Sunday, May 12, 2013

“එකෝමත් එක රටක පුංචි කැලෑවක හා පවුලක් ජීවත් වුණා."


සමාජයෙන් සමාජයට මවුවරු වෙනස් වුවත් ඒ දයාව කරුණාව එකමයි


“එකෝමත් එක රටක පුංචි කැලෑවක හා පවුලක් ජීවත් වුණා. ඒ හා පවුලේ හිටියා පුංචි හා පැටියෙක්. හා අම්මා මේ පැංචට හැමදාම කියනවා අම්මට නොකියා ගෙදරින් පිට කොහේවත් යන්න එපා කියලා. හා අම්මයි හා තාත්තයි එහෙම කියලා පුංචි පැංචව ගෙදර තියලා කෑම සොයන්න යනවා. ඒත් එක දවසක් හා පැංචට හිතුණ මේ ලෝකේ ලස්සනම තැන හොයාගෙන යන්න ඕන කියලා. එහෙම හිතලා හා පැංචා ගෙදරින් පිටත් වුණා. හා පැංචා රෑ වෙනතුරුම ලස්සන තැන සොයමින් ඇවිද්දා. ඒත් හොයා ගන්න බැරි වුණා. හා පැංචට බඩගිනියි. ඒ වගේ ම නිදිමතයි. දැන් කළුවරත් වැටිලා. පැංචා ළඟම තිබුණ උදුපියලිය ගොල්ලේ හාන්සි වුණා. පැංචට හොඳටම නින්ද ගියා.
උදේ ම ඉර පායගෙන ආවා. හා පැංචට ඇහැරුණා. පැංචා වටපිට බැලුවා. හැම තැනම ලස්සනට මල් පිපිලා. සමනල්ලු පැණි බොනවා. පරිසරය හරිම ලස්සනයි. පැංචා සතුටින් කෑගැහුවා. මං ලෝකේ ලස්සනම තැන හොයා ගත්තා කියලා.
“හා අම්මා පැංචා ළඟට ඇවිත් කිව්වා ඔව් පුතේ ලෝකේ තියෙන සුන්දරම ලස්සන තැන තමයි තමන්ගේ ගෙදර කියලා.”
මේ කතාව මට කියලා දුන්නේ මගේ අම්මා. ඒ මීට අවුරුදු තිහකට තිස් පහකට විතර පෙර. කාලය වේගයෙන් ගෙවිලා ගිහිල්ලා. ඒත් ලෝකේ තියෙන සුන්දරම තැන තමන්ගේ ගෙදර නම් ඒ ගෙදර වඩාත් සුන්දර වෙන්නේ එහි වෙසෙන්නන් නිසා. විශේෂයෙන් ම ගෙදරක සොඳුරු බව, හැඩකාර බව එහි පැතිරී ගිය ආදරය දයාව වඩ වඩාත් දැනෙන්නේ අම්මා කියන චරිතය නිසා. ගෙදරක සිරියාව ඇයයි. ගෙදරක ආදරය, දයාව, කරුණාව බෙදන්නිය ඇයයි.
අතීත ජනකවියා අම්මා යන චරිතය දුටුවේ හරි අපූරු විදිහට. ඒ වගේ ම අම්මාගේ ආදරය අහිමි වූ කළ දරුවන් අසරණ වන බව ඔහු කිව්වේ මේ විදිහට.
“ඉර පායා ඉර මුදුනට එන්න එපා
සඳ පායා සඳ මුදුනට එන්න එපා
පෑදි දියට බොරදිය එක්වෙන්න එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා”
අද අම්මලා නැති දරුවෝ කොතරම් නම් මේ සමාජයේ අසරණ වී ඇත් ද? එමෙන් ම දරුවන්ගේ නොසලකා හැරීම් නිසා කොපමණ නම් අම්මලා මහ මඟ වැඩිහිටි නිවාසවල සුසුම් හෙළන්නේ ද? සීමා මායිම් නැති මවු සෙනෙහසක අපූරු ව දන්නේ එය අත්විඳි ඇත්තෝ පමණි. අම්මා කොයි දරුවාත් තම දරුවා සේම දකින්නී ය.
සමාජයෙන් සමාජයට අම්මලා වෙනස් වුව ද ඔවුන් සිත තුළ ඇති සෙනෙහස ද දයාව - කරුණාව එකසේ ය.
ඈත හද්දා පිටිසර හේන් යායකදී අම්මාගේ සෙනෙහස නැසී ගිය ගීත රචක නීතිඥ රණ්බණ්ඩා සෙනෙවිරත්නයන් දුටුවේ මෙලෙසිනි.
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැසි වැටුණා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ
(ගායනය - ගුණදාස කපුගේ)
අද ලෝක මවුවරුන්ගේ දිනයයි. ඔබේත් මගේත් අම්මා පිළිබඳව අගය කරන්න සිහිපත් කරන්න එක දිනයක් ඇයි. ගෙවී යන සෑම දිනක් ම අයිති අම්මාටය. නිවෙසකට දවස කැන්දන්නී ඇයය.
ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා
එහි හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවදේ අද ලොවුතුරු සුව විඳිනා
කලාවැවේ නිල් දියවර අපෙ අම්මා
පද රචනය - සුනිල් දයානන්ද කෝනාර
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
මුළු ලොවක් අප තනිකර යද්දී අප වෙනුවෙන් ළඟ රැදෙන්නී ඇයය. ඇගේ සෙනෙහස මුළු ලෝකයමයි. අපගේ සියලු දුක්ඛ දෝමනස්සයන්වලට සුසුම් හෙළන්නී සතුටු වන්නී ඇයය. කුසගින්න නිවන්නට තිබෙන එකම බත් අහුර හෝ අපට දී ඇය කුසගින්නේ හිඳින්නී ය. අම්මා; නිවෙසට දවස උදාකරන ඇය දවස නිමාවේ විඩා හරින්නේ සියල්ලෝ නින්දට යවා ය. ඇතැම් විට අපි ඇගේ සිතේ ඇති හැඟීම් නොදන්නේ ය. ඒ ඇය කිසිදු විටෙක තම බැරි අමාරුකම් ගැන නොව දරුවන් ගැනම පමණක් කතා බහ කරන බැවිනි.
අම්මා මහ පුදුම චරිතයකි. අම්මා හරි අපූරු චරිතයකි. අම්මා බාහිර පාට පාට මෝස්තර, ආලේපන නැතිවාට ඇය සුන්දර ය. හැදූ මවටයි මහ පොළවටයි නිවනක් නැතුවා සේ ම ඇය මෙලොව හැර ගිය ද දරුවන්ගේ දුක් කඳුළු පිසින්නට ඈත ලොව සිට හෝ එන්නීය. නැසීගිය ගීත රචක ධර්මසිරි ගමගේත් අම්මා දකින්නේ එලෙස ය. අද මගේ අම්මා මා ළඟ නැත. එහෙත් ඔබේ අම්මා ඔබ ළඟ ඇත. දරුවන් වෙනුවෙන් සිය ජීවිතය කැප කරන, කැපකරු සියලු අම්මාවරුන්ටයි මේ උපහාරය.
“අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු
අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුරලොව සිට අතපා
ඒ කඳුළැලි පිසිනා”
ගායනය - නන්දා මාලනී

අද කතාබහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අංශයේ කථිකාචාර්ය
කුසුමලතා ලංකාමුල්ල

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි