Saturday, May 4, 2013

ඉත්තෑ පුංචට පාඩමක්


ඉත්තෑ පුංචට පාඩමක්

අද හා පැංචිගේ උපන්දිනේ. හා පැංචිගේ උපන්දින සාදෙට ගමේ හැමෝටම ඇරයුම් ලැබුණා.
ඉත්තෑ පුංචත් අම්මත් එක්ක උදෙන්ම ලක ලෑස්ති වුණා හා පැංචිලාගේ ගෙදර යන්න.
සමනල්ලු රංචු පිටින් පියාඹලා හා පැංචිට සුබ පතන්න යනවා.
ගොළුබෙලි හාමි එයාට සුපුරුදු හිමින් ගමනින් හා පැංචිලාගේ ගෙදරට යනවා.
කැලෑව පුරාම සුවඳ මල් ගොඩාක් පිපිලා තියෙන්නේ හා පැංචිට සුබ පතන්න වගේ.
ඉත්තෑ පුංචි හා පැංචිට තෑග්ගකුත් අරගෙන අම්මත් එක්ක හා පැංචිලාගේ ගෙදර ගියා.
මුව පැංචා, තුන්ඉරි අප්පු, අලි බබා, ගෙඹි පුංචා වගේ ඔක්කොම යාළුවෝ හා පැංචිගේ ගෙදරට එකතු වෙලා එතැන සතුට ඉතිරෙනවා.
ඒ සතුට මැද වුණත් ඉත්තෑ පුංචා ටිකක් දුකෙන් හිටියේ. මොකද අනික් යාළුවොත් එක්ක හරි හරියට සෙල්ලම් කරන්න ඉත්තෑ පුංචට බැරි නිසා මොකද එයාගේ කූරු නිසා කවුරුත් එයාට වැඩිය ළං වුණේ නෑ.
සාදය ඉවර වෙලා ගෙදර ගියාම වුණත් ඉත්තෑ පුංච හිතේ දුකින් කල්පනා කර කර හිටියා. ඉත්තෑ පුංචා ගමනක් ගිහින් ආවම වෙනදටත් එහෙම නිසා ඉත්තෑ හාමිනේ ඉත්තෑ පුංචට පාඩුවේ ඉන්න ඇරියා. පහුවදාත් සෙල්ලම් කරන්න යන්න තියෙන හින්දා ඉත්තෑ පුංචා කල්පනා කළේ එයාගේ කූරු ටික වහගන්න විදිහක්. ඉත්තෑ පුංචා එතකොටයි දැක්කේ අම්මා පුලුන් එකතු කරලා තියෙනවා කොට්ට මහන්න.
පහුවදා උදෙන්ම නැගිට්ට ඉත්තෑ පුංචා එයාගේ මැලියම් බෝතලේම කූරූවල ගාගෙන පුලුන් ගොඩේ පෙරළුණා. ඉත්තෑ පුංචගේ කූරු පුරාම පුලුන් ඇලවිලා ඉත්තෑ පුංචා අමුතුම සතෙක් විදියට පෙනුණා.
ඒ විදියට යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ගිය ඉත්තෑ පුංචා හවස් වෙනකම්ම යාළුවොත් එක්ක සෙල්ලම් කළා, ඉර මාමා වලාකුළු අස්සේ හැංගිලා යනවවත් වැහි වලාකුළුවලින් මුළු අහසම වැහිලා යනවත් කැලෑ ගමේ පුංචි පැටවු ටික දැක්කේ නෑ. නපුරු හිවල් හාමිත් මේ පුංචි පැටවුන්ට කුරුමානම් අල්ල අල්ල ළඟම කැරකුණා.
එක පාරටම ලොකු වැහි බින්දු එක දෙක වැටිලා ලොකු වරුසාවක් වැටෙන්න පටන් ගත්තා. ඉත්තෑ පුංචා අලවගෙන හිටපු පුලුන් පෙඟිලා මහා බරට දැනුණා. හා පුංචා එයාට සුපුරුදු පිම්මෙන් ගෙදර දිව්වා. අනික් අයත් ඉක්මනටම ගෙවල්වලට ගියා. ඉත්තෑ පුංචා ගාට ගාට ගෙදර යන්න පිටත් වුණා. පුලුන් බර නිසා පුංචට වෙනදා වගේ දුවන්නත් බෑ.
කුරුමානම් අල්ල අල්ල හිටපු හිවල් හාමි ඉත්තෑ පුංච අල්ලගන්න හිතාගෙන ළඟටම ආවා. ඉත්තෑ පුංචා හොඳටම බය වුණා. පුලුන් ඇලිලා හින්දා එයාගේ කූරු වෙනදා වගේ විඳින්නත් බෑ. ඉත්තෑ පුංචා හොඳටම බයවෙලා කෑ ගැහැවුවා.
සද්දේ ඇහිච්ච ඉත්තෑ හාමි ඇවිත් කූරු විදලා හිවල් හාමිව එළවලා දාලා ඉත්තෑ පුංචා ගෙදර එක්ක ගියා.
ඉත්තෑ පුංචගේ කූරුවල පුලුන් ගලවන්න ඉත්තෑ හාමිනේට ලොකු උත්සාහයක් දරන්න වුණා. ඉන් පාඩමක් ඉගෙනගත් ඉත්තෑ පුංචා ආයේ කවදාවත් එයාගේ කූරුවලට මොකුත් කළේ නෑ.
ඒ. ඒ. ඒ. ශ්‍රීමාලි අධිකාරී
2012 ර්‍ණ/ඹ්
හූරිකඩුව බාලිකා මහ විදුහල,
මැණික්හින්න

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි