Wednesday, May 1, 2013

දොස් - නිදොස් 001


ඩී. එෆ්. කාරියකරවන

සත්‍යය

“එන්න සත්‍ය දැනගන්න” යන්න මේ දිනවල තොරතෝංචියක් නැතිව අසන්නට දකින්නට ලැබේ.
මේ ‘සත්‍ය’ යන්නෙහි අසත්‍යය ගැන ලියන්නට සිත සිතා ඉන්නා විට අලුත් ආචාර්යවරියකගේ අස්සනින් මට ද ලැබුණු ආරාධනා පත්‍රයෙක මේ ‘සත්‍ය’ යන්න දකින්නට ලැබිණි.
සත්‍යය දැන ගැනීම ඉතා හොඳ දෙයකි. එහෙත් බස නො මැරිය යුතු ය. එක අකුරක් වැරැදුණොත් සිදුවන්නේ බස නැසීමෙකි.
ඇත්ත යන්නට යෙදෙන බර වචනය සත්‍යය යි. එය නාම පදයෙකි. මෙහි තුන්වැනි අකුර වූ ‘ය’ යන්න නැතිව යෙදෙන්නේ නාම පදයක් හැටියට නොව විශේෂණයක් වශයෙනි. නිදසුන් මෙසේ ය. සත්‍ය තොරතුරු, සත්‍ය ප්‍රවෘත්ති, සත්‍ය කතා යන අදහසිනි.
“එන්න සත්‍ය දැන ගන්න” යනුවෙන් යෙදෙන විට සිදුවන්නේ බස නැසීමෙකි. “එන්න සත්‍යය දැනගන්න” යනුවෙන් එය නිවැරැදි විය යුතු ය.
‘ය’ යන්න එපා ම නම්, “එන්න, සත්‍ය තත්ත්වය දැනගන්න” යනුවෙන් කිය හැකි ය.

ආචාර්ය

අපේ බොහෝ දෙනකු නමට මුලින් යොදා ගැනීමට ප්‍රිය කරන ‘ආචාර්ය’ කෑල්ල කලෙක සිට ම වැරැදියට වහරන්නකි.
මේ ‘ආචාර්ය’ කෑල්ල යොදන්නේ ඉංගිරිසියෙන් Dr. (Doctarate) යන්නට ය.
ආචාර්ය යන්න (කාගේ දෝ නොවැටහීමෙන්) මුලින් ම යෙදුණේ Doctor of Philosophy යන්නට ය.
මේ විශාරද යන්න වෙනුවට කාගේ දෝ වැරැදීමෙකින් ‘ආචාර්ය’ යන්න වැටී ඇත. එතැන් සිට දිගටම ආචාර්ය!
ඉස්සර ආචාර්යවරුන් සිටියේ උගන්වන්නට ය. දිසාපාමොක් මහාචාර්යවරයාගේ සිට උගැන්වීමේ යෙදෙන බාලාංශ ගුරුවරයා දක්වා හැම දෙනම ආචාර්ය නම් වූහ.
අද ආචාර්ය වන්නට උගන්වන්නට ඕනෑ නැත. කවර විෂයයකින් හෝ පී.එච්.ඩී. කඩුල්ල පැන ගත්තොත් ඔහු ආචාර්යවරයෙකි. මේ නූගන්වන ආචාර්යවරු, වැඩබිම, කම්හල යන ආදී තැන්වල ද වෙති. එම ස්ථානවලට කුමට ද ආචාර්යවරු.
එහෙයින් මේ ‘ආචාර්ය’ යන්න ‘විශාරද’ බවට පරිවර්තනය වීම තවත් පමාවිය යුතු නැත.

ලපයි සිපයි

නොගැළපෙන - නොසුදුසු උදවිය හැඳින්වීමට අපේ ජන වහරේ ඇති දෙවදනෙකි, ලපයි සිපයි.
උගතුන්ගේ රැස්වීමකට එහෙම උගත්කම් නැතියවුන් සහභාගි වුවහොත් ඔවුන් හඳුන්වනු ලබන්නේ ‘ලපයි සිපයි’ යනුවෙනි.
මේ දෙවදන හැදුණු අන්දම ගැන මට ප්‍රථම වරට අසන්නට ලැබුණු කතාව ‘සිළුමිණ’ ට ලියා එවා ඇත්තේ, රාගම ආනියාකන්ද පාරේ, නවරත්න අත්තනායක මහතා ය. ඒ මහතා මෙසේ කියයි.
“නැඟෙනහිර ඉන්දියානු වෙළෙඳ සමාගම විසින් ඉන්දියාව පාලනය කැරුණු මුල් යුගයේ ඉතා කුඩාවට නාවුක හමුදාවක් හා පාබළ හමුදාවක් පිහිටුවාගෙන ඇත. ‘LASCAR’’ සහ’SEPOY’ යනුවෙනි. මේ හමුදා භටයන් හඳුන්වන ලද්දේ කුලී හේවායන් වශයෙනි. ලස්කිරිඤ්ඤ නම් වූයේLASCAR ය. ‘සිපෝයි නම් වූයේ SEPOY ය.”
මේ නම් දෙක තමා ‘ලපයි - සිපයි’ වූයේ. මේ කුලී හේවායන් ලංකාවේ කැරලි මැඩීමට ද ඉංගිරිසි ආණ්ඩුව විසින් ගෙන්වන ලද බව කියති.

මන්දාකිනිය

මන්දාකිනිය නම් කිමෙක්දැයි පාඨකයෙක් අසයි. මේ වදනට අරුත් කීපයක් ම වේ.
හිමාලයේ පිහිටා ඇතැයි කියන විල් හතෙන් එකක් මන්දාකිනි නම් වේ. අහස් ගඟ මෙන් ම ඇත් කුලයෙක නම ද මන්දාකිනි නම් වේ.
අහසේ ඇති තාරුකා සමූහයට ද මන්දාකිණි යන නම යෙදේ. තරුවැල යන්න ද මන්දාකිණි නම් වේ.
නවීන පුවත් පතෙක විශේෂාංගයකට ද මේ නම යොදා ගෙන ඇත.

මිය ඇදෙනවා

මරණයට පත්වීමට තවත් නමෙකි, මිය ඇදෙනවා යන්න.
 

හම්බවෙලා

‘සජිත්ට එජාපයේ - අලියෙක් හම්බවෙලා’ යන්නක් පත්තරයක දකින්නට ලැබිණි.
‘අලියෙක්’ යන්න ද නො ගැළපේ. ඊට වඩා නරක ‘හම්බ වෙලා’ යන්න ය. ‘හමුවෙලා’ නැත්නම් ‘සමුවෙලා’ යන්න වෙනුවට ‘හම්බවෙලා’ යන්න හොඳ යෙදුමක් නොවේ. මෙවදනින් යම් යම් අයගේ සිත් රිදෙන්නට ද බැරි නැත.
“මහළු මඩම දඟ ගෙයක් ද?” යන සිරසක් ඉරිදා පත්‍රයෙක දකින්නට ලැබිණි.
වියපත් වූවන් ගේ නේවාසිකාගාරය මහලු මිස ‘මහළු මඩම’ නොවේ.
‘මහලු’ යන වදනට මූර්ධජ නැත.

වත ගොත

අන්තර්ජාලය (Internet) ආවාට පසු අපේ යොවුන් පෙළ වෙසෙසින් නැඹුරු වූයේ වතගත (face book) කෙරෙහි ය. face - වත (වක්ත්‍ර) book - ගත (ග්‍රන්ථ) වතගත හැදෙන්නේ එසේ ය.
මේ වතගතෙහි ඇත්තේ ඔවුනොවුන් ගේ වතගොත ය. අනෙක් අතට වතගතට වඩා අපේ කටට හුරු වතගොත ය. එහෙයින් අපිට face book යන්න වත ගොත යනුවෙන් හඳුන්වමු.

අපරාධ

මිනිමැරුමක් වූවිට ඒ ස්ථානය කහපාට පටිවලින් කොටු කරන පොලීසිය දැන්වීමක් තබන්නේ “අපරාධ ස්ථානයක් ඇතුල්වීම තහනම්” යනුවෙනි. මෙහි “අපරාධ ස්ථානයක්” යන්න සුදුසු නැත. අපරාධයක් වූ ස්ථානය යනුවෙන් විය යුතු නොවේ ද?

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි