Sunday, June 30, 2013

තාත්තා කියනවා... මම දඟයිලු - පමුදිත

තාත්තා කියනවා... මම දඟයිලුපමුදිත

යාළුවෝ මට නළුවා කියනවා


ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම චිත්‍රපටය වූ සිරිපැරකුම් සාර්ථක ලෙස තිර ගත වන අතර ඔබ එකී චිත්‍රපටය බැලුවානම් එහි පැරකුම්බාගේ ළමා කාලය රඟන සිඟිති පුතු අමතක නැතිව ඇති. පසුගියදා ඒ පුතු සමඟ කතාබහක්‌ කරන්නට අපට අවස්‌ථාව ලැබුණා.


පුතාගේ සම්පූර්ණ නම කියන්න කෝ...?

මොකටද මගේ නම අහන්නේ

පත්තරේට ලියන්නනේ...?

ඇය මං ගැන පත්තරේට ලියන්නේ..?

දැන් පුතා නළුවෙක්‌නේ... ඒ නිසා පුතා ගැන මිනිස්‌සු දැන ගන්න කැමැතියි.. එතකොටනේ හොඳ?

මගේ යාළුවෝ ගැනත් ලියනවද?

ඔව්... අපි ලියමු...

මට යාළුවෝ ගොඩක්‌ ඉන්නවා.

කවුද ඒ යාළුවෝ..?

ඔක්‌කෝගේම නම් කියන්න බැහැ...

එහෙම කියපු පුංචි පුතා ටිකක්‌ ඈතට දුවලා ගියා.

තාම ඔයාගේ නම කිව්වේ නැහැනේ ඉතිං..?

මගේ නම තමයි ප්‍රමුදිත උදයකුමාර ... මේ තව නමක්‌ තියෙනවා. මධුෂ කියලා

පුතාගේ තාත්තාගේ නමත් කියන්නකෝ...?

අපේ තාත්තා අපේ ඉස්‌කෝලෙ උගන්නනවානේ..

හරි එහෙම නම් පුතාගේ ඉස්‌කෝලෙ නම කියන්නකෝ...?

නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය.

ආපහු සැරයක්‌ පුංචි පුතා තාත්තා වටේ රවුමක්‌ කරකැවිලා ඇවිත් අපේ ළඟින් වාඩි වුණා.

තාත්තිගේ නමත් කියන්නකෝ...?

තාත්තා උදය කුමාර... හ්ම් අම්මිගේ නම කුමාරි

හරි එතකොට යාළුවෝ කවුද ?

මට ගැහැනු යාළුවොත් පිරිමි යාළුවොත් ඉන්නවා. අදීෂට අපි කියන්නේ අදියා කියලා.. එයාලා ට්‍රිප් එකක්‌ ගියා මම ගියේ නැහැ.

ඇයි පුතා ගියේ නැත්තේ...?

තාත්ති යන්න එපා කිව්වා මම දඟ නිසා.

ඔයා හුඟක්‌ දඟද..?

නැහැ ටිකක්‌ විතර...

ප්‍රමුදිත තවත් වටයක්‌ දිව්වා. උදැසනම කුරුණෑගල ඉඳලා ඇවිත් ටිකක්‌ මහන්සි බවත් අපට පෙනුණා.

හොඳ පුතා වගේ මෙතනින් ටිකක්‌ වාඩි වෙන්න කෝ.?

අපිට කියන්න පුතා කොහොමද සෝමරත්න මාමගේ චිත්‍රපයට එකතු වුණේ කියලා?

එදා ඉස්‌කෝලේ තිබුණේ නැහැ. උතුරු මැද පළාතේ ඡන්දයනේ.. ඉස්‌කෝලේ තිබ්බේ නැහැ එදා.... තාත්තා එක්‌ක ආවේ.. ළමයි ගොඩක්‌ හිටියා. මාවයි තරිංසායි, සෙනංගයි තෝරා ගත්තා කිව්වා.

පුතාගේ යාළුවෝ චිත්‍රපටය බලලා ද?

ඔව්... එයාලා සමහර අය බලලා. තව අය බලනවා කිව්වා. එයාල මට කියන්නේ නළුවා කියලා.. පුංචි පුතු තවත් තැනකට දුවලා ගියා.

මගේ ෆොටෝ ගන්න එපා.... මගේ යාළුවොත් හිටියානම් තමයි හොඳ නේද?

"පත්තරෙන් ඇවිත්ද මේ ෆොටෝ ගහන්නේ...."

ප්‍රමුදිත පුංචි පුතා තාලයට සිංදුවක්‌ කියන්න පටන් ගත්තා. ඒක නවත්තපු පුංචි දඟයා....

මේ ඉන්නෙ මගේ යාළුවෝ තරිංසයි සෙනංගයි එයාලගේත් ෆොටෝ ගන්නවද? අපෙන් ඇසුවා

ඔව්... අපි එයාලගෙත් ෆොටෝ ගන්නවා. පුතා වැඩියෙන්ම ආදරේ කාටද කියන්න.?

අම්මටයි තාත්තාටයි.. හ්ම් මගේ මල්ලියාටයි සෙනංගටයි තරිංසාටයි.. අපේ ඉස්‌කෝලේ යාළුවෝ තරහාවෙයිද දන්නේ නැහැ. මම එයාලටත් ආදරෙයි කියල ලියනවද? මිනෝලි අකිලා එයාලත් මගේ යාළුවෝනේ.

හරි අපි එහෙම ලිsයන්නම්කෝ පුතා කිව්වා කියලා.

මම නෙවෙයි දඟ... මගේ මල්ලියා... මම එයාට ගහනවා.

පව්නේ මල්ලී...ඔයාට ගොඩක්‌ ආදරෙයිලු නේද ? ඇයි එයාට ගහන්නේ..?

එයා මගේ සෙල්ලම් බඩු ගන්නවනේ ඒකයි. එයා මගේ කොණ්‌ඩෙනුත් අදිනවා එතකොට මට රිදෙනවා. ඒ වුණාට ආයෙ මම යාළු වෙනවා. එයත් එක්‌ක... අංකල් දන්නවද එයාගේ නම මොකක්‌ද කියලා.

නැහැනේ... පුතා ඒ ගැන මට කිව්වේ නැහැනේ?

මගේ මල්ලියගේ නම යෙසිත උදය කුමාර

පුතා ටෙලි නාට්‍ය බලනවද?

අපොයි නැහැ.... මම බලන්නේ ප්‍රවෘත්ති... අටපට්‌ටම විතරයි.

ඇයි ඒවා බලන්නේ...?

තාත්තා කියනවා ඒවායේ ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා. ඇමරිකාවේ ඒවා එහෙමත් පෙන්නවනේ.

ආයෙ රඟපාන්න පුතාට කතා කළේ නැද්ද ?

සෝමරත්න මාමානම් කතා කළේ නැහැ.. එයාටත් මම ආදරෙයි. එයා කිව්වා මම හොඳට රඟපානවා ලස්‌සනයි කියලා.. මේ මට දැන් හරි මහන්සියි. ගෙදර යන්නත් පරක්‌කු වෙනවා. මගේ මල්ලියා බලන් ඇති.

ඉතිං පුංචි දඟයාත් එක්‌ක කළ කතාබහ අපිට නවත්තන් වුණේ එයාට මහන්සි නිසාත් ආපහු නාරම්මලට යන්න ඕනත් නිසයි. ප්‍රමුදිත උදය කුමාරගේ රංගන දිවියට අපි සුබ පතමු.

සුගත් ශාන්ත මොරගහකුඹුර
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන


http://www.divaina.com/2013/06/30/cineart04.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි