Tuesday, May 7, 2013

දරුවන්ගේ මුල්ම ගණිත ගුරුවරයා අම්මා

දරුවන්ගේ මුල්ම ගණිත ගුරුවරයා අම්මා




පූර්ව ක්‍රියාකාරී චින්තන අවධියේ පසුවන පෙර පාසල් දරුවා තර්කානුකූලව සිතීමට අවශ්‍ය ප්‍රජනන, බුද්ධිමය දක්‍ෂතා එකින් එක ගෙන ඒ සඳහා මවුපියන්ට හෝ පෙර පාසල් ගුරුවරියට කළ හැකි විවිධ ක්‍රියාකාරකම් කිහිපයක් මෙහිදී කතා බහ කරමු.

නිරීක්‍ෂණ දක්‍ෂතාව
මේ සඳහා මවුපියන් වන ඔබට විවිධ හැඩතල ඇති උපකරණ කිහිපයක් ගෙන ඒවායේ වෙනස්කම් මොනවාදැයි සාකච්ඡා කළ හැකිය. උදාහරණයක් ලෙස රවුම් හැඩයේ එක සමාන නොවන උපකරණ කිහිපයක් ගන්න. ඒවා එකට තබා එහි ඇති සමානතා, නොගැළපීම් පිළිබඳ කතා කරන්න. රවුම් හැඩය හා සමාන එළවළු, පලතුරු වර්ග, පිඟන්, පීරිසි, වළං මුට්ටි, කාඩ්බෝඩ් වලින් හදාගත් රවුම් හැඩතල කිහිපයක් ගෙන ඒවායේ පරස්පරතා කතා බහ කළ හැකිය. ස්වාභාවික පරිසරයේ තිබෙන ඉර, හඳ පවා මෙහිදී නිදසුන් ලෙස ගන්න. එමෙන්ම ත්‍රිකෝණ ආකාරයේ හැඩ ඇති දේවල් හොයන්න දෙන්න. පසුව එක සමාන හැඩ තල කිහිපයක් පාට කිරීමට යොමු කරන්න. මැටිවලින් හෝ ක්ලේවලින් හැඩතල නිර්මාණ කර පෙන්වන්න. නිර්මාණය කර ගත් හැඩතල විවිධ පැතිවලට හරවා ඒවා නිරීක්‍ෂණය කිරීමට දරුවා යොමු කළ හැකිය.
වර්ගීකරණ දක්‍ෂතාව (තෝරා ගැනීම)

යම් ද්‍රව්‍යයක ලක්‍ෂණය අනුව තෝරා ගැනීම එනම් විශාලත්වය, හැඩය, එය ඉටුකරන කාර්යභාරය අනුව වෙන් කිරීම, ගඳ සුවඳ අනුව වෙන් කිරීම, ශබ්දය, හඬ, මිහිරි, අමිහිරි භාවය අනුව වෙන් කිරීම, "රස" අනුව තිත්ත, ඇඹුල් ආදී පැණිරස අනුව වෙන්කිරීම හා ඒ ගැන වැඩිහිටියන් වන ඔබ විස්තර කළ යුතුය. සාමාන්‍ය, අසාමාන්‍ය දේවල් පරීක්‍ෂා කර බලා ඒවා දරුවාට විස්තර කිරීමට අවස්ථාව සලසා දෙන්න.

මෙහිදී "එක හා සමාන සහ එකිනෙකට වෙනස්" යන යෙදුම් තේරුම් ගැනීමට නම් දරුවා තෝරා ගැනීම, සමකිරීම පිළිබඳ විවිධ අත්දැකීම් ලබාගත යුතුය. පවුලේ සහෝදර සහෝදරියන්, තාත්තා, අම්මා, නැන්දා, ආච්චි, බාප්පා ආදී වශයෙන් සම්බන්ධතා තේරුම් ගැනීමට ඉඩ සැලසිය හැකිය. ඒ පිළිබඳ කතා කිරීම, සෙල්ලම් කරන විට නිරායාසයෙන් තේරුම් ගනී. ඉහළ පහළ, උඩ යට, පසුපස, ඉදිරිපස වදන් මාලාවන් ඉගෙන ගැනීමට ක්‍රීඩාව ඇසුරින් යොමු කළ හැකිය.
දරුවා පරිසරයේ ඇති ගහක් යටට කැඳවා ගෙන යන්න. ගහ උඩ තියෙන්නේ මොනවද? කියලා දරුවගෙන් අහන්න. දරුවා කොළ, මල්, ගෙඩි ආදී වශයෙන් පිළිතුරු දෙයි. ගහ යට තියෙන්නේ මොනවද? දරුවා වැලි, ගල්, ඉදුණු, වියළි කොළ ආදී වශයෙන් පිළිතුරු දෙයි. අපි ඉන්නේ කොහේද? දරුවා "ගස යට" වශයෙන් පිළිතුරු දෙයි. ගහට අෑතින් ඇති දෙයක නම් කියන්න.

(ස්ථානය අනුව දරුවා පිළිතුරු දෙයි) ගහට උඩින් තියෙන්නේ මොනවද? දරුවා පිළිතුරු දෙයි.
දරුවා නිවෙස ඇතුළට එක්කරගෙන යන්න. කාමරයේ පොත් මේසය ළඟට ගොස් දරුවාගෙන් මේ ආකාරයට ප්‍රශ්න අහන්න.
• පොත් තියෙන්නේ කොහේද? මේසය උඩ.
• මල්පෝච්චිය තියෙන්නේ කොහේද? මේසය උඩ.
• සපත්තු දෙක තියෙන්නේ කොහේද? මේසය යට.
• කබඩ් එක තියෙන්නේ කොහේද? මේසය ළඟ.
• කාමරයේ ‍ෙදාර තියෙන්නේ කොහේද? මේසයට අෑතින්. පසුව ඔබ පින්තූර 03ක් ගන්න.
• කොකා යන්නේ පේළියේ කොතැනද? ඉදිරියෙන්.
• අලියා යන්නේ පේළියේ කොතැනින්ද? මැදින්.
• හාවා යන්නේ පේළියේ කොතැනින්ද? පිටුපසින්.
• කොකයි හාවයි මැද යන්නේ කවුද? අලියා.
• කොකාටයි අලියාටයි පිටිපස්සෙන් යන්නේ කවුද? හාවා. වෙනත් කාර්යයන්වල නිතර වුවහොත් මෙම ක්‍රියාකාරකම් දරුවාට තනියම සිදුකිරීමට අපහසුය. අප තවත් නිදසුනක් ගනිමු.

• ප්‍රමාණ කිහිපයකින් යුත් මල් 4ක් හෝ 5ක් සොයා ගන්න.
• මලේ ප්‍රමාණය අනුව ලොකු මලේ සිට කුඩා මල දක්වාත් කුඩා මලේ සිට ලොකු මල දක්වාත් තැබීමට සලස්වන්න.
• කුඩා මලේ සිට ලොකු මල දක්වා මල් මාලයක් අමුණා පෙන්විය හැකිය.
• පින්තූර ආකාරයට පාට කිරීමට පුළුවන්.
• විවිධ ප්‍රමාණයේ බෝතල් හෝ වීදුරු ගෙන ලොකු බෝතලයේ සිට පොඩි බෝතලයටත් වතුර පිරවීමට දෙන්න. වතුර ප්‍රමාණය පිළිබඳ අසමින් සතුටින් ක්‍රීඩාවක් ලෙස මෙය සිදුකිරීමට ඉඩ දෙන්න.

මෙහිදී කිවයුතු දෙයක් ඇත. දරුවා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන විට ප්‍රශංසා කරන්න. ඉදිරිපත් නොවන්නේ නම් උනන්දුව ඇති කරන ආකාරයට කතා බහ කරමින් දරුවා එම ක්‍රියාකාරකම් තුළ රඳවා ගන්න. සමහර දරුවන් පෙර පාසල් වියේදී මෙම කුසලතා සියයට සියයක්ම අත්පත් කර නොගනී. විවිධ ක්‍රියාකාරකම් නිවෙස තුළ කිරීමෙන් කාලයත් සමඟ මෙම හැකියා දරුවන් තුළ ඇති වන බව කිව යුතුයි.

සංඛ්‍යාමය දක්‍ෂතා
පෙර ලිපියේ මා සඳහන් කළ පරිදි වැඩිහිටියන් මවුපියන් හිතන ආකාරයේ සංඛ්‍යා අවබෝධය දරුවාට නැත. සංඛ්‍යා පිළිබඳ "සංකල්පය" වර්ධනය කර ගැනීමට ළමයින් දිරිගැන්වීම ඔබට කළ හැකිය. ළමයා නිතරම ගණන් කිරීමේදී වැඩිහිටියාත් අනුගමනය කරයි. ඔබට කළ හැකි වන්නේ නිවැරැදිව ගණන් කර පෙන්වීමයි. මෙය ක්‍රම ක්‍රමයෙන් දියුණු කළ යුත්තකි. ඔබ පොළට ගොස්
එළවළු රැගෙන ආ වෙලාවට එළවළු වෙන් වෙන්ව අතුරා ඒවා එකින් එක ගණන් කරන්න. මෙය දරුවාට ඇසෙන්නට හා දකින්නට සලස්වන්න. මෙය කීප දවසක් සිදුකරන විට දරුවා නිරායාසයෙන්ම ගණන් කිරීමට උගනී. පබළු ඇට, ටොෆි, රථවාහන වැනි දරුවා ආසා කරන දෙයකින් ආරම්භ කළ හැකිය. මෙය ඔබට ගීතයකින් ඉගැන්විය හැකිය. දරුවා නාවනවිට කෝප්පයෙන් ඔළුවට වතුර දමද්දී 1, 2, 3, 4, 5 ආදී වශයෙන් ගණන් කළ හැකිය.

එකයි දෙකයි තුනයි කියලා
වතුරට පැන්නා
එකයි දෙකයි තුනයි කියලා
ගොඩටම ආවා
හා පැටවුන් දෙන්නයි.
පූසු පැටව් තුන්දෙනයි.
එකයි දෙකයි තුනයි කියලා
ගොඩටම ආවා.
හා පැන්චලා එකයි දෙකයි
පූසු පැටව් එකයි, දෙකයි, තුනයි
අපි සේරම එකතු වෙලා පහටම ගැන්නා.
ආදී වශයෙන් ඔබට විවිධ ප්‍රශ්න ගොඩනඟා ගෙන ප්‍රශ්න කළ හැකිය. මෙය නැතිනම් ගීතයකින් කියා දිය හැකිය.

අඹ ගෙඩියක් උඩ අත්තේ
අඹ ගෙඩියක් බිම අත්තේ
අෑතින් එන බට්ටිච්චෙක්
පේර කන්න ගහට එතේ
ටිං ටිං ටිං පොඩි ලේනා
පේර ගෙඩිය කන ලීලා
ළඟ ඉඳගෙන තව ලේනෙක්
පේර ගහට දිව යන්නා
පන්ති කාමරයේදී නම් මෙය පින්තූරයකින් හෝ පෙන්වා දරුවාගෙන් ප්‍රශ්න ඇසීමට පුළුවන.

විශාරද
නයනා ගුණවර්ධන
ව්‍යාපෘති නිලධාරි
ජාතික අධ්‍යාපන ආයතනය

3 comments:

ස්තුතියි

http://www.univotec.ac.lk/

What about this? However no need to publish this comment. :)

@ RanDil
We will add your Link RanDil
Thanks

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි