Monday, June 1, 2015

කට පාඩම් කරන්න එපා! අවබෝධයෙන් පිළිතුරු සපයන්න

අගෝස්තු මස 04 වැනිදා අ.පො.ස. උසස් පෙළ විභාගය ආරම්භ වෙයි. මේ වන විට උසස් පෙළ කඩඉම ජයගෙන සරසවි වරම් ලබන්න ඔබ හොඳ සූදානමකින් ඇති. ඔබේ ඒ සූදානමට මේ කරුණු එක්කැරගතහොත් ඔබට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වනු ඇත. පැය තුනේ විභාග ප්‍රශ්න පත්‍රයට මුහුණ දී ජයග්‍රාහී ඉලක්ක කරා යාමට ඔබට අත්වැලෙන් අත්වැලක් සපයන්නේ විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතාය.


ඔබ මේ වන විට උසස් පෙළ විභාගයට හොඳින් සූදානම්ව ඇති. පෙරහුරු හා පසුගිය ප්‍රශ්න පත්‍ර කරමින් මනා පුහුණුවක් ද ලබන්නට ඇත. ඔබේ ඒ උත්සාහය පැය තුනේ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව අනුගත කරන්නේ කෙසේ ද?
පැය තුනක ප්‍රශ්න පත්‍රයට නිවැරැදිව මුහුණදෙන හැටි.
“මම හොඳට විභාගයට පාඩම් කළා. ඒත් බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය ලබාගන්න බැරිවුණා.”
“මම හොඳට පිළිතුරු ලිව්වා. ඒත් ‘A’ එකක් නැහැ...”
“මම පංතියේ හැමදාම පළමුවැනියා. ඒත් මට පහළින් සිටිය අයගේ ප්‍රතිඵල මට වැඩිය හොඳයි...”
මේ මැසිවිලි ප්‍රතිඵල පිටවූවාට පසු නිතර අසන්නට ලැබේ. කොහොමද මෙහෙම වෙන්නෙ?
“අපි නිතර අසන දකින දෙයක් තමයි හොඳ දැනුමක් දක්ෂතාවක් තිබෙන දරුවන් විභාගයෙන් අසමත්වීම. මෙවැනි පැමිණිලි නිතරම විභාග දෙපාර්තමේන්තුවට ගලා එනවා. සමහර ළමයින් පන්ති කාමරයේදී ඉහළම දක්ෂතාවක් පෙන්නුම් කරනවා. නමුත් විභාගයේදී අසමත් නැතිනම් ලබාගන්නේ අඩු සමාර්ථයක්. මේ සියලු දේම තීරණය වන්නේ ඔබ පිළිතුරු ලිවීමට පැය තුනක් ගතකරන ආකාරය අනුවයි. කොතරම් හොඳින් පාඩම් කළත් පැය තුන තුළ එය නිවැරැදිව ගළපා ගන්න ඔබට බැරිනම් ඔබ අසමත්...”
“බොහෝ දක්ෂ දරුවන් කරන වරදක් වන්නේ තමන් දන්නා සියලු දේ ඒ ආකාරයෙන්ම පිළිතුරු පත්‍රයට ඇතුළත් කිරීමයි. නැතිනම් තමන් දන්නා සියලු දේ වලින් පිටු පිරවීමයි. පාඩම් කිරීම යනු කටපාඩම් කිරීමම නොවේ. මෙය බොහෝ ශිෂ්‍යයන් පටලා ගන්නා තැනකි. කටපාඩම් කළ දේ අමතක වුවහොත් එය අමතකම වී යාමකි. නමුත් පාඩම් කළ යුත්තේ හොඳින් තේරුම් අරගෙනය. කටපාඩම් කිරීම තුළින් ඒ මතකය ඉතා කෙටි කාලයකදී අමතක වී යන නිසා විභාගයට ඔබ සූදානම් විය යුත්තේ අවබෝධයෙන් පාඩම් කිරීමෙනි. කටපාඩම් කිරීමෙන් කිසි විටකත් ප්‍රශ්නයකට නිවැරැදි පිළිතුරක් ගොනු කළ නොහැකිය.
ප්‍රශ්නයක් ඇසු විට එම ප්‍රශ්නයේ ස්වභාවය හඳුනා ගැනීමට නොහැකි වන්නේ ද කටපාඩම් කිරීම නිසාය. මන්ද එවිට ප්‍රශ්නය දුටු ගමන්ම සිත දිව යන්නේ සටහන් පොතට බැවිනි. සටහන් පොතේ සටහනට අදාළ වචන කිහිපයක් ප්‍රශ්නයේ දුටුවහොත් ඔහු පිළිතුරට ලියන්නේ සටහන පමණි. එම නිසා කට පාඩම් කර විභාගයට පිළිතුරු ලිවීම අසාර්ථක ක්‍රමයක්.
මේ වන විට ඔබ ප්‍රශ්නයට අදාළව අසා තිබෙන දෙයට පිළිතුරු ලිවීමට හොඳ පුහුණුවක් ලබා තිබිය යුතුය. ප්‍රශ්නයට අදාළව අසා තිබෙන දෙයට පිළිතුරු සැපයුවානම් එය ප්‍රමාණවත් වේ. පිටුවකින් පිළිතුරු ලිවිය යුතු දේට පිටු පහකින් පිළිතුරු ලිවීමෙන් වන්නේ කාලය නිරපරාදේ විනාශ වීම හා ලබාගන්නා ලකුණු ප්‍රමාණය අහිමි වී යාම පමණි.
ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමට ප්‍රථම එය විස්තර කළ යුතු ද? හඳුන්වා දිය යුතු ද? විමර්ශනය කළ යුතු ද? කෙටියෙන් දැක්විය යුතු ද යන්න අසා ඇති ස්වරූපය හොඳින් අවබෝධ කරගත යුතුය. ප්‍රශ්නයට පිළිතුරු ලිවිය යුත්තේ දී ඇති උපදෙස් හා අසා ඇති ස්වරූපය අනුවය.
ඔබ උපදෙස් හරියාකාරව නොකියවා පිළිතුරු ලිවීමට යාමෙන් කාලය නාස්ති වන අතර ලකුණු ද අහිමි කරගනී.
බොහෝ ශිෂ්‍යයන් පැය තුනක ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී වැඩිපුර ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලිවීමට උත්සාහ දරති. මෙසේ ලිවීමෙන් කිසිම ඵලක් නැත. ඔබ ඉතා හොඳින් පිළිතුරු ලියූවත් පරීක්ෂකවරුන් කරන්නේ වැඩිපුර පිළිතුරු අගින් කපා ඉවත් කිරීමයි. බොහෝ දක්ෂතා ඇති අය අසමත් වන්නේ ද මේ නිසාය.
සමහර අය එතරම් දක්ෂ නොවුණත් දී ඇති උපදෙස් හොඳින් කියවා වැල්වටාරම් නොලියා දන්නා දෙයින් පිළිතුර සපයයි. බොහෝ විට මේ අය ඉතා හොඳ ලකුණු ලබාගනිති.
තව මාස දෙකකින් විභාගයට සූදානම් වන බව ඉතා හොඳින් කාල කළමනාකරණය කරගන්නට පුහුණුවිය යුතුය. පැය තුනක ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු ලබාදිය හැකි වන්නේ පිළිතුරු ලිවිය යුතු ප්‍රශ්නයන්ට අදාළව කාලය කළමනාකරණය කරගතහොත් පමණි.
විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නය හොඳින් අවබෝධ වනතුරු කියවන්න. ප්‍රශ්නය දුටු ගමන් පිළිතුරු ලියන්න යන්න එපා. ප්‍රශ්නයේ කොටස් අනු කොටස් සියල්ලන්ටම ලකුණු හිමිවන නිසා ඒ සියල්ලන්ටම ඉතා හොඳින් පිළිතුරු ලබා දිය යුතුය.
මේ වන විට ඔබ පියවරෙන් පියවර නිවැරැදිව පිළිතුර ලියන ආකාරය හුරු විය යුතුය. නිතරම ප්‍රශ්නවලට පිළිතුරු ලියා හුරු විය යුතුය. ඔබ අවබෝධයෙන් පාඩම් කළා නම් ප්‍රශ්නයකට පිළිතුරු ලිවීම පහසුය.
ඔබ ප්‍රශ්න තෝරා ගැනීමේදී ‍තමන්ට වඩාත් පහසු ප්‍රශ්න තෝරාගත යුතුය. ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමිවන ලකුණු ගණන සඳහන් නිසා උපරීම ලකුණකට යා හැකි ප්‍රශ්න තෝරාගත යුතුය.
බොහෝ ශිෂ්‍යයෝ ගියවර උ/පෙළ විභාගයට පැමිණි ප්‍රශ්න මෙවර නොඑතියි අනුමාන කරති. අපි ප්‍රශ්න සකසන්නේ විෂය නිර්දේශ, ගුරු අත්පොත් හා පසුගිය ප්‍රශ්න පත්‍ර ආශ්‍රයෙනි. එම නිසා පසුගිය වසර ප්‍රශ්න ද මෙවර නොඑතියි අනුමාන කළ නොහැක. ඔබ ප්‍රශ්න අනුමාන කළාට කමක් නැත. නමුත් අනුමාන කර කොටස් අතහරිමින් පාඩම් කරන්න එපා.
ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රය කොයි ආකාරයෙන් සකස් වී ද යන්න හරියටම කිව නොහැක. එම නිසා ඔබ කොටස් කර, තෝරා බේරාගෙන පාඩම් නොකළ යුතුයි. තමන්ට හොඳට ලිවිය හැකි කොටස් හොඳින් බලාගන්න. නමුත් කොටස් අතහරින්න එපා. මන්ද තමන් හොඳින් බලාගත් පාඩම් කොටසකින් ප්‍රශ්නයක් නාවොත් විකල්පයන්ට යා යුතු නිසා. සෑම පාඩම් කොටසක්ම හොඳින් හදාරන්න.
බොහෝමයක් විෂය නිර්දේශයේ පාඩම් එ‍කිනෙකට සම්බන්ධය. ඔබ කටපාඩම් නොකර අවබෝධයෙන් පාඩම් කළොත් ඔබට පිළිතුරු ලිවීම ප්‍රශ්නයක් නොවනු ඇත.
ඔබ මේ වන විට විවිධ ක්‍රම හරහා පාඩම් කරනවා ඇති. ඒ හැම ක්‍රමයක්ම ඔබට ඵලදායි විය යුතුය. සාකච්ඡා කිරීම පාඩම් කිරීමට ඉතා හොඳ ක්‍රමයකි. නමුත් සාකච්ඡා කිරීමට ප්‍රථම ඔබ විෂය කරුණු ගැන හොඳින් දැන සිටිය යුතුය. සාකච්ඡා කළ යුත්තේ ද එවැනි දැනුමක් ලබා ගත් මිතුරන් සමඟ විය යුතුය. ඔබට මූලික අවබෝධයක් නැතිව සාකච්ඡා කිරීමට යාමෙන් වන්නේ අනෙකුත් අය කියන දේ අසා සිටීම පමණි. සාකච්ඡාව ඵලදායි වන්නේ ඔබ පළමු අදියරේදී දැනුම්වත් වී දෙවැනි අදියරේදී සාකච්ඡාවට පිවිසුණහොත් පමණි. මේ සඳහා ප්‍රශ්න පත්‍ර හා අදාළ පොත්පත් ඇසුරෙන් කළ හැක.
සාකච්ඡා කිරීමේදී නිවැරැදි පිළිතුර නොලැබුණේනම් පෙළපොත පරිශීලනය කිරීම මඟින් එය නිරාකරණය කරගත යුතුය. නොඑසේනම් ඔබේ ගුරුවරයාගේ සහාය ලබාගන්න.
ඔබ කිසි විටෙක වෙළෙඳපොළේ ඇති කෙටි සටහන් භාවිත නොකරන්න. වඩාත් ඵලදායි වන්නේ ඔබම සකසා ගත් කෙටි සටහන්ය.
රූප සටහන්, විෂය ප්‍රකාශන, සූත්‍ර සමීකරණ ප්‍රශ්නයේ ස්වභාවය අනුව නිවැරැදිව ඉදිරිපත් කළ යුතුය. ඔබ ලියන පිළිතුර ඔබට මෙන්ම එය බලන පරීක්ෂකවරයාට ද පැහැදිලි විය යුතුය. සෑම විටම ඔබ අවබෝධ කරගත යුතු දෙයක් වන්නේ ඔබේ පිළිතුරු තව දෙතුන් දෙනකු පරීක්ෂා කරන නිසා ලියන දේ ඔබට මෙන්ම ඔවුන්ට ද පැහැදිලි වන්නට ලිවිය යුතු බවයි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි