Monday, June 1, 2015

‘මම දාලා යන්නෙ නෑ මගෙ සුදු රත්තරන්’ කියා සින්දු කියන ළමා ගායකයන් අද ඉන්නවා

අජන්තා රණසිංහ

හුරතල් පොඩි හාවා මහ රෑටත්
පුන්සඳ තුරුලේහි ඉන්නේ ඇයි
නිල්වන් වලා පෙළ හැමදාමත්
ගුවනේහී විසිරී යන්නේ ඇයි...!
 
(ගැයුම - විශාරද නන්දා මාලිනි)
“මගෙයි නන්දා මාලිනියගෙයි පළමු ගීතය ‘හුරතල් පොඩි හාවා‘ ගීතය. 60 දශකයේ ලියූ ගීතයක්. කරු අයියාගේ (කරුණාරත්න අබේසේකර) ළමා මණ්ඩපයේ දී තමයි අපි මේ සින්දුව නිර්මාණය කළේ. පසුගියදා එළිදැක් වූ නන්දා මාලිනියගේ ‘ලස්සන මල් පිපිලා‘ නම් ළමා ගීත ඇල්බමයේත් මේ ගීතය ඇතුළත් කරලා තියෙනවා. නන්දා මේ ගීත ඇල්බමයෙන් වෙනදා වගේම මෙදාත් මේ රටේ ළමා පරපුර වෙනුවෙන් කරලා තියෙන්නේ මහඟු මෙහෙවරක්.“ එලෙස පවසමින් ප්‍රවීණ ගී පද රචක අජන්තා රණසිංහ අප සමඟ මෙම කාලීන කතාබහට එක් වුණේ නන්දා මාලිනි ගායන ශිල්පිනිය මෙන්ම ගුවන් විදුලිය ද මෙරට ළමා ගීතය වෙනුවෙන් ඉටු කර ඇති වැදගත් මෙහෙවර ද ආවර්ජනය කරමින් ය. අජන්තා රණසිංහයන්ගේ මතක අතරින් අපි අඩ සියවසකටත් වඩා ඈත අතීතයේ සහ වර්තමානයේ ළමා ගීත ක්ෂේත්‍රය පිළිබඳ තොරතුරු බිඳක් සලකා බලමු.
“1962, 63 වගේ කාලේ තමයි මම කරු අයියාගේ ළමා මණ්ඩපයට සම්බන්ධ වුණේ. හුඟාක් පිරිමි ළමයි හා ගෑණු ළමයි පිටපත් කියවන්න පුරුදු වෙන්න, මයික්‍රෆෝනයට හුරු වෙන්න, කවි කියන්න, ලියන්න තමයි ආවේ. ඒ අතරේ හැමෝම වයස අවුරුදු 14, 15 ළමයි. විශේෂ තැනක් ගත්තේ ගීතය යි. සංගීතය සපයන්න උන්නේ ඩී. ඩී. ඩැනි අයියා. තව ශාන්ති දිසානායකත් උන්නා. වැඩිපුරම තනු නිර්මාණය කරලා ළමා ගී සංගීතවත් කෙරුවේ ඩැනී අයියා. වැඩ සටහන තිබුණේ ඉරිදා සවස 5.15 සිට 6.00 දක්වා. කොහොම හරි හැම වැඩ සටහනකදීම ඉදිරිපත් කරන ගීත තුනෙන් එක් ගීතයක් ලියන්න අවසරය මට ලැබී තිබුණා.“ “එදා ළමා මණ්ඩපයට සම්බන්ධ වෙලා හිටියා ගායක ගායිකාවෝ තමයි නන්දා මාලිනි, චන්ද්‍රාණි ගුණවර්ධන, ඉන්ද්‍රලතා ජයසිංහ, සුධර්මා ද සිල්වා, විජිත කුසුම් ලියනගේ, නොයෙලින් ලියනගේ, එස්. ලියනගේ. ඒ වගේ අය තමයි අපේ පරම්පරාවට උන්නේ. මේ හැමෝම එක හා සමාන දක්ෂයින්.
මේ පරම්පරාවේ ගී පද රචකයෙකුට උන්නේ මම විතරයි. ඔය මං නම් සඳහන් කළ සියලු දෙනා යම් යම් දුර ප්‍රමාණ මේ ක්ෂේත්‍රයේ ආවා. ඒත් කොහොම හරි අද මේ ඉන්න තලයට ආවේ මමයි නන්දා මාලිනියයි විතරයි. මං නන්දා මේ තලයට එන්න ලොකු කැප කිරීමක් කළා. සමහර දිනවලදී නන්දා ඉස්කෝලේ ඇරිලා යුනිෆෝම් එක ඇදගෙන කෙළින්ම එන්නේ ගුවන් විදුලියටයි. කෑම කාලවත් නොතිබුණු දවස් හරියට තිබුණා. එදා එකට උන්නු අපි අද මේ වනවිට මේ ක්ෂේත්‍රයේ දුර ගමනක් ඇවිල්ලා. ඒක විශාල සතුටක්. ඒ සතුට දෙගුණ වෙන්නේ අපේ නිර්මාණ වලින් ළමා පරපුරට, මේ සමාජයට සිදුවන සේවය ගැන කල්පනා කරද්දීයි. නන්දා මාලිනිය ඒ අතින් බොහෝ ඉදිරියෙන් සිටිනවා.“

*“ලස්සන මල් පිපිලා“ ළමා ගීත ඇල්බමය ගැන කතා බහ කරන්න ඔබ කැමැති ඇයි..?
“විශේෂයෙන්ම නන්දා බොහොම අපූර්ව ලෙසින් මේ ළමා ගීත ඇල්බමය එළිදැක්වීම තමයි එම කැමැත්ත ඇති වීමට ප්‍රධාන හේතුව. නන්දා වරින් වර ගීත පොත්, ගී තැටි නිකුත් කරනවා. ‘ලස්සන මල් පිපිලා‘ ගීත තැටියේ ඇතුළත් හැම ගීතයකම පදමාලාව, ස්වර මාලාව සහ සිබිල් වෙත්තසිංහගේ ලස්සන චිත්‍ර සහිත පොතක් සමඟ තමයි ඇය මේ ගීත එකතුව එළිදක්වා තියෙන්නේ. එදා තවත් විශේෂ කටයුත්තක් ඇය කළා .ඒ ඇයට නිර්මාණ දායකත්වය ලබා දුන් සැමට මූල්‍යමය දීමනාවක් සමඟ සම්මාන පිරිනැමීම. ඉතා අගය කළ යුතු කටයුත්තක් නන්දා ඉටු කළේ, මේ ක්ෂේත්‍රයේ අනිකුත් ගායක ගායිකාවන්ටත් පූර්වාදර්ශයක් වෙමින්.“

* එමෙන්ම එදා ළමා ගීත ක්ෂේත්‍රයෙනුත් යහපත් පූර්වාදර්ශ බොහොමයක් ලබා ගත හැකියි නේද..?
“අද දවසේ ළමා ගීත ක්ෂේත්‍රය දෙස පමණක්ම නොවේ, මුළු සංගීත ක්ෂේත්‍රය දෙස බලද්දී සිදුවේ ගෙන යන පරිහානිය අහෝසි කරන්න හොඳ පූර්වාදර්ශයක් එදා ළමා ගීත ක්ෂේත්‍රයෙන් වුවද ලබා ගන්න පුළුවන්. එදා හොඳ, දක්ෂ ගායක ගායිකාවන් උන්නා. ඔවුන්ට උනන්දුව සහ භාග්‍යයත් තිබුණා. වැදගත් දේ වුණේ ජාතික ගුවන් විදුලියේ තිබුණු ළමයින් වෙනුවෙන්ම වෙන්වුණු වැඩ සටහන් මාලාවයි.“

* එම වැඩ සටහන් මාලාව කුමක් ද..?
“ළමා මණ්ඩපය. ඉරිදාට ‘සරස්වතී මණ්ඩපය‘ - සඳුදා ට ‘මිණි කිංකිණි‘ - අඟහරුවාදට ‘ළමා රංගපීඨය‘ - බදාදාට ‘ටිකිරි සිනාරැලි‘ - බ්‍රහස්පතින්දාට ‘සිඟිති සුරතල්‘ ආදි වශයෙන් සතියේ දින හතේම ‘ළමා මණ්ඩපය‘ වැඩ සටහන දරුවන්ගේ විවිධ කලා කුසලතා වෙනුවෙන් ප්‍රචාරය කෙරුණා. කරු අයියා වගේම සරත් විමලවීර, මඩවල එස්. රත්නායක, චිත්‍රානන්ද අබේසේකර වැනි ප්‍රවීණයින් එම වැඩ සටහන් මෙහෙයවමින් ඉටු කළ සේවය මොනතරම් අනගිද. දක්ෂ දරුවන්ගේ නිර්මාණශීලි හැකියාවන් හරවත්ව ගුණාත්මකව හැඩ ගස්වමින් ඔවුන් රටට හඳුන්වා දීමෙන් ඔවුන් කළ ජාතික මෙහෙවර නිසා තමයි අපට හොඳ ළමා ගීතාවලියක් අපට තියෙන්නේ. මෙහිදී නන්දා මාලිනියගෙන් සිදු වී ඇති මෙහෙවර විශේෂ වෙන්නේ ඇය නොනැවතී ළමා ගීතය වෙනුවෙන් අද මේ වනතුරුත් දායක වෙමින් කරන කැපවීමයි.“

* එදා මෙන් ළමා ගී අද බිහි නොවන්නේ ඇයි...?
“අපි ගී ලියන්නේ එදා ළමා මණ්ඩපයෙන් ලැබුණු පරිචය ඇතුවයි. එය මට ලොකු උපකාරයක් වුණා හොඳ ගීත ලියන පද රචකයෙක් වෙන්න. ළමා මණ්ඩප වලට සීමා වෙච්ච ගායක ගායිකාවෝ ආදීනුත් උන්නා. අපි සම්බන්ධ වුණේ කරු අයියාගේ සහ සරත් අයියාගේ ළමා මණ්ඩප වලටයි. තව කරු අයියාගේ ළමා මණ්ඩපයේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගී ගායනා කරන කොට මඩවලගේ ළමා මණ්ඩපයේ ඇන්ජලින් ද ලැනරෝල් (ගුණතිලක) ගී ගයනවා. තව තවත් බොහෝ අය උන්නා. ඒ හැමෝටම හොඳ මඟපෙන්වීම් ලැබුණා. එදා ජාතික ගුවන් විදුලිය අපි හැමෝටම විශ්ව විද්‍යාලයක් වගේ තිබුණේ. ‘ශාස්ත්‍රීය සංග්‍රහය‘ වැනි වැඩ සටහන් මොනතරම් හරවත් වුණා ද. ඒවා අහලා තමයි අපි හැඳුණේ. ඒත් අද ළමයින් වෙනුවෙන් එවැනි හරවත් වැඩ සටහන් නැහැ, මඟ පෙන්වීම් නැහැ. ඔවුන් ගුවන් විදුලි හෝ රූපවාහිනී වැඩ සටහනකට ගියත් දැන් ගයන්නේ ‘පෙම් ලෝකය නරකාදියකි මහා‘ - ‘මම දාලා යන්නෙ නැහැ මගෙ සුදු රත්තරන්‘ - ‘ඩිංගිරි මැණිකා වැලහින්නියකි‘ - චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං‘ වැනි වැඩිහිටි ගීත. 60, 70, 80 දශකයන්ගෙන් පසුව ළමා ගීත සාහිත්‍යයක් බිහි වුණේ නැහැ. කොටින්ම එක ළමා ගීතයක් වත් බිහි වුණා ද මට කියන්න.“

* ‘කුරුම්බැට්ටි මැෂිමේ‘ - ‘මට මෑණි වගේ‘ ගීත වලින් පසුව ගී පද රචකයෙකු ලෙසින් ඔබ වෙතිනුත් ළමා ගීත සාහිත්‍යයට නිර්මාණයක් එක් වුණේ නැහැ නේද..?
“කනගාටුයි කියන්න, අපි ලියන්නේ කාටද. අපේ රුචිකත්වයට සරිලන අයුරින් ළමා ගීතයක් ගයන්න අද ඉන්නේ කවුද. එහෙම කවුරුත්ම නැහැ. එදා උන්නු ළමා ගායක ගායිකාවන් ගැයූ ගී තමයි අදත් රසවත්, බලවත්. 70 දශකයේ අපි ලියූ ගී තමයි හොඳ ළමා ගී. ඒවා ශ්‍රාවක විචාරක කවුරුත් පිළිගත්තා.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි