Wednesday, June 17, 2015

වැඩි යමක් නොදොඩන පුංචි මිතුරා

කුඹල්කරු
මා කය අසුන්දර කරමින් හිඳ
මඳක් නැවතිණි
හදවතට කවි වැගිරවීමට
මම ඒ පිටාරා යන්නට
ඉඩ දෙමි
(The potter who spoiled
my poor body
paused to pour
poetry into my heart
I pour it out)
- චම්මි රාජපතිරණ
‘රේන් මෑන්’ චිත්‍රපටිය මා නරඹා ඇත. ‘මයි නේම් ඉස් කාන්’ චිත්‍රපටිය නරඹා ඇත. භෞතික විද්‍යාවේ දක්ෂ ජෙකබ් බාර්නෙට් ගැන කියවා ඇත. වරෙක නීතිය උගන්වන මහාචාර්යවරියක් ඇගේ ඕටිස්ටික් දරුවා ගැන අපට කියද්දී අපි කරුණාවෙන් ඇගේ කතාව අසා සිටියෙමු; ඇගේ ඇසේ කඳුළු දැක කඳුළක් හෙළුවෙමු. නමුත් ඕටිසම් (Autism spectrum disorder/ASD) යනු කුමක්දැයි මා දන්නේ නැත. මට ‘ඕටිසම්’ ඇති දරුවෙක්, සහෝදරයෙක්, සහෝදරියක් නැත.
ඒ නිසා එවැනි අදරණීයන්ට බැඳි කෙනෙකු සේ මම ඕටිසම් යන්න නොහඳුනමි. කෙතරම් ඒ ගැන සොයා බැලුවත්, කෙතරම් එවැනි අයගේ කතා ඇසූවත් ඔවුන් තරමට ඕටිසම් තේරුම් ගැනීමට කිසිදිනෙක මට හැකි වන්නේ නැත. හරි හැටි සන්නිවේදනයේ යෙදීමට නොහැකි කරවන; සමාජීය සම්බන්ධතා වළකන; සීමිත, එකාකර රටාවක හැසීරීමකට කෙනෙකු සීමා කරවන ඕටිසම් (National Institute of Neurological Disorders and Stroke web page) යනු ස්නසාවේදීය/neurological (මධුර ශබ්දකෝෂය) අබාධයක් නොකියා එයට නියුරොලොජිකල් පෙරළියක් යැයි මා කියන්නේ ඒ ගැන දැනීමෙන් නොවේ. ඕටිසම් ගැන දැන ගැනීමට ඒ තත්ත්වයේ ඉන්නා කෙනෙකු හෝ එවැනි කෙනෙකුගේ ආදරණීයයන්ට ඇහුම්කන් දිය යුතු ය.
ඕටිසම් යනු සන්නිවේදනය සහ සම්බන්ධතා වළකන පෙරළියක් නම් ඔවුන්ට ඇහුම්කන් දෙන්නේ කෙලෙසද? අමුත්තන් ආ විට, සාදයකට ගිය විට, නමින් ඇමැතූ විට ප්‍රතිචාර නොදෙන; භාව ප්‍රකාශය නොකරන කුඩා දරුවා කාමරයට දමා වසා තබනා මාපියන් ඇති ලෝකයේම තමන්ගේ එවැනි දරුවාට කළ නොහැකි දේ වෙනුවට කළ හැකි දේ හඳුනා ගෙන ඔහුව ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ කෙළ පැමිණියකු කරන්නට සමත් වෙන මවක් ද ඇත. එලෙසම තමන්ගේ දරුවාට ඔහු විසින් නරඹන ඕනෑම චිත්‍රපටයක් සෑදු සමාගමේ නම මතක තබා ගනීමේ අපූරු හැකියාවක් ඇති නිසා ඔවුන් විසින් සහභාගී වන සාදවලදී එය සෙල්ලමක් සේ කිරීමෙන් සතුටු වන බව මා ඉහතකී මහචාර්යවරිය අපට කීවා ය. “I do that to show how cool he is.”
චම්මි රාජපතිරණ ඕටිසම් සමඟ ජීවත් වෙන කෙනෙකි. පරිගණකයේ උදව්වෙන් කවි ලියා ඔහුව හඳුනා ගනීමට අපට ආරධනා කරයි. (Chammi- Hear Me Now -A Film Poem/youtube). ඔහු කියන්නේ ඔහුට ඇහුම්කන් දෙන්න කියායි. “එකම දවසක් ඔබ මුනිවත රකින්න උත්සාහ කරන්න. අනෙක් හැම කෙනෙක්ම ඔබ ගැන කතා කරද්දි ඔබ කතා නොකර ඉන්න උත්සහ කරන්න. ඔබව නිවාසයකට ගෙන ගොස් අතාරින්නයි ඔවුන් ඔබේ අම්මාට කියද්දී “අනේ, එපා! එපා!”කියා කෑ ගසන්නට ඔබට ඕනෑ නමුත් ඔබ ගොළුයි. වාසනාවට ලෝකය පුරා සොයා ඔබේ කටහඬ තරමට ම නැඟිය හැකි හඬක් මට ලබා දෙන තුරු අම්මා පසු බැස්සේ නෑ.”
එවැනි තත්ත්වයක කෙනෙක් බලා ගන්නා කෙනෙකුට ඇති වෙහෙස, බලාපොරොත්තු සුන්වීමෙන් ඇති වෙන පීඩාව, තරහා ඇතිවීම ස්වාභාවිකයි. එවැනි කෙනෙකුන් වෙනුවෙන් ඔවුන්ගේ භාරකරුවන්ට හැකි පමණ උපකාර ලබා ගත හැකි ක්‍රමයකට යම් යම් දේ සකස් කිරීමට ඕටිසම් වෙනුවෙන් කටයුතු කරනා අය උත්සහ කරන්නේ ඒ නිසයි. ඔවුන් සියලුම දෙනාගේ සිත් රිදෙන දේ අපෙන් නොවීමට අපව දැනුවත් කරන්නේ ඒ නිසා ය.
මා මේ දේවල් ලියන්නේ ඕටිසම් ගැන දැනී නොවේ. අද සිදු වූ දෙයක් හේතුවෙනි. අසල්වැසි ගෙදරක ඕටිසම් ඇති දරුවෙක් හිඳියි. කුඩා ජාතික කොඩි කිහිපයක් රැගෙන වත්තට එන ඔහු ඒවා බිම හෝ වැට දිගට සිටුවීම ඇරෙන්න්ට වෙන කිසිම දෙයක යෙදෙනු මා දැක නැත.
මා එළියේ වැඩක් කරන්නේ නම් ඔහුත්, ඔවුන්ගේ බැල්ලත් දෙදෙනාම මා සමඟ සාකච්ජාවට වැට අයිනට පැමිණෙති. මම ඔවුන්ගේ බැල්ල සමඟ සිංහලෙන් කතා කරද්දි ඈ බිම දිගාවී තේරෙනවා වාගෙ අසා ගෙන සිටින්නී ය. අප දෙදෙනාගෙ සන්නිවේදනය අප දෙදෙනාට සම්බන්ධයක් ඇති කරගැනීමට සෑහී ඇත. ඒ දරුවා මා සමඟ වැඩි යමක් නොදොඩයි. ඔහුගේ කොඩියක් මට ඕනෑදැයි ඔහු වරින් වර අසයි. මා ඔහුට කාලගුණය ගැනත්, මා යෙදෙන වැඩය ගැනත්, තව නොයෙක් දේත් කීවත් කිසි දිනෙක අප දෙදෙනා අතර බැඳීමක් විය හැකි සන්නිවේදනයක් වී යැයි මින් පෙර මට සිතී නැත. නමුත් සිදු වූයේ මෙය ය. සිකුරාදා නිවසින් නික්ම ගොස් ඉරිදා අපි නැවත ගෙදර පැමිණියෙමු.
 ෆැරන්හයිට් අනූවකටත් වඩා උෂ්ණත්වය නැඟි දවසක් වූ නිසා ගෙදරා ආ විගසම එළියට ගියේ පෝච්චිවල වවා ඇති මිරිස් තක්කාලි පැළවල තත්ත්වය පරික්ෂා කිරීමට ය. වෙනදා සේම ඔහු වැට අයිනේ කොඩි සමඟ පුරුදු රටාවක් මවමින් සිට මා දුටු සැණින් නැඟිට ආවේ ය. “හලෝ” ඔහු මට ඇසෙන් සේ ඇමතුවේ ය. ඒ හඬේ වූයේ බොහෝ කලෙකින් නොදුටු අයෙක් දැක ගැනීමේ දි ඇතිවන සතුට ය. ළයාදර ගතිය ය.
මට ගෙදර ආවා කියා දැනුණේ ඔහු මට ආමන්ත්‍රණය කළ විදියට ය. මා ගමනක් ගිය බව කියා ඔහුගේ සති අන්තය ගැන මම විමසුවෙමි. ඔහු දිගටම අත වනමින් මට හලෝ කීවේ ය. ඔහු සමඟ බැඳීමක් වී යැයි මට මුල්වරට සිතුනේ අද ය. බැඳීමක් වීම දුකට කරුණක් නිසා තමන් නැති විට පාළු නොසිතන්නැයි වරක් මට වෙනත් මිතුරකු කියා ඇත. ඒ හොඳින් සන්නිවේදනය කළ හැකි අයෙකි. බැඳිම වැළැක්වීමට උත්සාහ කරන කෙනෙකි.
මම එකඟවීමී. නමුත් අද බැඳීම නැතිකිරීමෙන් නොව ඇති වී යැයි සිතීමෙන් මට සතුටක් ඇති විය. සන්නිවේදනය කිරීමේ හැකියාවක් ඇතැයි, ඕටිසම් නැතැයි හැඳින්වෙන මා නිසා කිසි කලෙක ඒ දරුවාට සතුටක් වී නැතිව ඇත. නමුත් සන්නිවේදන කළ නොහැකියි කියන ඔහු නිසා මට සතුටක් ඇති විණි. සමහර විටෙක ඔහුගේ ඇමතුමේ හඬ මා තේරුම් ගත් ආකාරය විය හැකි ය. සමහර විටෙක සන්නිවේදනය සහ බැඳීම කියන්නේ අපි ඒවා තේරුම් ගන්න විදිය විය හැකි ය.
සමහර විටෙක බැඳිම් ඇති කර නොගැනීමෙන් දුක වළක්වා ගැනීමේ වාසනාව සහිතව ඕටිසම් ඇති අය ඉපදෙනවා විය හැකි ය. මම නොදනිමි. නමුත් අදහස් ප්‍රකාශ කිරීමට ශාරීරික අපහසුතාවක් වීම නිසා ඔවුන්ගේ මනස ප්‍රතික්ෂේප කිරීම නොහැක්කක් බව මට දැනුණි.

හිමාලි එන්. ලියනගේ

http://www.dinamina.lk

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි