Friday, June 21, 2013

රටට වැඩදායි දරු පරපුර දක්ෂ අදක්ෂ කියා බෙදන්න බෑ

රටට වැඩදායි දරු පරපුර දක්ෂ අදක්ෂ කියා බෙදන්න බෑ

තාක්ෂණ විෂය පාසල්වලට හඳුන්වා දෙමින් ජනපති කියයි
දක්ෂ දරුවන් අදක්ෂ දරුවන් කියා දෙකොටසක් මේ රටේ නැහැ. සිටින්නේ එකම දරු පරපුරක් පමණයි. ඒ තමයි මේ රටට වැඩදායී දරු පරපුර යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.
ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ තාක්ෂණ විෂයය ධාරාව පාසල්වලට හඳුන්වාදීම සඳහා අරලියගහ මන්දිරයේදී ඊයේ (20) පැවැති උත්සවයකට එක්වෙමිනි.
පාසල්වලට තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දීම මේ රටේ අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ දවසක් මෙන්ම අප රට අසමත් රාජ්‍යයක් යැයි පෙන්වීමට උත්සාහ කරන අයට ‍පැහැදිලි පණිවිඩයක් දුන් දවසක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
දකුණේ මෙන්ම උතුරේ දරුවන්ටත් අද නිදහසේ අධ්‍යාපනය ලැබීමට හැකි බව පැවසූ ජනාධිපතිවරයා පාසල් නිම වී නිවසට එන දරුවන් අතට ආයුධ දී බලෙන් යුද්ධයට යවන්නට අද කවුරුත් නැති බව පැවසීය. අද මුහුණ දෙන්නට වන අභියෝග අනාගත පරපුරට ඉතිරි නොකර බවට 2006දී තමා දැයේ දරුවන්ට දුන් පොරොන්දුව ජීවිත පරදුවට තබා කැපවීමෙන් ඉටු කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය. තාක්ෂණවේදය ඉගෙන ගන්නේ අසමත් දරුවන් යන හැඟීමෙන් අප ඈත්විය යුතු බව ප්‍රකාශ කළ ජනධිපතිවරයා මාපියන් තුළ මේ සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක් සිදු විය යුතු බවත් ප්‍රකාශ කළේය. සෑම දරුවෙක්ම රටේ අනාගතය වෙනස් කිරීමේ දි එකසේ වැදගත් බව කී ජනාධිපතිවරයා ලෝකයේ ඕනෑම රටකට ගොස් මම ශ්‍රී ලාංකිකයෙක් බව අභිමානයෙන් කිව හැකි රටක් අද ගොඩනඟා තිබෙන බවත් පැවසීය.
වසර සිය තිස්සේ මේ රටේ දරුවන්ට විඳින්නට වූ ගැටලුවකට විසැඳුම් තාක්ෂණ විෂයය ධාරාවෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මඟින් ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන, එස්. බී. දිසානායක, ඩලස් අලහප්පෙරුම, දුමින්ද දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු, පළාත් ආණ්ඩුකාරවරු, මහඇමැතිවරු, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ධනුෂ්ක ගොඩකුඹුර

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි