Friday, June 14, 2013

ස්ව අධ්‍යයනයෙන් ඉගෙන ගන්න දෙන්න

ශිෂ්‍යත්ව විභාගය වැනි තරගකාරී කඩඉම් විභාගයකට තම දරුවා සූදානම් කිරීමේදී මවුපියන් විශේෂයෙන් දැනුම්වත් විය යුතුයි. අධ්‍යාපනයෙන් ඉහළට ඔසවා තබන්නට වගේම සාර්ථක දරුවෙක් අනාගතයට නිර්මාණය කිරීමේ වගකීම පැවැරී තිබෙන මවුපියන් ඒ සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කර දීමට වෙහෙසිය යුතු වෙනවා.


පහ වසර ශිෂ්‍යත්ව විභාගයට දරුවන් සූදානම් කිරීමේදී ඒ වසර තුළදී පමණක් හෝ විභාගයට යම් කාලයකට පෙර සිට පමණක් දරුවා අධ්‍යයන කටයුතුවල නිරත කිරීම පලදායක නැහැ. අධ්‍යාපනය යැයි කියා පොතපත සීමා නොකර දරුවාගේ නුවණ වඩාලීමට කුඩා කාලයේ සිට දරුවා හුරු කිරීම වැදගත්.


විශේෂයෙන්ම සෙල්ලම් වයසේ නැතිනම් ක්‍රියාශීලී වයසක පසුවන දරුවන් දරුවාට සුදුසු ක්‍රියාකාරකම්වල නිරතකිරීම අවශ්‍යයි. කණ්ඩායම් වශයෙන් හෝ තනිව යම් යම් ක්‍රියාකාරකම්හි නිරත කිරීම දරුවාගේ සිතීමේ හැකියාව දියුණු වීමට ඉතා වැදගත්. යම් යම් උපකරණ කොටස්වලට ගලවා නැවත සවි කිරීමේ හැකියාවෙන් එම උපකරණ යථා තත්ත්වයට නිර්මාණය කිරීමට දරුවාට නිදහස ලබාදිය යුතුයි. මෙවැනි මොළය වෙහෙසවා සිදුකරන ක්‍රියාකාරකම් මඟින් තාර්කික ඥානය දියුණු විය හැකියි. ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමේදී වුවද එළැඹෙන ගැටලු තාර්කිකව විස¼දා ගැනීමට මෙවැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඉතාම සුදුසුයි.


නිදහස යන්න සියලු දෙනා අගය කරන්නක්. දරුවන්ද එම නිදහසට වඩා ප්‍රිය කරනවා. එම නිසා ස්වඅධ්‍යයනය තුළින් යම් යම් දේ ඉගෙන ගන්න දරුවා පෙලඹවීම වැදගත්. ස්ව අධ්‍යයනය තුළින් සිදුවන බුද්ධි කලම්බනය අධ්‍යාපනයේදී වගේම සමාජය තුළ දරුවාට මුහුණදීමට සිදුවන ගැටලු නිරාකරණය කරගැනීමට සුදුසු මාර්ගය නිර්මාණය කර දෙනවා. එම නිසා ළමයා පිළිබඳ අවධානය යොමුකරන අතරතුර යම් යම් දේ පුරුදු පුහුණු වන්නට දරුවාට ඉඩ සැලසිය යුතුයි.


ඒ වගේම දරුවන් නිරන්තරයෙන් මවුපියන් අනුකරණය කරන නිසා දැකබලා ඉගෙන ගැනීමට සුදුසු දේ මවුපියන්ගෙන් උකහාගැනීමට ඉඩ සැලසීම වැදගත්. උදාහරණ වශයෙන් චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ දැනුම ගෙනහැර දක්වන්නට පුළුවන්. එසේම කණ්ඩායම් ක්‍රියාකාරකම්වලින් දරුවාට යහපත් අත්දැකීම් ලබන්නට අවස්ථාව දීම වැදගත් වෙනවා.


දරුවා අධ්‍යාපනයට යොමු කිරීමේදී දරුවාගේ කලා හැකියා වැඩිදියුණු කරගැනීමටද අවස්ථාව සලසා දීම අවශ්‍යයි. චිත්‍ර අඳින්න, ගීත ගයන්න, ගීත ලියන්න, තර්කනයන්හි නිරත වෙන්න දරුවන් යොමු කළ යුතු වෙනවා. කලාත්මක අංශයට දරුවා පෙලඹවීම බුද්ධි වර්ධනයට ප්‍රායෝගිකව වැදගත්.


එසේම ස්වභාව සෞන්දර්යය අධ්‍යයන කරන්නටද දරුවා පෙලඹවිය යුතුයි. ගහකොළ, සතා සිවුපාවුන් පිළිබඳ සියුම්ව අධ්‍යයනය කරන්න ඉඩ සලසා දීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම පොතපතින් දරුවාට උකහාගත යුතු දේ ලබාගන්නට ඉඩ සැලසීමේදී දරුවාට සුදුසු අලුත් පොත පත දරුවාට පරිශීලනය කිරීමට ගෙනැවිත් දිය යුතු වෙනවා. ශිෂ්‍යත්වයට බලහත්කාරයෙන් යොමු කරන පිළිවෙත පසෙකට දා දරුවාට කැමැත්තෙන් ඉගෙනීම් කටයුතුවල නිරතවීමට සුදුසු පරිසරය නිර්මාණය කරදීම පලදායකයි. දරුවා අමතර පන්ති වෙත යොමු කරන්නේ නම් දරුවා පිළිබඳ අවධානය යොමු කරන දරුවා වඩාත් කැමැත්තක් දක්වන ගුරුවරයකුගෙන් අධ්‍යාපනය ලබාදීමට ඉඩ සලසා දීම දරුවා තෘප්තිමත් කිරීමට වගේම එම තෘප්තිය තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබීමටත් හේතු වෙනවා.


මීට අමතරව දරුවා නිරන්තරයෙන් ප්‍රශංසාවට ලක්කළ යුතු අතරම ධනාත්මක චින්තන හැකියාව වඩවාලීමට අවශ්‍ය අගය කිරීම්ද කළ යුතු වෙනවා. දරුවාගේ මනස බිඳහෙළනු වෙනුවට මානසික ශක්තිය ඔප්නැංවෙන ලෙස ගෙදර පරිසරය සකස් කරන්නා සේම ඔහුට සුදුසු බාහිර පරිසරය සමඟ ගැවසෙන්නටද සුදුසු පරිදි අවස්ථාව නිර්මාණය කළ යුතු වෙනවා. දරුවාගේ මානසික වර්ධනයේදී බාහිරව මෙවැනි පසුබිමක් නිර්මාණය කරනවාට අමතරව දරුවාට සුදුසු පෝෂණීය ආහාර වේලක්ද ලබාදීම වැදගත්. සියලු දේ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් සාර්ථක දරුවකුගේ අනාගතය සුබවාදීවම දකින්නට මවුපියන්ට නිසැකයෙන්ම අවස්ථාව ලැබේවි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි