යොවුන් ආදරය ලිංගිකත්වය සහ සියදිවි නසාගැනීම
ඕනෑම කෙනෙක්‌ගෙ ජීවිතය ළදරු තරුණ වැඩිහිටි සහ මහලු යනුවෙන් කොටස් කිහිපයකින් යුක්‌තයි. අපේ මනස කියල වෙනම ඉන්ද්‍රියයක් නැහැ. මොළය තුළ ඇතිවන වර්ධන තත්ත්වයන් සමඟ මනස එක් එක් අවධි තුළ වෙනස් වෙමින් පැවත එනවා. අපේ සිත කොටස් කිහිපයකින් යුක්‌තයි. සිතේ ආදරය. ආසාව රාගය ආදිය පවතින කොටස ඉට් සංස්‌කාරයයි. හොඳ නරක සදාචාරය, ගුණධර්ම ආදිය පවතින සිතේ කොටස සුපර් ඊගෝ ලෙස හඳුන්වනවා. සමහරු හෘද සාක්‍ෂිය ලෙස හඳුන්වන්නේ සුපර් ඊගෝ ලෙස සැලකෙන කොටසමයි. ඕනෑම කෙනෙකුගේ මනස තුළ පවතින දේවත්වය මේ සුපර් ඊගෝ කොටසයි. මනස තුළ සිටින යක්‍ෂයා ලෙස හඳුන්වන්නේ ඉට් කොටසයි. දෙවියා ලෙස හඳුන්වන්නේ සුපර් ඊගෝ කොටසයි. මනසේ ජීවත්වෙන මේ යක්‍ෂයා සහ දෙවියා යාකරන කොටස හඳුන්වන්නේ ඊගෝ නමින්. යක්‍ෂයා හා දෙවියා ජීවත්වන මනසේ මනුෂ්‍යයා ලෙස පෙනී සිටින කොටසයි ඊගෝ ලෙසින් හඳුන්වන්නේ. සෑම මනුෂ්‍යයකුගේම මනසේ මේ අංශ තුන පවතින බව සිග්මන් ප්‍රොයිඩ් නම් ශ්‍රේෂ්ඨ මනෝ විද්‍යාඥයා පවසා තිබෙනවා.
ළදරුවකු තරුණයකු දක්‌වා වර්ධනය වීමේ දී මනසේ මේ අංශ තුනත් ක්‍රමයෙන් වර්ධනය වෙනවා. කෙනෙක් තුළ විවිධ ආශාවන්, විවිධ අවශ්‍යතා ඔහුගේ මනසට ඇතුල්වෙන්නේ මේ වර්ධනයත් සමඟයි. කුඩා අවධියේ යමෙක් තුළ ඇතිවන ආශාවන් හා අවශ්‍යතා කෙමෙන් ඔහු වැඩෙන විට වෙනස් වන්නේ මේ නිසයි. ළදරුවා දරුවකු බවට පත් වී ඔහු යොවුන් වියට පියනඟන විට ආශාවන් හා අවශ්‍යතාවල ශීඝ්‍ර වෙනස්‌වීම් දැකිය හැකියි. ඔහු කෙමෙන් අධ්‍යාපනයට, ක්‍රීඩාවන්ට, ආදරයට, ප්‍රේමයට සහ ලිංගික අවශ්‍යතා වෙත ක්‍රමයෙන් ගමන් කරනවා.
අවුරුදු 14 - 15 වයසේ දරුවන් විරුද්ධ ලිංගිකයන් වෙත වැඩි සැලකිල්ලක් දක්‌වන්නේ මනසේ ඇතිවන වර්ධනයේ සහ සිරුරේ ඇතිවන හෝමෝනවල බලපෑම නිසයි. මෙය ඉතාමත් ස්‌වාභාවික ක්‍රියාවලියක්. දරුවෙකු යොවුන් වියට එළඹෙන විට රසායනික විපර්යාස සමූහයක් ඔහුගේ සිරුර තුළ සිදුවෙනවා. නව යොවුන් විය ඇරඹෙන්නේ රසායනික විපර්යාසයන්, මොළයේ ඇතිවන වෙනස්‌කම් සහ සිරුරේ ග්‍රන්ථිවල ඇතිවන වෙනස්‌කම්ද පදනම් කරගෙනයි.
එතෙක් ගත කළ ළමා කාලය අවසන් කර දරුවා තරුණ වියට පාතබන්නේ මෙවිටයි. මේ වන විට දරුවා තුළ පවතින්නේ යොවුන් මනසක්. ආදරය, ප්‍රේමය. රාගය, ආසාව වගේම අභියෝගවලට මුහුණ දීමේ ශක්‌තියත් තරුණයකුට ලබාදෙන්නේ යොවුන් මනසයි. මේ වන විට ඔහු අභියෝග රැසකට මුහුණදෙමින් සිටින කෙනෙක්. අධ්‍යාපනය, විභාග, ආදරය සහ ලිංගිකත්වය ඔහු තුළ අභියෝගාත්මක ලෙස පවතින කරුණු කිහිපයක්. කෙනෙකුගේ ජීවිතයේ මෙම අවධිය අත්හදාබැලීම්වලට පෙළඹෙන සමයක්. කෙනෙකුගේ ජීවිතයේ තීරණාත්මක අවධිය ලෙස හඳුන්වන්නේත් මේ සමයයි.
ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණදීමට හැකි මනසක් අධ්‍යාපනය තුළින් සකස් නොවුණොත් තරුණ දරුවන් නොමඟ යැම ඇරඹෙන්නේ මේ සමයේදියි.
අද අපේ අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් සකස් වී ඇත්තේ විභාග ජයගැනීම පදනම් කරගත් අභියෝග ජයගැනීමට සිසුන් ශක්‌තිමත් කිරීමට මිස මේ වයසේ දී ඔහුගේ ජීවිතය හමුවට එන ආදරය, ආසාව, ලිංගිකත්වය වැනි අභියෝග ජය ගැනීමට නොවෙයි. අද අධ්‍යාපනය තුළින් දරුවකුට ජීවිතය ගැන උගන්වන්නේ නෑ. මනස ගැන උගන්වන්නේ නෑ. තම අවශ්‍යතා සදාචාරයට ගැලපෙන ලෙස හසුරුවා ගන්නේ කෙසේදැයි උගන්වන්නේ නෑ. සෑම දරුවෙක්‌ම සකස් වෙන පරිසර දෙකක් තිබෙනවා. තම නිවසේ පරිසරය සහ පාසල් පරිසරයයි ඒ. නිවසේ පරිසරය හඳුන්වන්නේ ප්‍රාථමික සමාජානුයෝජනය ලෙසයි. පාසලේ පරිසරය ද්විතීයික සමාජානුයෝජනයයි. යම් දරුවකුගේ නිවසේ පරිසරය යහපත් නොවුණත් පාසලේ පරිසරය තුළින් ඔහුට යහපත් දරුවකු විය හැකියි. නමුත් නිවසේ පරිසරයත්, පාසලේ පරිසරයත් අයහපත් වූවොත් ඒ දරුවා විනාශකාරී මගකට යොමුවන්න පුළුවන්.
යහපත් දරුවෙක් බිහිවෙන්නේ කායික, මානසික සහ අධ්‍යාපනික වර්ධනය තුළිනුයි. දරුවකුගේ ජීවිත සංවර්ධනය ලෙස අර්ථ දැක්‌වෙන්නේ එයයි. සමාජ ගැටලු හා පුද්ගල ගැටලු අවම කර ගැනීමේ මාර්ගය ඇරඹෙන්නේත් දරුවා තුළ ඇතිවන මේ ජීවිත සංවර්ධනය තුළිනුයි. අද අපේ සමාජයේ දරුවන් හා තරුණයන් වැඩිදෙනා හැඟීම් හා පෙළඹවීම් මත ක්‍රියාත්මක වන පිරිසක් බවට පත්වී තිබෙන්නේ ඔවුන්ගේ ජීවිත සංවර්ධනය නිසියාකාරව සිදු නොවීම නිසයි.
තරුණ තරුණියන් තුළ ප්‍රේම සම්බන්ධතා ඇතිවන්නේ විරුද්ධ ලිංගිකයන් වෙත ඔවුන් දක්‌වන ආකර්ෂණය නිසයි. මෙය විශ්වය තුළ පවතින ජෛව ආකාර්ෂණයක්. ස්‌වාභාවික ක්‍රියාවලියේම කොටසක්. වැඩිහිටියන් මෙය අවබෝධ කරගත යුතුයි.
යොවුන් වියේ ඇතිවන ප්‍රේම සබඳතා, තරුණ වියේ ඇතිවන අනිසි සබඳතා පිළිබඳ මා සිදු කළ අධ්‍යයනයකදියි සම ලිංගික සබඳතා ඇති කර ගන්නා තරුණයන් ඔවුන්ගේ ළමා වියේදී බොහෝ විට පියාගේ ආදරය අහිමි වූ පිරිසක් බව හෙළිදරව් වුණේ. එබඳු සබඳතා ඇතිකරගත් තරුණියන් බොහෝ දෙනෙක් තම මවගේ ආදරය නිසි පරිදි නොලැබූ පිරිසක් බවත් හඳුනා ගත්තා. දරුවෙකුට මවගේ සහ පියාගේ ආදරය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට කෙබඳු බලපෑමක් සිදුකරනවාද යන්න මෙයින් පැහැදිලි වෙනවා.
තරුණ වියට එළඹෙන දරුවන්ට විශේෂයෙන් දෙමවුපියන්ගේ ආදරය අවශ්‍යයි. දෙමවුපියන් තම දරුවන්ට ආදරය කිරීම පමණක් සෑහෙන්නේ නෑ. එය දරුවන්ට ප්‍රකාශ විය යුතුයි. දරුවා දෙමවුපියන් තුළින් එය හඳුනා ගත යුතුයි. දෙමවුපියන් දරුවන්ට සමීප වුණ තරමට ඔවුන් අයාලේ යැම නවතිනවා. දරුවන් තම ජීවිත විනාශකර ගැනීම වැළකෙනවා.
තරුණ තරුණියන්ට අද ආදරය පිළිබඳ නිසි අවබෝධයක් නැහැ. එය ලබා ගැනීම සඳහා ඔවුන්ට මඟකුත් නෑ. ලිංගිකත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මඟකුත් නෑ. ඒ පිළිබඳ ලියවුණු පොතපතත් අඩුයි. මේ අධ්‍යාපනයෙන් ඒ පිළිබඳ ලැබෙන දැනීමකුත් නෑ. හොඳින් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට යන දරුවන් අද ආදරය සහ ලිංගිකත්වය නිසා තම ජීවිත විනාශ කර ගන්නේ ඒ නිසයි. අද අපේ රටේ තරුණ තරුණියන් සියදිවි නසා ගැනීමට ප්‍රධාන හේතුවක් වන්නේ ආදරය හා සම්බන්ධ ප්‍රශ්නවලදී එයට මුහුණදෙන ආකාරය පිළිබඳ ඔවුන්ට අවබෝධයක් දැනීමක් නැති නිසයි.
අද බොහෝ තරුණ පිරිස් ආදරය විලාසිතාවක් කරගෙන. තවකෙනෙක් කරන නිසයි ඔවුන් ආදරය කරන්නෙ. ආදරය ඊට වඩා ගෞරවාන්විත දෙයක්. හැඟීම් හා අවශ්‍යතා නිසා ඇතිවන පෙළඹවීම මත ආදරයෙන් බැඳෙන බොහෝ දෙනකුට අද ආදරය තුළ ඇති සුන්දරත්වය වටහා ගැනීමට හැකියාවක් නෑ. රාගය, ප්‍රේමය හා සුන්දරත්වය එකිනෙකින් වෙන්කොට හඳුනාගත නොහැකි තත්ත්වයක් අද ඇතැම් තරුණ තරුණියන් අතර තිබෙනවා. තරුණ මනස හඳුනා ගැනීමට අද සමාජය තුළ ඉඩක් හෝ මඟක් නැතිවීමත් මෙයට එක හේතුවක්.
ආදරය ප්‍රේමය හා ලිංගිකත්වය පිළිබඳ සිසු සිසුවියන්ට වැටහීමක් ලබාගත හැකි ආකාරයට වර්තමාන අධ්‍යාපන ක්‍රියාවලිය වෙනස් විය යුතුයි. අධ්‍යාපනය, රැකියාව හා විවාහය වටා ඇති අභියෝග නිසි ලෙස ජයගැනීමට තරුණ තරුණියන්ට ශක්‌තිය ලැබෙන්නේ එවිටයි.
අද තරුණ තරුණියෝ තුළ විශාදය නමැති මානසික රෝගය බහුලයි. එය තරුණ වියේ අභියෝග නිසි ලෙස ජයගැනීමට අවශ්‍ය ශක්‌තිය නොමැති නිසා ඇතිවූ තත්ත්වයක්. විශාදය තුළින් තමා තමාටත් අනුන්ටත් වෛර කරන තත්ත්වයකට පත්විය හැකියි. අද සමාජයේ දකින්නට ඇති බොහෝ සියදිවි නසා ගැනීම්වලට සහ ඝාතනවලට මෙය ප්‍රධාන හේතුවක්. තරුණ මනස හා එහි ස්‌වභාවයත් අභියෝග ජය ගැනීමට තරුණ මනස හැඩගැස්‌විය යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් පුළුල් සංවාදයක් සමාජය තුළ ඇතිනොකොට මේ තත්ත්වය වැළැක්‌වීම අපහසුයි.
තව කොටසක් ලබන සතියේ
මානසික සෞඛ්‍ය පදනමේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ මනෝවිද්‍යාව පිළිබඳ
මහාචාර්ය ඥනදාස පෙරේරා
සාකච්ඡාවකින් සකස් කළේ -
පාලිත සේනානායක
http://www.divaina.com/2013/05/12/feature19.html
Sunday, May 12, 2013
යොවුන් ආදරය ලිංගිකත්වය සහ සියදිවි නසාගැනීම
6:26 AM
1 comment
1 comments:
ඇත්තෙන්ම මෙම ලිපිය කාලීනව ඉතාමත්ම වැදගත් ලිපියක්. යොවුන් දරුවන්ට වර්තමාන ලෝකය තුළ හැඟීම් පාලනය කරගන්නා අයුරු ඉගැන්විය යුතුයි.ලිංගික අධ්‍යාපනය, ජීවිතයෙ ගැටලු විසදාගන්නා ආකාරය ඉගැන්විය යුතුය. ළමයින්ව ආගම දහමට නැඹුරු කිරීමෙන් ජීවිතයේ යථාර්ථය අවබෝධකරවීම මීට හොඳ විසඳුමක් ලෙස බෞද්ධයකු ලෙස මා දකිනවා. අතීත ලාංකික සමාජය තුළ මෙවන් ගැටලු අති නොවුණේ පන්සල සමඟ පුද්ගලයකු තුළ තිබූ බැදීම නිසා ගැටලුවක් පැමිණි විට පන්සලේ හාමුදුරුවන් සමඟ සාකච්ඡා කොට විසඳුමක් ලබා ගනීමට හැකි වූ නිසායි.
මනෝ වෛද්‍යවිද්‍යාව හදාරන සිසුවෙකු ලෙස මා ගවේෂණය කළ කරුණු අනුව සමලිංගිකත්වය යන්න දෙමාපිය ආදරය නොලබීමෙන් ඇතිවන මානසික ආබාධයක් යන සිග්මන් ප්‍රොයිඩ්ගේ අර්ථදැක්වීම අද මනෝ වෛද්‍යවිද්‍යාවේ පිළිගැනෙන්නේ නැහැ.වර්තමාන පර්යෙෂණ අනුව සමලිංගික හෝ සමලිංගික නොවන පුද්ගලයින්ගේ දෙමාපියන්ගේ ආදරය ලබාදීමේ වෙනසක් නැහැ. මනෝ විද්‍යාඥයින් මේ තීරණයට එළඹීමට සත්ත්ව ලෝකය තුළ සමලිංගිකත්වය දක්නට ලැබිමද රුකුලක් වී තිබෙනවා.අලුතින්ම කරන ලද පර්යේෂණ අනුව සමලිංගිකත්වය ඇතිවන්නේ ජානමය හේතුනිසා නොව අපිජානමය හේතුනිසා බවයි. එනම් දරුවකු කළලයේ සිටින විට ඒ අවට පරිසරයේ සිදුවන වෙනස්වීම්වලින් DNA අනුක්‍රමයට වන බලපෑම නිසා සමලිංගිකත්වය ඇතිවන බවයි.
මූලාශ්‍ර : http://www.psychologytoday.com/articles/200804/finding-the-switch
http://io9.com/5967426/scientists-confirm-that-homosexuality-is-not-genetic--but-it-arises-in-the-womb
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි