Sunday, May 12, 2013

මවුපියන්ගේ අභිප්‍රායන් දරුවන් ලවා ඉටුකරවා ගන්න එපා

මවුපියන්ගේ අභිප්‍රායන් දරුවන් ලවා ඉටුකරවා ගන්න එපා
ශිෂ්‍යත්ව විභාගය තරගකාරී විභාගයක් අඩු පහසුකම් සහිත පාසල්වල දරුවන්ට වැඩි පහසුකම් සහිත පාසල්වලට ඇතුළත්වීම සඳහා ශිෂ්‍යත්ව විභාගය යොදා ගනු ලබනවා. මේ වනවිට එම භාවිතය ඉක්මවා යමින් වාණිජ වටිනාකමක් ආරෝපණය කළ තරගකාරී විභාගයක් බවට මෙම විභාගය පත්කර තිබෙනවා.


මෙම තරගකාරීත්වය හේතුවෙන් මවුපියන් වගේම ගුරුවරුන්ද තමන්ගේ දරුවන් ශිෂ්‍යත්ව විභාගය නමැති තරගයට බලහත්කාරයෙන් ඇතුළත් කරන්න උත්සාහ දැරීම බහුල වශයෙන් හඳුනාගත හැකියි.


යම් නිපුණතාවක්, හැකියාවක් සහිත දරුවෙක් නිර්මාණ කිරීම අධ්‍යාපනයේ අරමුණක් වුවත්, අධ්‍යාපනයේ මූලික අරමුණ වන්නේ යහපත් පුරවැසියෙක් සමාජයට බිහි කිරීමයි. ශිෂ්‍යත්ව විභාගයේ ඇති තරගකාරීත්වය තුළ අධ්‍යාපනයේ සැබෑ අරමුණ ඉටුවේද යන්න පිළිබඳ ගැටලුවක් පවතිනවා.


දැඩි වෙහෙසක් දරමින් තම දරුවන් ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට මවුපියන් උත්සාහ දරනවා. දරුවා දැඩි ලෙස පීඩාවට පත් කරමින් ශිෂ්‍යත්ව විභාගයට අනුගත කිරීම නිසා දරුවාගේ පෞරුෂයට යම් යම් හානිකර තත්ත්වයත් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. වෙනත් විභාගයන් හා සාපේක්‍ෂව බැලීමේදී ශිෂ්‍යත්ව විභාගයේදී සිදුවන්නේ වෙනත් පුද්ගලයන්ගේ මැදිහත්වීම මත දරුවා විභාගයට සූදානම් වීමක්. එම නිසා දරුවාගේ කැපවීමට වඩා මවුපියන්ගේ කැපවීම මෙහිදී කැපී පෙනෙනවා. මවුපියන් තමන්ගේ අභිලාෂ දරුවන් ලවා ඉටු කරගැනීම සඳහා අනවශ්‍ය බරක් දරුවා මත පැටවීම ඉතාම අහිතකර තත්ත්වයක්.


මවුපියන්ගේ පෙලැඹවීම මත ඇතැම් දරුවන් ශිෂ්‍යත්ව සමත්විය හැකිය. ඇතැම් දරුවන් ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් විය හැකිය. ශිෂ්‍යත්වය සමත් වූ දරුවෙක් වුව වෙනත් කඩඉම් විභාග අසමත් වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ දරුවන් වෙනත් කඩඉම් විභාගවලින් ජය ගැනීමේ අවස්ථා හඳුනාගත හැකිය. මේ තත්ත්වය මනාව තේරුම් ගැනීම මවුපියන්ගේ වගකීමක්.


ළමයකුගේ දරා ගැනීමේ හැකියාව වටහා ගනිමින් ඔවුන්ගේ ජීවන රටාවට සුදුසු ලෙස අදාළ ක්‍රියාකාරකම්හි දරුවා නිරත කිරීම වැදගත් තරගකාරී විභාග ජය ගැනීමේ අධ්‍යාපනයට දරුවා කොටු නොකර විෂය බාහිර ක්‍රියාකාරකම්හි දරුවා නිරත කිරීමත් මානසික නිදහස, සම වයස් දරුවන් හා එක් වීමේ අවස්ථාව සලසා දීම මෙන්ම යම් යම් දේ පිළිබඳ ස්වයං අවබෝධය ලබාගනු පිණිස දරුවා යොමු කිරීම සාර්ථක දරුවෙක් නිර්මාණය කිරීමේදී වඩාත් සුදුසයි.


දරුවකුගේ ජීවිතයේ එකම අවස්ථාව ශිෂ්‍යත්ව විභාගය බවට පත් නොකර රටටත් සමාජයටත් වැඩදායී යහපත් මානසික තත්ත්වයෙන් පරිපූර්ණ දරුවකු නිර්මාණය කිරීමට මවුපියන් කැපවිය යුතුය.


තිළිණි කෞශල්‍යා විජේසිංහ
විජයානන්ද රූපසිංහ
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
කැලණිය විශ්වවිද්‍යාලය
ජනසන්නිවේදන අධ්‍යයන අංශය

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි