Friday, May 3, 2013

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා පිටියෙන් යොවුන් ලෝක ශූරතාවට සිව් දෙනෙක්‌



ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා යොවුන් ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙක්‌ යෝජිත පරිසාධන මට්‌ටම් ඉක්‌මවාලීමට සමත්ව සිටිති.

අදාළ තරගාවලිය ලබන ජූලි 10 සිට 14 දක්‌වා යුක්‌රේනයේදී පැවැත්වෙන අතර කොළඹ ආනන්ද විදුහලේ ඒ. එල්. කාරියවසම් (මීටර 100 ත.11.06) මහනුවර ශා. සිල්වෙස්‌තර විදුහලේ ඉසුරු දිල්ෂාන් (මීටර 200 ත.22.23) අහංගම කතලුව මැදිමහ විදුහලේ පී. ජී. නිර්මලා මදුෂිකා (මීටර 400 ත.57.20) සහ ඔස්‌ටේ්‍රලියාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි උදිත ජයසේකර (රිටි පැනීම මීටර 4.65) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දැනට තරගාවලිය නියෝජනය සඳහා වූ කඩඉම ඉක්‌මවා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි.

යුක්‌රේන යොවුන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට සුදුසු ශ්‍රී ලංකා කණ්‌ඩායම තෝරා ගැනීමේ අවසන් තේරීම් පරීක්‍ෂණ ලබන 16, 17, 18 සහ 19 දිනවල දියගම මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවත් ජාතික ශූරතා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියට සමගාමීව පැවැත්වෙන අදාළ පරීක්‍ෂණයේදී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය විසින් ප්‍රකාශිත පරිසාධන මට්‌ටම ඉක්‌මවාලීමට තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වුවහොත් ඒ අයටද ලෝක ශූරතාව නියෝජනය කිරීමේ වරම හිමි වන බවත් පාලිත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසයි.

ඔස්‌ටේ්‍රලියානු සහාය දිවීමේ කණ්‌ඩායම මෙහි එයි

මේ අතර ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා තරග ඉතිහාසයේ ප්‍රථම වරට ඔස්‌ටේ්‍රලියානු සහය දිවීමේ කාන්තා කණ්‌ඩායමක්‌ හෙට (4 දා) තායිලන්තයෙන් ආරම්භ කෙරෙන 2013 ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවට සහභාගිවීමට නියමිතය.

ලන්ඩන් ඔලිම්පික්‌ (2012) ක්‍රීඩා උළෙලේ මීටර 4ං100 සහාය දිවීමේ ඉසවුවේ 6 වැනි ස්‌ථානය දිනූ ඔස්‌ටේ්‍රලියානු කාන්තා සහය දිවීමේ කණ්‌ඩායම හෙට (4 දා) තායිලන්තයේ බැංකොක්‌ නුවර පැවැත්වෙන අදාළ ශූරතාවේ පළමු අදියර මගහැර 8 දා තායිලන්තයේ චෞන්බුරි අදියරට සහ 12 දා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කොළඹ අදියරට පමණක්‌ සහභාගි වීමටද නියමිතය.

ඔස්‌ටේ්‍රලියානු සහය දිවීමේ කණ්‌ඩායම මෙවර ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවට සහභාගි වනු ලබන්නේ ලබන සැප්තැම්බර් මාසයේ රුසියාවේ මොස්‌කව් නුවර පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් බවද වාර්තා වේ.

මෙවර ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්‌වනු ලබන දස්‌කම් කෙරෙහි පූර්ව නිගමනයකට ඒමට මලල ක්‍රීඩා බලධාරීහු තවමත් අපොහොසත්ව සිටීමද විශේෂත්වයකි.


සුසිල් ප්‍රේමලාල්
http://www.divaina.com/2013/05/03/sports03.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි