Sunday, May 12, 2013

කිරි අම්මාවරුන්ගේ දානය


කිරි අම්මාවරුන්ගේ දානය

අවුරුද්දට අස්වනු නෙළා ගෙට ගත් පසු අපේ ගෙදර ඒවා පළමුව දෙන්නේ කිරි අම්මාවරුන්ටයි. විශේෂයෙන් මෙම දානය දෙන්නේ බදාදා හා සෙනසුරාදා (කෙම්මුර) දවස් වලටයි. අම්මා දානයට පෙර දින සවස කැවුම්, පිසින්නීය. කැවුම් පිස අවසාන වූ පසු කිරිඅම්මලාට ආරාධනා කිරීමට යයි. එසේ ආරාධනා කරන්නේ බුලත් කොළය බැගින් කිරි අම්මලාට දීමෙනි.
පසුවදා කපුටන් කෑගැසීමට පෙර කිරි අම්මාවරු හත්දෙනා සුදුවතින් සැරසී නිවෙසට පැමිණෙති.
පිරිසුදුවට පිරිවට ඇඳ පේ වෙන්නේ - දානෙට සත්දෙන එන බව දන්නේ
පත්තිනි දෙවියොත් සමඟ වඩින්නේ - කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ

මේ ආදී කවි ගායනයෙන් අනතුරුව කණ්ඩායමේ නායිකාව සමඟ කිරි අම්මාවරු හත් දෙනා නිවෙසට පැමිණෙන අතර, නිවෙස ඉදිරිපිට තබා ඇති දිය පිරි බඳුන තුළට දෙහි කැබැල්ලක් ද දමා ඇත. කිරි අම්මාවරු දෙහි කැබැල්ල ගෙන හිසෙහි අතුල්ලා පය ද සෝදා නිවෙසට පැමිණ එළා ඇති පිරුවටවල වාඩි වෙති.
ඉන් පසු සියලු දෙනාම පන්සිල් රැගෙන මිහිරි ගී ගායනා කරති. මේ ගී සියල්ල පත්තිනි දේවිය මුල් කරගෙන කරන ඒවායි.
ඉන්පසු කෙසෙල් කොළ හතක් කිරි අම්මාවරුන් ඉදිරියේ එළයි. ඉන්පසු ඒවාට කැවුම්, කෙසෙල්, කිරිබත් හත බැගින් ලබාදේ. මේවා බෙදන්නේ තුන් වතාවක දී ය. කිරි අම්මාවරු මේවා ඉඳුල් කර තේ පානය කරති. ගෙහිමියා ගේ මැද කිරි මුට්ටියක් උතුරවයි. ඉන්පසු කිරි අම්මාවරු සියලු දෙනා ගෙදර සියලු දෙනාටම ආශිර්වාද ලබා දෙයි. කිරි අම්මාවරු බුලත් කොළය දෙකට නවා, දැල්වෙන පහන් තිරයක් මැදි කොට තබා, දැල්වෙන පහනින් තෙල් ගෙන ගෙදර අයගේ හිසෙහි ගා ආශිර්වාද කරති.
කිරි අම්මාවරුන්ගේ දානය මුළුමනින් ම මිහිරි කවි ගායනයෙන් පිරුණු පූජා කර්මයකි. මෙම කවි මුඛ පරම්පරාගත කවි වීම විශේෂත්වයකි. හිමිදිරි පාන්දර කපුටන් කෑ ගැසීමට පෙර මිහිරි කවියෙන් කෙරෙන වෙනත් පූජා කර්ම අප අතර නැත. මෙම පූජා කර්මයෙහි අරමුණු වන්නේ, බෝවන රෝග වළක්වා ගැනීමට, අපල උපද්‍රව වලින් වැළකීමට, ගැබිණි මවුවරුන්ට සහ දරුවන්ට ආරක්ෂාව සැලසීම, සශ්‍රීකත්වය ලබා ගැනීම වැනි දේ ය.
සිංහල ජන සමාජය තුළ කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන පූජා විධියක් ලෙස මෙය සැලකේ.
එම්.ටී. හිරුදිනී කුමාරි විජේතිලක,
8 ශ්‍රේණිය,
ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,
තෝලංගමුව, වරකාපොල.

1 comments:

හොඳ ලිපියක්, ඒත් ඇයි මේ කමෙන්ට් බොක්ස් දෙකක්?

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි