Friday, June 14, 2013

සදාචාරාත්මක සමාජයක් සඳහා ළමා හා කාන්තා ප්‍රජාව රැකගනිමු


UNISEF 1රටේ අනාගතය කුඩා දරුවන්ය. මල් වැනි මේ දරුවන් රටට දැයට වැඩදායී පුරවැසියන් කිරීම දෙමාපියන්ගේ වගකීම වේ. එහෙත් වර්තමාන සමාජය දෙස බැලූ විට දරුවන්ට සිදු වන හිංසනකාරී ක්‍රියාවන් හේතුවෙන් අනාගත ශ්‍රී ලංකාවේ ළමා ප්‍රජාව ගැටලු රාශියකට මුහුණ දී සිටිති. එක් පැත්තකින් දරුවන් පීඩාවට පත් වන විට තවත් පැත්තකින් මෙරට කාන්තාව ද සමාජයෙන් මෙන් ම තම පවුල තුළින් ද බැට කන තත්ත්වයට පත් ව සිටී.

සදාචාරාත්මක සමාජයක් ගොඩනැඟීමට නම් ළමුන්ට මෙන් ම කාන්තාවන්ට ද සුරක්ෂිත පරිසරයක් ගොඩනැඟිය යුතුයි. මෙරට කාන්තාවගේ ‍ හා ළමුන්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා මේ වන විටත් රාජ්‍ය, රාජ්‍ය නොවන මෙන් ම අන්තර්ජාතික ආයතන ද එක් ව කටයුතු කරන අයුරු දැකිය හැකිය.

මෙහි දී වැදගත්ම කාර්යභාරයක් ඉටුකිරීම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මඟින් සිදු වේ. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවත් ළමා ආරක්ෂණ අධිකාරියත් ළමා හා කාන්තා අපචාර වැළැක්වීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළවල් රාශියක් ක්‍රියාත්මක කර ඇත. එහි දී ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය මඟින් සිදු කරන කාර්යභාරය සුළුපටු නොවේ. කාන්තාවන් හා ළමුන් දැනුවත් කරමින් හිංසනය අවම කිරීම සඳහා වැඩසටහන් පැවැත්වීම ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයෙන් සිදු කෙ‍රේ. CHILDREN 1

ජාතික කාන්තා කමිටුව මඟින් කාන්තා හිංසනය වැළැක්වීම සඳහා පියවර රාශියක් ක්‍රියාත්මක කර ඇත. ඒ අතරින් ප්‍රධාන වන්නේ ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී පැන නගින ගැටලු අධ්‍යයනය කිරීමයි. ගෘහස්ත හිංසනය වැළැක්වීම පිළිබඳ වාර්තාමය චිත්‍රපට (දෙමළ මාධ්‍ය) උතුරු නැගෙනහිර ප්‍රදේශ පාදක කොටගෙන ප්‍රදර්ශනය කිරීම, රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්ට සිදු වන හිංසනය වැළැක්වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක් ව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට කටයුතු කිරීම, කාන්තා ‍ප්‍රබෝධය ගුවන්විදුලි වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඒ අතර වේ. බාල වයස්කාර ගැහැණු දරුවන් ගැබ් ගැනීම වැළැක්වීම පිළිබඳ ව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, පුරුෂ පාර්ශවය සංවේදී කිරීමෙන් කාන්තාව රැකගැනීමට උපරිම සේවාවක් ලබාදීමේ දින 16ක කඩිනම් ප්‍රජාපාදක වැඩසටහන ක්‍රියාත්මක කිරීම, කාන්තා පැමිණිලි මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම හා කාන්තා උපකාරක දුරකතන සේවාව 1938 අනුමත කරවා ගැනීම, කාන්තා දත්ත පද්ධතියක් සැකසීමේ මූලික කටයුතු ආරම්භ කිරීම හා ව්‍යභිචාරය වැළැක්වීම සඳහා වූ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ජාතික කාන්තා කමිටුව මඟින් සිදු කෙරේ.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවත් මෙරට ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇත. ඉන් ප්‍රධාන වන්නේ බරපතළ ම අපයෝජන සිද්ධි සඳහා පොලිස් ස්ථාන හරහා නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමයි. භාරය හා ආරක්ෂාව අවශ්‍ය ළමුන් ආයතනගත කිරීම, පවුලේ සුදුසු ඥා‍තියෙකුට ළමයාගේ භාරකාරත්වය පැවරීම, ආර්ථික දුෂ්කරතා සහිත ළමුන්ට විවිධ ශිෂ්‍යාධාර වැඩසටහන් මඟින් සහන සැලසීම, නීති ආධාර අවශ්‍ය ළමුන් ඒ සඳහා යොමු කිරීම, උපදේශන සේවා ක්‍රියාත්මක කිරීම, පාසල් නොයන ළමුන් පාසල්ගත කිරීමත් ගැටලු නැවත ඇති නොවන පරිදි අවශ්‍ය උපදෙස් ලබාදීම හා නිරන්තරයෙන් ළමුන් හා දෙමාපියන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් ඒ අතර වේ.

ශ්‍රී ලංකා ළමා දුරකතන උපකාරක සේවාව (1929) පැය 24 පුරා ක්‍රියාත්මක කොට සක්‍රීයව පවත්වා ගෙන යමින් ළමුන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වන එක් ආයතනයක් ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය හඳුන්වා දිය හැකිය. මෙම ආයතනයට අනුයුක්ත විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා ඇත. ඒ මඟින් ළමා අපයෝජන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කොට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සිදු වේ. ළමා අපයෝජනයන්ගෙන් ළමුන් ආරක්ෂා කිරීම සඳහා දෙමාපියන් හා පාසල් මට්ටමින් දැනුවත් කිරීම් සිදු කිරීමත් ප්‍රධාන වේ. මෙහි දී සිවිල් සමාජය දැනුවත් කිරීම හා සවිබල ගැන්වීම, රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම, මාධ්‍යවේදීන් දැනුවත් කිරීමෙන් මහජනතාව වෙත එම පණිවුඩය රැගෙන යාමට පහසුවක් වීම, දිරි දරු සුරැකුම් පියස සම්පත් මධ්‍යස්ථානය පිහිටුවීම, ළමා නිවාස අධීක්ෂණය හා මහජනතාව දැනුවත් කරමින් ළමා ආරක්ෂක ප්‍රතිඥාවට අත්සන් තබා මහජනතාව ළමා ආරක්ෂාව හා ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා පෙළ ගැස්වීම සිදු කරන්නේ ළමා ආරක්ෂණ අධිකාරිය මඟිනි.

WOMEHළමා හා කාන්තා අපචාර වැළැක්වීම සඳහා මෙරට ආයතන පමණක් නොව යුනිසෙෆ් වැනි ජාත්‍යන්තර ආයතන හා වෙනත් රාජ්‍ය නොවන සංවිධානවලත් සහය ලැබේ. GIZ සංවිධානයේ ආධාර සහිත ව චිකිත්සාව හා උපදේශන වැඩසටහන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ කුසලතා සංවර්ධන පුහුණු වැඩසටහන් මෙරට ක්‍රියාත්මක කෙරේ. උතුරු නැගෙනහිර මනෝ සමාජීය උපකාරක වැඩසටහන්, ජාතික ළමාරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන් වෙත කඩිනමින් සේවා සැපයීම සඳහා පහසුකම් සැලසීම හා ළමා අයිතිවාසිකම් හා 1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවාව පිළිබඳ ව ප්‍රජාව දැනුවත් කිරීමට කැලැන්ඩරයක් නිර්මාණය කිරීම සිදු කරන්නේ GIZ සංවිධානයේ සහයෙන් කරනු ලබන වැඩසටහන්වලිනි.

රාජ්‍ය ආයතන නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම, ළමුන් සඳහා සිද්ධි කළමනාකරණ පුහුණු වැඩසටහන් පැවැත්වීම, ළමා නිවාසවල තත්ත්වය සොයා බැලීමට දීප ව්‍යාප්ත සමීක්ෂණ දියත් කිරීම හා ළමා නිවාසවල අවම ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම ආදී වැඩසටහන් යුනිසෙෆ් ආයතනයේ ආධාර සහිතව සිදු කෙරේ.

දකුණ, සබරගමුව, මධ්‍යම පළාත්වල වනිතා සංවර්ධන නිලධාරීන් හා සහන සොයුරියන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීමේ පුහුණු වැඩසටහන් පැවැත්වීම සිදු කරන්නේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ආධාර සහිතවයි.

මීට අමතරව Save the Children සංවිධානයේ ආධාර ඇතිව ද ළමා හා කාන්තා අපචාර වැළැක්වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ළමා ආරක්ෂාව හා රැකවරණය සඳහා වව්නියාව දිස්ත්‍රික්කයේ තෝරාගත් පවුල් සඳහා නව නිවාස ලබාදීම හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා තෝරාගත් පවුලවලට රුපියල් 25000 බැගින් පරිත්‍යාග කිරීම සිදු කෙරේ. කුසලතා සංවර්ධනය හා දැනුම, ආකල්ප වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් චිකිත්සාව හා උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් දිළිඳුකම පිටුදැකීම හා පහසුකම් ප්‍රවර්ධනය සඳහා පාසල් උපකරණ බෙදාදීමත් මෙම සංවිධානය මඟින් සිදු කරන ප්‍රධාන කාර්යයන් වේ.

මේ සියල්ල තුළින් බලාපොරොත්තු වන්නේ මෙරට සිදු වන ළමා හා කාන්තා අපචාර අවම කර ගැනීමයි. මේ පිළිබඳ ව පසුගියදා පාර්ලිමේන්තුවේ දී ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරලියද්දේ මහතා කරන ලද පැහැදිලි කිරීමක දී ප්‍රකාශ වූයේ 2010/ 2011 වසරවලට සාපේක්ෂව 2013 වසරේ ළමා හා කාන්තා අපයෝජන සම්බන්ධයෙන් වන පැමිණිලි සංඛ්‍යාව ඉතා අවම අගයක් ගෙන ඇති බවයි. 2010 දී 8258ක් ද 2011 දී 10867ක් වූ ළමා අපයෝජන පැමිණිලි සංඛ්‍යාව 2013 දී 835කි. 2011 දී කාන්තා අපචාර පැමිණිලි 32ක් වූ අතර 2013 දී එය 07 වැනි අවම සංඛ්‍යාවකි. WOMEH 1

ශ්‍රී ලංකාව තුළ සිදු වන සියලුම කාන්තා හා ළමා අපචාර පිළිබඳ සමස්ත දත්තයන් ඍජුව ම නොලැබෙන බව ඔහු පැවසීය. මෙම දත්තයන් සියල්ල පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්ත‍මේන්තුව, ජාතික ළමාරක්ෂක අධිකාරිය හා ජාතික කාන්තා කමිටුව වෙත ලැබෙන පැමිණිලි මඟින් ලබා ගත් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නිරංජි හේරත්

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

විශේෂාංග

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි