Saturday, June 29, 2013

ජූලි 30 සිට මාසයක් උසස් පෙළ උපකාරක පන්ති බැහැ

අගෝස්තු මස 05 සිට 31 දා දක්වා අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වෙන බැවින් ජූලි මස 30 දා රාත්‍රියේ සිට අගෝස්තු 31 දා සවස් කාලය තෙක් අදාළ සියලු උපකාරක පන්ති, සම්මන්ත්‍රණ දේශන, වැඩමුළු මෙන් ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය බෙදා හැරීම හා ප්‍රචාරය සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සිළුමිණට පැවැසීය. එසේම අගෝස්තු මස 25 දා ඇරැඹෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් අගෝස්තු මස 19 දා රාත්‍රියේ සිට 25 දා සවස් කාලය තෙක් ශිෂ්‍යත්ව විභාගයට අදාළව පැවැත්වෙන ඉහත කී දේශන, සම්මන්ත්‍රණ මෙන් ම උපකාරක පන්ති සියල්ල තහනම් කර ඇත.
විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් පොලිස්පතිවරයා හරහා අදාළ සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බවයි. මේ නීතිය කඩකරන අයට විභාග පනත හා සාමාන්‍ය නීතිය ඔස්සේ දැඩි දඬුවම් ලබා දීමට ද බලාපොරොත්තු වෙයි.
එසේම අගෝස්තු 5 දා පැවැත්වෙන උසස් පෙළ ප්‍රවේශ පත්‍ර මෙවර මාසයකට පෙර එනම් ජූලි 2 දා සියලු විදුහල් වලට තැපැල් කිරීමට ද කටයුතු කර ඇති බව පැවසූ විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ එසේ යවන ප්‍රවේශ පත්‍ර තමන් ළඟ තබා නොගෙන සංශෝධන ඇත්නම් ඒවා සිදු කිරීමට අනිවාර්යයෙන්ම සිසුන්ට ලබාදිය යුතු බවයි. ජූලි 27 දා දක්වා ප්‍රවේශ පත්‍ර සංශෝධන සිදුකිරීම සඳහා කාලය ලබා දී ඇත.

සුභාෂිණී ජයරත්න

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි