි තිත් වගේ ඈතට පාවෙලා ගියා. එහෙම වුණා කියල අපිට දුක හිතුණෙ නෑ අපි ලස්සනට සරුංගල් හදන්න දන්නවා කියල සතුටු වුණා. ඊළඟ සැරේ අපි හැමෝම එකතු වෙලා සරුංගල් තරගයක් තියමු කියල චන්දිම අයියා කීවා. පිට්ටනියේ සිට අපි හතර දෙනා සතුටින් ගෙදරට ආවා.
එනිදු සුපසන් ප්‍රේමසුන්දර,
2 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල,
කොළඹ - 08.

http://www.silumina.lk/2014/09/07/_art.asp?fn=au140907

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි