Wednesday, May 1, 2013

සේකර ‘හෙවණැලි ඇද මිනිස්සු’ කවරේ ඇන්දෙ ගිනිකූරකින්

























මහගමසේකරයන් බහු විවිධත්වයෙන් යුත් නිර්මාණකරුවෙක්. මේ සුවිශේෂී බව පිළිබඳ ඔබේ අදහස.
සේකරයන් බහු විවිධත්වයේ යුතු වීමට බලපෑ හේතුකාරණා 4 ක් මම දකිනවා. එකක් තමයි ඔහු ප්‍රාචීනවාදී සාහිත්‍යයේ කෙළවරට ම ගිය නිර්මාණකරුවකු වීම. උදාහරණ වශයෙන් ජාතක පොත ථෙර, ෙථිරී ගාතා, ධම්මපදය, මහාභාරතය, රාමායණය, ජන කතන්දර ආදී සාහිත්‍යාංග ඔහු කියවලා ඇසුර ලබලා තියෙනවා. ඒක පළවෙනි රේඛාව. දෙක මේ ආකාරයෙන් ම සේකර පෝෂණය වෙලා තියෙනවා බටහිර සාහිත්‍යයෙන්.
උදාහරණ වශයෙන් ඔහු ඉංගී‍්‍රසියට පරිවර්තනය වූ ගී‍්‍රක පොත් කියවා තිබෙනවා. ඔහුගේ අතේ තිබෙනවා මම දැකලා තියෙනවා යුරිපිරිඩිස්, සොක්‍රටීස්ගෙ පොත්. එතකොට සම්භාව්‍ය නාට්‍ය කෘති ඔහු පරිශීලනය කරනවා. ඒ වගේ ම ලියෝ ටෝල්ස්ටෝයි, මැක්සිම් ගෝර්කි, ඇන්ටන් චෙකොෆ් වැනි රුසියන් ලේඛකයන්ගේ පොත්වල ඉංගී‍්‍රසි පිටපත් ඔහු හොඳින් පරිහරණය කර තිබෙනවා.
මහගමසේකර මේ කෘති පරිහරණය කළේ ගුරුවරයකුව සිටි අවදියේ. සේකරලට උගන්වපු ගුරුවරු මේ චින්තාවලි දෙක ම ඉගැන්වුවා. ප්‍රාචීනවාදී වගේ ම ප්‍රතිචීනවාදී සාහිත්‍ය මූලාශ්‍රවලිනුත් පෝෂණය විය යුතු බව මේ ගුරුවරු උගැන්වූවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සේකර වගේ අයට නිසඟ හැකියාවක් උත්පාදනය වුණා. සේකර සිත්තරෙක්. ඒ තමයි මම කියූ තුන්වැනි සාධකය.
ආනන්ද සමරකෝන්ටත් මේක ලැබුණා. මංජු ශි‍්‍රටත් මේ ආභාසය ලැබුණා. මේ දෙදෙනාගෙන් පසුව මේ කෞශල්‍ය ලැබූ කෙනා තමයි මහගමසේකර. ඔහුගේ චිත්‍ර ගැන ඇගයුම් කළ කෙනෙක් සිටියේ නැහැ. හතරවැන්න ඔහුගේ නවකතා, කෙටිකතා සහ කාව්‍ය හරියට විශ්ලේෂණය කළොත් ඒවායේ ඇතුළත තියෙන්නේ වෘත්තාන්ත. හුදු සෞන්දර්යය පමණක් නොවෙයි තිබෙන්නේ. වෘත්තාන්ත වේදයේ සක්විත්තෙක් හැටියට සේකර හඳුන්වන්න පුළුවන්. මම දන්නවා ඔහුගේ නොපළ කෘතිත් තියෙනවා.
ජේ.බී. සේනානායකයන්, මඩවල එස්. රත්නායකයන් පරිවර්තනය කළ නිසා ඕමාර් ඛයියාම් ගේ ‘රුබයියාට්’ කාව්‍යයේ තමා කළ පරිවර්තනය ඉදිරිපත් කිරීමට මහගමසේකරයන් කැමති නොවූ බව ඔබ මීට පෙර අපට කියා තිබෙනවා.
මේ දෙදෙනාට ම කලින් තමයි මහගමසේකර රුබයියාට් පරිවර්තනය කළේ. ජාතක කතා, ධම්මපද කතා, භගවත් ගීත, රාවණා කතා ඒ එක්කම බටහිර රුබයියාට් එකවර ලිවීමට ඔහු බසක් සෙවූ බව මට කියා තිබෙනවා. ඒ බස පැරණි බසත් අතිශයින්ම නවීන බසත් නොවෙයි. ඔහු රසවාහිනී සඟරාවට මේ කවි පරිවර්තනය කරන්නට පටන් ගත්තා. මේ වෙනකොකට ජී.බී. සේනානායකයි, මඩවලයි මේක පරිවර්තනය කරලා නැහැ.
නමුත් පසුව මේ දෙදෙනා පොත් දෙකක් පළ කළ නිසා මගෙත් එක්ක මහගමසේකර දවසක් කිව්වා, තුන්වැනි එකක් එන එක හොඳ නැහැ නේද කියලා. අර දෙන්නට එහෙම වුණොත් පාඩුවක් වෙනව නේද කියලා ඔහු කිව්වා. මම පසුව මේ දෙක සංසන්දනය කරලා බැලුවා. සේකර පාවිච්චි කරලා තිබුණේ අර දෙන්නාට ම වඩා වෙනස් බසක්. ඒ බස මුල් කෘතියට හරි සමීපව යනවා. ඔහු භාවිතා කර තිබුණේ නාට්‍යමය බසක්. ඕමාර් ඛයියාම් කියන කවියා පාවිච්චි කරලා තිබුණු ඉංගි‍්‍රසි බස මෙන්න මෙහෙමයි.
with them the seed of wisdom did I sow, And with my own hand labour’d it to grow, And this was all the Harvest that I reap’d I came like water, and like wind I go
මේක සේකර පරිවර්තනය කළ අපූරුව බලන්න.
ගලා බහින ජල ධාරාවක් සේ
මතුවී මෙහි එනවා
කාන්තාරයෙන් එන පවනක් සේ
පිටවී මින් යනවා
මුල් කවියේ රිද්මය, ගලායාම, හඬ ඒ පරිදිම තිබෙනවා. ඒ වගේ ම අර්ථය මරලා නැහැ.
ඉංගි‍්‍රසි සාහිත්‍යය හදාරපු කෙනෙක් විදියට මෙය කියවනකොට මට පෙනුණේ මේක නේද පරිවර්තන භාෂාව කියලා. ඔහුට කොයින්ද මේ ආභාසය ලැබුණේ. අපි පෙර කී දෙමාර්ගය ම ඇසුරු කිරීම නිසයි ඔහුට මෙවන් ප්‍රතිභාවක් ලැබුණේ. එනම් ප්‍රාචීන, ප්‍රතිචීන සංදිස්ථානය.
සේකරයන්ගේ නවකතා දෙකක් පිළිබඳ ව පමණයි අප දන්නේ. ඒ මනෝ මන්දිර හා තුංමංහන්දිය. සේකර ළඟින් ඇසුරු කළ කෙනෙක් විදියට අප දන්නා ඉතිහාසයට වඩා යමක් ඔබ දන්නා බව මා දන්නවා.
සේකරගේ පළවෙනි නවකතාව ‘මනෝ මන්දිර’. ඊට පස්සේ තුංමංහන්දිය. තුන්වෙනි නවකතාව පළ කළේ නැත්තේ ඇයි කියලා මටයි කරුණාරත්න අමරසිංහ මහත්තයාටයි ඔහු කිව්වා. ඒ පොත එක දවසක් රැයක් එළවෙනකම් සේකර අපි දෙන්නට කියෙව්වා. එය පළ නොකිරීමට ඔහුට ප්‍රබල හේතුවක් තිබුණා. එය අතිශය පෞද්ගලික වැඩියි. ඒ නවකතාව පළවුණා නම් ඔහු හිතන්න ඇති ඔහු ගර්හාවට ලක්වේවි කියලා. එය මහගමසේකරගේ නිහතමානී බවේ ලකුණක්. ඔහු හරිම නිහතමානී මනුෂ්‍යයෙක්. ඊටත් වඩා පඩිවරයෙක්.
ඇත්ත වශයෙන් ම සේකරට තිබුණා රැස් වළල්ලක්. හොඳ ලේඛකයකුට ඔහු වටා හෝ ඇය වටා රැස් වළල්ලක් තියෙනවා. ආනන්ද කුමාරස්වාමි, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මුනිදාස කුමාරතුංග, මාර්ටින් වික්‍රමසිංහ වගේ අයට මේ රැස් වළල්ල තිබුණා. මොහුගේ රැස් වළල්ල ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි ඔහු මානව හිතවාදියකු වීම, පරිවර්තකයකු වීම, පර්යේෂකයකු වීම, ගීත රචකයකු වීම, කවියකු වීම, සිත්තරකු වීම, සිනමාවේදියකු වීම, නාට්‍යකරුවකු වීම, ගුරුවරයකු වීම, නවකතා කෙටිකතාකරුවකු වීම යන බහුවිධ කුසලතාවය.
සේකර අනෙක් කලාකරුවන් අතරින් සුවිශේෂී වන්නේ කවර හේතු කාරණා නිසාද?
පළවෙනි කාරණය තමයි සේකරට තිබුණා ඉබේම වගේ ඇතිවුණු ප්‍රතිභා ශක්තියක්. ඔහු ප්‍රතිභාවේ ඉහළම අඩියට ගිහින් තිබුණා. සේකර කියන්නේ කුසලතාවය ඉතාම ඉහළට වර්ධනය කරගත් කෙනෙක්. සේකරගේ ජීවිතය කෙටිවෙන්න බලපාපු හේතු තිබුණා. ඔහු දවසේ වැඩි කාලයක් සිටියේ අවදියෙන්. රාත්‍රිය ඔහුට පුංචියි. ඔහු එක්තරා කාලයක් දිනපතා ලංකාදීපයට කාටුන් එකක් ඇන්දා. ඩී. බී. ධනපාල මහත්තයා මේක හැඳින්වූයේ සේකරගේ ’excelent pocket cartoon’ කියලයි. ඔහු සමහර දවසට මේ කාටුන් එක රෑ දෙකටත් ඇවිල්ලා අඳිනවාලු. රෑ තුනට හතරටත් ඇවිත් අඳීනවලු. ඊට පස්සේ උදේට ගිහින් උගන්වනවා.
ඒ කාලේ නැවතිලා හිටියේ පුංචි බොරැල්ලේ නොරිස් හෝටලේ. ඊටපස්සේ උගන්වන අතරමැදදි තේ එකක් බොන විවේකයේදීත් කොළයක් අරන් අඳිනවාලු. ලියන්නෙත් එහෙමයි. ඔහුට රවින්ද්‍රනාත් ඨකූර්ගේයි, ඛලීල් ජිබ්රාන්ගෙයි කෘතිවල තියෙන චරිත, වගන්ති හොඳට මතකයි. ඔහුට ඨකූර්ගේ ‘චණ්ඩාලිකා’ පොතේ වගන්තිත් මතකයි. ඒව කටපාඩමින් කියන ගමන් කියනවා මේවා අලුතෙන් ලියන්න පුළුවන් කියලා.
ඔහු නාට්‍යවේදියෙක්. සේකර නාට්‍ය 4 ක් වේදිකාවට නිර්මාණය කරලා තියෙනවා. නමුත් කවදාවත් ඇගැයුමට ලක්වුණේ නැහැ. සද්දන්ත, හංසගීතය, ස්වර්ණතිලකා වගේ නාට්‍ය. ඊට පස්සේ ඔහු නාට්‍ය කිහිපයක් ඉංගී‍්‍රසියෙන් සිංහලට පරිවර්තනය කළා. ඒවායේ පිටපත් සොයාගන්න අපහසුයි.
ඒ වගේ ම ඔහු ළඟ තිබුණා කාලය ඉක්ම වූ ප්‍රතිභාන්විත භාවයක්. ‘හෙට ඉරක් පායයි’ මීට උදාහරණයක්. ඔහු මට කියා තිබෙනවා අදහස් ප්‍රකාශ කරන්න පිටුවක ඉඩ ප්‍රමාණය මදි කියලා. ඔහු කිව්වා සටහන් අඳින්න ඕන, අදාළ ශබ්ද පවා මේකට ඇතුළත් කරන්න ඕන කියලා. ඒ කාලේ උපාධි අපේක්‍ෂකයෝ විදියට සාහිත්‍යය, සමාජ විද්‍යාව ආදි නොයෙකුත් දේවල් හදාරන අපිට මහගමසේකරගේ භාෂාව හරි ඉහළ වැඩියි.
මේ කාලයේ වෙන්න ඇති පැළලි කවි කියලා මේවා විචාරකයන් උපහාසයට ලක් කළේ?
ඒ වුණාට ඔහු සැලුණේ නැහැ. ඒ වගේ ම නිසදැස්කවි කියලා කොතනකවත් ඔහු ඒ කවි හැදින්වූයේ නැහැ. මක්නිසාදයත්, බෝඩිම, රාජතිලක ලයනල් හා පි‍්‍රයන්ත, සක්වාලිහිණි, නොමියෙමි, ප්‍රබුද්ධ වගේ පොත් අදත් ඇගැයුමට ලක් කරන්න පුළුවන්. ‘නොමියෙමි’ ප්‍රස්ථාවනාව ලියන්න ගිහින් මුළු රැයක් අපි කතා කර කර ඉඳලා සෑහෙන ප්‍රමාණයක් ඉවතට දැම්මා.
දැන් වගේ වුණා නම් මම කියනවා එහෙම ඉවත දමන්න බැහැ කියලා. ඒ කාලේ මමත් දැඩි විචාර ක්‍රමයක් අනුගමනය කළ නිසයි එහෙම වුණේ. නවීන සාහිත්‍ය ඉගෙන ගෙන අපි අතරමං වෙලයි හිටියේ. යමක් මධ්‍යස්ථව බලන්න ශක්තිය ලබා ගැනීමයි සාහිත්‍ය විචාරයෙන් අවශ්‍ය කරන්නේ. ඒ නිසයි මේ තාවකාලික විචාරකයෝ ටික කලකින් නැති වෙලා යන්නේ.
තුංමංහන්දිය චිත්‍රපටය ගැන හරි විචාරයක් පළ වුණේ නැහැ. සේකරගේත් මගේත් යාළුවකු වන බෙනඩික්ට් දොඩම්පේගමයි මමයි තමයි මේ චිත්‍රපටිය ගැන යමක් කතා කළේ. මේක කිසිම ඇගැයුමකට පාත්‍ර වුණෙත් නැහැ. සේකර කියන්නේ සම්මානවලට හසුවන විදියේ රාමුගත ප්‍රතිභාවක් තියෙන කෙනෙක් නොවෙයි.
’තුංමංහන්දිය’ නවකතාවට සාහිත්‍ය සම්මාන නොලැබෙන්නේ සම්මත වචන ගණන නොමැති නිසයි.
ඒ වගේ දේවල් තමයි මේ රටේ වෙන්නේ. ‘බෝඩිම’ කාව්‍ය සංග්‍රහයට විතරයි සම්මාන ලැබුණේ. ප්‍රබුද්ධ වලටවත් හම්බවුණේ නැහැනේ. ඒ විතරක් නොවෙයි, තමන්ගේ ආචාර්ය උපාධියට පර්යේෂකයෝ අහලා මේක නිබන්ධයක් ලෙස ඔබ ඔප්පු කරන්නේ කෙසේ ද කියලා. හරි නම් ඔහුගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ තියෙන්න ඕනේ. ‘රිද්ම යනු කුමක්ද’ එය සම්මත පර්යේෂණ නිබන්ධයක්.
ඔහුගේ පළමු දේශනය පැවැත්වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ. ඔහු කැලණියේ බාහිර කථිකාචාර්යවරයෙක්. ඒක කවුරුත් දන්නේ නැහැ.
සේකර චිත්‍ර ශිල්පියෙක්. ඒත් ඔහුගේ සිත්තර හැකියාව ගැන වැඩි අවධානයක් යොමුවී නැහැ.
මේ මාතෘකාව ගැන කතා කරන්න මම එච්චර සුදුසුකම් ලබලා නැහැ. මම ටිකක් විස්තර කියන්නම්. ආනන්ද සමරකෝන් සේකරගේ චිත්‍ර ඇගැයීමට ලක්කළ කෙනෙක්. ඒක අපි කවුරුත් දන්නේ නැති දෙයක්. සේකර ඒ ගැන කියන්නෙත් හිනාවෙලා. මංජු ශි‍්‍ර සේකරට තදට බලපෑම් කළ කෙනෙක්.
සේකර සතු උපහාසය පත්තර කාටූන්වලට හරවාගන්න පුළුවන් බව තේරුම්ගත් කෙනා තමයි පෙරමුණේතිලක. 1972 ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වුණා. සමහර අය ඔහුගේ චිත්‍ර මිලදී ගත්තා. මිලක් නියම කරන්නටවත් සේකර දන්නේ නැහැ.
ඔබේ ‘හෙවණැලි ඇද මිනිස්සු’ නම් රාජ්‍ය සම්මානිත නවකතාවේ පිටකවරය ඇන්දේ සේකරයන්. ඒ පිටුපස අපූරු කතාවක් තිබෙන බව මම අසා තිබෙනවා.
මම ගියා සේකර හමුවෙන්න පොතේ කවරයට චිත්‍රයක් අන්ද ගන්න. එදා තද වැසි දවසක්. සේකර ගිනිකූරකින් තමයි මුළු පිට කවරයම ඇන්දේ.
මම ගුවන් විදුලි සංස්ථාවේ පිටපත් සම්පාදක වශයෙන් ඉල්ලා සිටි තනතුරකට ඉල්ලුම් පත්‍ර දැම්ම අවස්ථාවේ මාව තෝරාගන්න මණ්ඩලය මගෙන් ඇහුවේ, මෙතන හිස්වෙලා තියෙන්නේ මහගමසේකරයන්ගෙන්, ඔබේ මේ සම්මානලාභී නවකතාවට චිත්‍රයක් ඇඳලා තියෙන්නෙත් මහගමසේකර කියලා. මොකක්ද මේ කවරෙන් කියන්නේ කියලා ඔවුන් ඇහුවා. මම කිව්වා චිත්‍ර ශිල්පියකුගේ පරිකල්පනය මොකක්ද කියලා මට කියන්න බැහැ, නමුත් මේ නවකතාවේ තේමාව නම් මගෙන් අහගත්තා, එදා වැස්ස තිබුණා. ඔහු මුළු චිත්‍රයම ඇන්දෙ ගිනිකූරකින්, ඔහු මට ඒ ගැන කිව්වේ ඒ ‘යෝනිසෝමනසිකාරය’ කියලයි. මම එහෙම කිව්වා. විනිශ්චය මණ්ඩලයේ අය හිනාවුණා. ඒ සේකරගේ හැටි. ඔහු තමන්ගේ චිත්‍ර හැකියාව ගැන වැඩි සැලකිල්ලක් දැක්වූවේ නැහැ.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි