Sunday, May 12, 2013

නිදහස්‌ අධ්‍යාපනය නොතිබුණා නම් අද මම විශ්‍රාමික ගොවියෙක්‌ !

නිදහස්‌ අධ්‍යාපනය නොතිබුණා නම් අද මම විශ්‍රාමික ගොවියෙක්‌ !ආචාර්ය ආරියපාල ඒකනායක

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්‌ත්‍ර පීඨයේ ආර්ථික විද්‍යා අංශයේ දිගු කලක්‌ සේවය කළ කීර්තිමත් ගුරුවරයෙකි. පර්යේෂකයෙකි. විද්වතෙකි. ලේඛකයෙකි. නිදහස්‌ අධ්‍යාපනය ඔස්‌සේ එහි මහරු ඵල ප්‍රයෝජන නෙලා ගනිමින් ප්‍රාමාණික උගතෙකු වූ ඔහු
මෙරට ආර්ථික විද්‍යා ක්‌ෂේත්‍රය බබළවන වත්මන් විද්වතුන් සිය ගණනකගේ කීර්තිමත් ගුරුවරයකු ලෙස ප්‍රකටය. ඔහු සිය ජීවිත ගමන අළලා ලියූ චරිතාපදානය ඇසුරින් පවත්වන ලද
සම්මුඛ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය

ජීවිතයේ විවිධ අත්දැකීම්වලට මුහුණ දෙමින් විවිධ තනතුරු උසුලමින් ජීවිතයේ සැÄ භාගයේ පසුවන ඔබට මෙසේ ඔබේ අතීත ජීවිත ගමන දෙස ආපසු බලන්නට හිතුණේ ඇයි?

පිළිතුර
හුදකලාවේ, තනි පංගලමේ මේ ගේ සාගරයේ ජීවත්වන මට, මගේ හිතට ගලාඑන සිතිවිලි ධාරාවන්වල කෙළවරක්‌ නැහැ. මේවායේ අවසානයක්‌ තිබෙන්න ඕනෙ. මේවා ක්‍රමවත්ව, පිළිවෙළකට ලියා තැබිය යුතු යෑයි මං අදහස්‌ කළා. මම ගැන මං හරියාකාරව දන්නවා යෑයි මට කියන්න බැහැ. මගේ ගෝල බාලයින්, නැදැ හිතමිතුරන් කෙසේ වෙතත් මගේ දූ දරු මුනුපුරු, මිනිපිරියන්වත් මං ගැන දන්නේ නැහැ. මං මෙහි තැබූ සටහන් නිසයි ඉහත සඳහන් සියලු දෙනාම මං කවුද යනු හරියටම දැන ගත්තේ. මුළු ලෝකයම පිහිටා ඇත්තේ බඹයක්‌ පමණ වූ මේ ශරීරය තුළයි. ඒa අනුව බලන විටත් තමා ගැන දන්නා ටික වැඩි කර ගැනීමට මෙවැනි අභ්‍යාසයක්‌ උපකාර වෙනවා. තවත් විශේෂ කාරණාවක්‌ තිබෙනවා. කොළඹ සිට සැතපුම් 100 ක්‌ පමණ මධ්‍යම කඳුකරය දෙසට ඈතින් ඇති, කඳු බෑවුමක පිහිටා ඇති අපේ ගම් ප්‍රදේශය ගැන කිසිවෙක්‌, කොතැනකවත් ලියා ඇති බවක්‌ මං දන්නේ නැහැ. ලංකාව යටත් විජිතයක්‌ව පැවති දෙවන ලෝක යුද්ධ සමය ගැන පොත් පත් බොහොමයක්‌ ලියවී ඇතත් අපේ ගම් ප්‍රදේශය ගැන කිසිවක්‌ ලියවී නැහැ. යුද්ධය නිසා ගම් ප්‍රදේශයට වූ හානිය, ඇතිවූ වෙනස ගැන දන්නේ දුප්පත් ගම්වැසියන් පමණයි. නිරන්තරයෙන්ම මගේ හිතට ඇතුළුවෙන සිතුවිලි ධාරා නිසා අතීතය මං වෙළා ගන්නා බව මට දැනෙනවා. මේ හැමටම පිළිතුරු ලෙස මං හිතුවේ හිත තුළ තෙරපෙන සියලුම දේ ක්‍රමවත්ව සටහන් කර තැබීමයි.

ප්‍රශ්නය
ඔබ ගමෙන් පැමිණ නගරය ජයගත් කෙනෙක්‌. ගම කොතෙක්‌ දුරට ඔබගේ ජීවිතය හැඩගස්‌වා ගැනීමට උපකාර වුණාද?

පිළිතුර
ඔබ කියන දේ හරියට ඇත්ත. මං ගමෙන් ඈත්වී බොහෝ කල් ගතවී ඇතත් මං ගමෙන් ලද ආභාසය දැනටමත් මා කෙරෙහි දැඩි බලපෑම් ඇති කරනවා. උදාහරණයක්‌ වශයෙන් ගත්තොත් මාගේ දෙමාපියන්ගේ, වැඩිහිටියන්ගේ ආගමික ජීවිතය මා කෙරෙහි ඇති කරන ලද බලපෑම් තවමත් මා හසුරුවන බව දැනෙනවා. නූතන පරම්පරාව කේන්දර, නක්‌ෂත්‍ර රාහු කාලය වැනි දේ එතරම් ගනන් නොගන්නා බව මට තේරෙනවා. එහෙත් මට ඒවා කෙරෙහි ඇත්තේ විශ්වාසයක්‌. ගමට රෝග බිය උපද්‍රවයක්‌ ඇති වන විට ගමේ පිරිස්‌ පන්සලට ගොස්‌ ලොකු හාමුදුරුවෝ හමුවී සති පිරිත් පටන් ගන්නවා. තරුණ පිරිස්‌ ගම දෙකට බෙදා ගම්මඩු , පොරපොල් තරග හා අං ඇදීම් වැනි පාරම්පරික ක්‍රීඩාවල යෙදෙනවා. රාත්‍රී කාලයේ ගම හරහා පන්දම් පත්තු කරගෙන දෙවියන්ට කන්නලව් කරමින් පේළි යනවා. මුලු ගමේම පිරිත් පැන් ඉහිනවා. මේ හැමදෙයක්‌ම කුඩා කල මගේ සිත තුළ තැන්පත් වුණා. ඒ හැමදෙයක්‌ම මගේ ජීවිතය හැඩගස්‌වා ගැනීමට උපකාර වුණා. ගමේ මුලාදැනියා හැමදේකටම ප්‍රමුඛත්වය දුන්නා.

ප්‍රශ්නය
ගම පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ ඔබගේ පොතේ සඳහන් වෙනවා. බැලූ බැල්මට එම විස්‌තරය පොතෙහි අනෙකුත් පරිච්ඡේද සමග නොගැළපේ යෑයි කෙනෙකුට සිතෙන්නට පුළුවන්. මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර
ඔය කියන කතාවට මම එකඟ වන්නේ නැහැ. මං ගම ගැන නොලියන්නේ නම් මගේ මතය හැටියට මම අහසින් වැටුණ කෙනෙක්‌ ලෙසට ඔබ සිතන්නට පුළුවන්. ගම ගැන ලියන්නට මට තවත් බොහෝ දේ තිබුණා. අවශ්‍යම ප්‍රධානම දේ තමයි ලියා තිබෙන්නේ. මගේ උරුමය එතනයි.

ප්‍රශ්නය
මාර්ටින් වික්‍රමසිංහ "අපේ ගම" වැනි කෘතීන් ලියන විට එය ගමටම පමණක්‌ සීමා නොවී දකුණු පළාතම ආවරණය වන අන්දමට ලිවීම කළා. මධ්‍යම පළාත සම්බන්ධව එවැනි කෘතීන් එළාදැක්‌වී නැති නිසා අනාගතයේදීවත් එවැනි කෘතියක්‌ එළි දැක්‌වීමට අදහසක්‌ නැද්ද?

පිළිතුර
ඔය සම්බන්ධව මම දැනගෙන හිටියේ මීට වර්ෂ ගණනාවකට ඉස්‌සෙල්ලයි. ඇත්තෙන්ම මෙවැනි කෘතීන් බිහි කිරීමට හැකියාවක්‌ තිබූ එකම පුද්ගලයා නැසී ගිය ටී. බී. ඉලංගරත්න මැතිතුමායි. නමුත් එතුමා ඔහුගේ මුළු කාලයම වැය කළේ නව කතා සහ කෙටිකතා ලිවීම සඳහායි. මෙය මං කියන කතාවක්‌ නොවෙයි. මාර්ටින් වික්‍රමසිංහ මහතා ජීවතුන් අතර සිටියදී කියපු කතාවක්‌. අනික එවැනි ගාම්භීර සාහිත්‍ය කෘතීන් ලියන්න තරම් ලේඛකයෙක්‌ නෙවෙයි මං.

ප්‍රශ්නය
ඔබගේ ග්‍රන්ථයේ රචනා ශෛලිය සහ "ඔබ" යොදා ගැනීමේදී "උත්තර පුවත්" භාෂාවක්‌ යොදාගෙන නැහැ. සිද්ධි සහ කරුණු ඇති සැටියෙන් වාර්තා කිරීම ඔබගේ අභිලාෂය බව පෙනෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස්‌ දැන ගැනීමට කැමතියි.

පිළිතුර
ඔබ අහන දේ ඇත්ත. මට අවශ්‍යව තිබුණේ සාහිත්‍යධරයන් හෝ පඬිරුවන් සඳහා පොතක්‌ ලිවීම නොවෙයි. කුමන තරාතිරමේ අයෙකුට වුවත් කියවා තේරුම් ගැනීමට පුළුවන් කෘතියක්‌ බිහිකිරීමයි. මම භාෂා විශාරදයෙක්‌ නොවන නිසා මට පහසු ශෛලියක්‌ යොදා ගත්තා. එය නිවැරැදි යයි මම හිතනවා.

ප්‍රශ්නය
ඔබගේ රාජකාරි ජීවිතය, රජයේ සේවය සහ විශ්වවිද්‍යාල සේවය යනුවෙන් ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදිය හැකිය. මෙම අංග දෙකෙහි අතීතය සහ වර්තමානය ගැන යමක්‌ කිව හැකිද?

පිළිතුර
මම මගේ රජයේ වෘත්තිය ආරම්භ කළේ 1951 නොවැම්බර් මස මැද භාගයේ දීයි. එතැන් සිට වසර 14 කට ආසන්න කාලයක්‌ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විවිධ ප්‍රදේශවල සේවය කළා. එකල රජයේ සේවයේ නියුතු අයෙකුට ලොකු ගරුත්වයක්‌ මෙන්ම පිළිගැනීමක්‌ තිබුණා. ඒ කාලය තුළ සමාන්තර ශ්‍රේණිවල නිලධාරීන් ආශ්‍රය කිරීමට අවස්‌ථාව ලැබුණා. මින්නේරිය වගේ දුර බැහැර ප්‍රදේශවල රජයේ සේවයේ නියුතු අයට රජයේ නේවාසික බංගලා පවා ලැබෙනවා. එමෙන්ම විශාල වශයෙන් කම්කරු ශ්‍රේණිවල පුද්ගලයින් සමග ගනුදෙනු කිරීමට අවස්‌ථාව ලැබුණා. තමන්ට ඉහළ නිලධාරීන්ට ගරු කිරීමට තම වෘත්තියට නිගරු වන සේ කටයුතු නොකිරීමට ඔවුන් පුරුදු පුහුණු වී සිටියා.
විශ්වවිද්‍යාලයේ දී මට මුණ ගැසුණේ ඊට හාත්පසින්ම වෙනස්‌ පිරිසක්‌. දිවයිනේ නා නා දෙසින් පැමිණි උගත් බුද්ධිමතුන් පිරිසක්‌. ඒ අය තුළ විවිධ මත තිබුණත් කලක්‌ යන විට ඒවා සියල්ලම සම වෙනවා. ඒ අයට මං නිතරම සැලකුවේ මගේ දරු පිරිසක්‌ ලෙසටයි. මේ අය විවිධ බාහිර බලපෑම් නිසා දඩම්බර වුවත් ඒ අයට නිසි මග පෙන්වා දීම ආචාර්යවරයෙකුගේ යුතුකමක්‌. වසර 28 ක දිගු සේවා කාලයක්‌ තුළ දහස්‌ ගණන් සිසු සිසුවියන්ට සිප් සතර උගන්වා ඇත. ඒ අය අතරෙන් අද සමාජයේ විවිධ තරාතිරම්වල වැජඹෙන පුද්ගලයන් සිටිනවා. මා ඔවුන් ගැන ආඩම්බර වෙනවා. ඔවුන් අතරෙන් ආරාධනා ලැබ හෝ නොලැබ අතළොස්‌සක්‌ දෙනා මගේ කෘතිය දොරට වැඩීමේ දිනයට පැමිණීම ගැන මං ආඩම්බර වෙනවා.

ප්‍රශ්නය
ස්‌වයං ලිත චරිතාපදානයකදී මම ඉදිරියටම ඒම වළක්‌වන්න බැහැ. එහෙත් ඒ කාර්යයේදී ඔබ ඇල්මරා ඒ කාරණා ඉදිරිපත් කරන බව මෙහි පෙරවදනින් කියවෙනවා. ඔබ එයින් අදහස්‌ කළ දේ කිව හැකිද?

පිළිතුර
ස්‌වයං ලිත චරිතාපදානයක්‌ කියන්නේ මම ගැන කියන කථාවක්‌ තමයි. ඒ වුවත් දැඩි මමත්වයක්‌ නැතිව එය ලිවීමට ප්‍රයන්ත දැරීම ලේඛකයෙකුගේ වගකීමයි. මා විසින් "ඇල්මරා" ඇත්තේ ලැනරෝල් පඬිවරයාගේ වචනවලින් කියවෙන හපන්කම් සහ "පුරසාරම්ය".

ප්‍රශ්නය
ඔබගේ ආදරණීය භාර්යාව "හැර නොයන සෙවණැල්ලක්‌" ලෙස ඔබගේ ජීවිතයට බලපා ඇති බව පෙනෙනවා. ඒ පිළිබඳව මතක සටහනක්‌ කිව හැකිද?

පිළිතුර
මට මේ සම්බන්ධව කථා කිරීම ඉතාම අපහසු දෙයක්‌. දැනට මා සමග නැති නිසා එය තවත් අපහසුයි. එහෙත් ඔබ අසන නිසා මේ සම්බන්ධව යමක්‌ පැවසිය යුතුයි. අප දෙදෙනා එක්‌ව ගතකළ අවුරුදු 51 ක ජීවිතය, කෙසේවත් අමතක කළ නොහැකියි. බොහෝ විට අප සිරිත යම් කෙනෙක්‌ ජීවත්ව සිටියදී ඇය හෝ ඔහු කරන කියන දේ අගය කිරීම වේ. නමුත් මම මගේ ජීවිතයේ යම් දුරකට ගියා නම් ඒ මගේ භාර්යාවගේ නිහඬ දායකත්වය නිසා බව පැවසිය යුතුයි. අපට දූවරුන් දෙදෙනෙක්‌ සහ පුතුන් දෙදෙනෙක්‌ ඉන්නවා. මේ අය උස්‌, මහත් කර යහමගට යොමුකර උසස්‌ අධ්‍යාපනය ලබාදීමට ඇය ගත් උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක වුණා. එහි ප්‍රතිඵල දැන් අපි භුක්‌ති විදිනවා.

ප්‍රශ්නය
කන්නන්ගර ශ්‍රීමතානන්ගේ නිදහස්‌ අධ්‍යාපන සංකල්පය නිසා ඔබ ජීවිතය ජයගත් කෙනෙක්‌. ඔබගේ ග්‍රන්ථයේ අවසන් පරිච්ඡේදවලද ඒ බව සඳහන් වෙනවා. ඒ ගැන යමක්‌ කිව හැකිද?

පිළිතුර
ඉතාමත් කෙටියෙන් කියනව නම් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ නිදහස්‌ අධ්‍යාපන වැඩපිළිවෙල නොතිබෙන්නට අද මම අපේ ගමේ විශ්‍රාමික ගොවියෙක්‌ වෙන්නට බොහෝ සෙයින් ඉඩකඩ තිබුණා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා රජයේ රැකියාවල නිරත වී, උසස්‌ අධ්‍යාපනය ලබා, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස කටයුතු කර විශ්‍රාම ගැනීමට ලැබුණේ එතුමාගේ ඒ වැඩපිළිවෙළ නිසයි. එය මම පමණක්‌ නොවෙයි මුළු ලංකාව පුරාම විසිරී සිටින දුගී දුප්පත් දූ පුතුන් ලැබූ ජයග්‍රහණයක්‌ ලෙස සලකනවා.

සාකච්ඡා කළේ
ලයනල් ගන්ගේ


http://www.divaina.com/2013/05/12/nimna04.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි