Tuesday, May 7, 2013

තිස්‌ස නිවාසයේ දරුවෝ 21 ක්‌ දෙමාපියන්ට භාර කෙරෙති

තිස්‌ස නිවාසයේ දරුවෝ 21 ක්‌
දෙමාපියන්ට භාර කෙරෙති



ළමා ආරක්‍ෂක අධිකාරිය භාරයේ සිටි තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස ළමා නිවාසයේ ළමයින් 80 දෙනාගෙන් ළමුන් 21 දෙනකු අධිකරණ නියෝග මත ඊයේ (6 දා) දෙමාපියන් වෙත භාරදෙන ලදී.

බාලවයස්‌කාර ළමයින් ලවා ඌරන් මැරවීම සම්බන්ධව බෝගහපැලැස්‌ස ළමා නිවාසයේ පාලක කේ. ඒ. දයාරත්න නමැති පාස්‌ටර්වරයාට එරෙහිව තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩු විභාගය තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් සහ දිසා විනිසුරු ඉන්දික රුවන් ද සිල්වා මහතා ඉදිරියේ ඊයේ කැඳවූ අවස්‌ථාවේදී මෙම නියෝගය කෙරිණි.

බාලවයස්‌කාර දරුවන් කෲරත්වයට පත්කරමින් ඔවුන් ලවා ඌරන් මැරවීමේ සිද්ධිය මාධ්‍ය මගින් අනාවරණය වීමෙන් පසු තිස්‌සමහාරාම පොලිසිය හා ළමා ආරක්‍ෂක අධිකාරිය වෙන් වෙන් වශයෙන් පරීක්‍ෂණ පැවැත්වූහ.

තිස්‌සමහාරාම පොලිසිය මගින් ළමා නිවාසයේ පාලකවරයා සහ එහි සිටි ළාබාල තරුණයකුට එරෙහිව තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්‌ කෙරිණි.

මීට අමතරව ළමා ආරක්‍ෂක අධිකාරිය මගින් පවත්වන ලද පරීක්‍ෂණයෙන් අනතුරුව ළමා ආරක්‍ෂක අධිකාරිය මගින් ද මේ පාලකවරයාට එරෙහිව නඩු පවරා තිබේ.

ළමා නිවාසයේ සිටි දරුවන් 80 දෙනකු අවස්‌ථා දෙකකදී ළමා ආරක්‍ෂක අධිකාරියට භාරගත් අතර ඔවුන්ගේ දෙමාපියන් විසින් තම දරුවන් භාරගැනීමට කැමැත්ත පළ කරන ලදී. ළමා ආරක්‍ෂක අධිකාරිය විශේෂ පරීක්‍ෂණයක්‌ පවත්වා පරිවාස හා ළමාරක්‍ෂක නිලධාරීන්ගේ එකඟතාව මත අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණයේ නියෝග මත මෙසේ දෙමාපියන්ට භාරදීමට සුදුසු තත්ත්වයේ සිටි ළමයින් 21 දෙනකු අධිකරණයේදී මෙසේ භාර දෙනු ලැබිණි.

මීළඟ නඩු විභාගය පැවැත්වෙන ලබන ජුනි 3 වැනිදා විත්තිකරුවන්ට සහ ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරීන්ටත් පරිවාස නිලධාරීන්ටත් උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණි.

ළමා ආරක්‍ෂක අධිකාරියේ පොලිස්‌ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති ඩබ්ලිව්. ඩබ්ලිව්. බෝපිටිය, පො.සැ. (24268) එමිල් සිල්වා යන මහත්වරුන් ඇතුළු ළමා අධිකාරියේ නිලධාරීහු මෙම නඩු විභාගයට පෙනී සිටියහ.


තිස්‌සමහාරාම - ඒ. ඒ. ප්‍රේමසිරි සහ කතරගම - කේ. ඩී. දේවප්‍රිය
 

http://www.divaina.com/2013/05/07/provin01.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි