Tuesday, June 18, 2013

############### ‘වගතුග‘ ###############

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අභාවප්‍රාප්ත වී අඩසියවසක් ගෙවෙමින් පවතී. ශ්‍රී ලංකාව නම් කොදෙව්වේ පහළ වූ විශ්වීය සිංහල කවියා ලෙස ඔහු හැඳින්වීම කිසිසේත් අතිශයෝක්තියක් නොවන බව ඔහු ගැන දන්නෝ දනිති. මහා සාහිත්‍යධරයකු, කවියකු, ලේඛකයකු, කථිකයකු, දේශපාලනඥයකු සහ ඡ්‍යෝතිර්වේදියකු වූ මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා වසර පනස් ගණනකින් මෙලොවින් සමුගැනීම කෙතරම් නම් අභාග්‍යයක් ද?
ඔහු විශ්වීය පුද්ගලයෙකැයි කිව හැක්කේ ලෝක පූජිත කවියන් අතර කැපී පෙනෙන තරමේ නිර්මාණශීලී කුසලතාවක් ඔහු සතු වූ හෙයිනි. ඒ බව පළ කළ ඔහුගේ ලේඛන ශෛලිය සහ රසිකත්වය උගත්කමින් ඔප වැටුණු, සහජ ශන්තියෙන් ඔදවත් වුණු එකකි. පාලි සංස්කෘත සහ සම්භාව්‍ය සිංහල පොත පත ඔහු කෙතරම් මැනැවින් හදාරා තිබුණේ ද යත් හිටිහැටියේ යමක් ගැන කියනවිට එම පොත පතේ ඡේද උපුටා දැක්වීම ඔහුගේ පුරුද්ද විය. එය ඔහුගේ අසම මතක ශක්තියට එක් නිදසුනකි.
කෙසේ වුවද පැරණි පොතපතට සන්න ලියමින් පාණ්ඩිත්‍යය ප්‍රකට කරමින් සිටි සමකාලීන ප¼ඩිවරයන් අතරට එක් විටම ඔහු අදහස් කෙළේ නැත. ඒ වෙනුවට පුවත්පත් කතුවරයකු ලෙස සමාජ විවේචනය සඳහා තම ලේඛන ශක්තිය මෙහෙයවීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය. මෙයින් කියවෙන්නේ ශාස්ත්‍රීය ප්‍රශ්නවලට මුහුණදීමට ඔහු පසුබට වුණු බවක් නොවේ.
වරක් සමකාලීන ශ්‍රේෂ්ඨ ප¼ඩිවරයකු වූ වැලිවිටියේ සෝරත නාහිමියන්ගේ ලේඛනයක උක්තාඛ්‍යාත සම්බන්ධය වැරදි බව පෙන්වා දීමට ඔහු පසු බට වුණේ නැත. පනහේ දශකයේ අගභාගයේ දඹදෙණියේ පැවැති සාහිත්‍ය සම්මේලනයට සහභාගි වූ ඔහු එවකට සිටි රටේ පිළිගත් ප¼ඩිවරුන් මැද එකල විවාදයට භාජනය වෙමින් පැවැති නිසඳැස් පද්‍යයට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමින් කළ දේශනය තවත් එබඳු අවස්ථාවක් විය.
වෘත්තීය ප්‍රවෘත්ති කලාවේදියකු වූ ඔහු මුලදී තමන්ගේ ම පත්‍රයකින් එනම් ‘හෙළදිව‘ නම් පුවත්පතින් වෘත්තීය ජීවිතය ඇරැඹීය. පසුව ඉංග්‍රීසි ජාතිකයින් ආරම්භ කළ ‘ටයිම්ස්’ ආයතනයේ සිංහල පුවත්පත වූ ‘ලංකාදීප’යේ කර්තෘ මණ්ඩලයට බැඳුණු ඔහු එහි ප්‍රාණනාලිය බවට පත්වූ බව නොපිළිගත්තෙක් නැත. ප්‍රධාන වශයෙන් ම එහි දිනපතා ‘වගතුග‘ තීරුව ලියූ මානවසිංහයෝ සිය තියුණු ඇස සමාජයේ සමකාලීන ප්‍රශ්න වෙත යොමු කළහ. එය සාමාන්‍ය පත්‍ර කලාවේදියකුගේ වෘත්තීය වගකීම විය. එහෙත් මානවසිංහයන්ගේ වෙනස වූයේ තමා විග්‍රහ කරන ගැටලුවලට තමන්ගේ ම විසඳුමක් ඉදිරිපත් කිරීමය. එයට පදනම් වූයේ රටේ සංස්කෘතිය, ඉතිහාසය සහ පෞද්ගලික දර්ශනය වූ බව පෙනී යයි. ලංකාදීප වගතුග පමණක් දැන් කොටස් වශයෙන් පොත් හැටියට මුද්‍රණය වෙමින් පැවතීම සතුටට කරුණක් වන්නේ අවශ්‍ය පාඨකයකුට එය නැවත කියවීමට ඉන් අවස්ථාව ලැබෙන හෙයිනි.
සිංහලය රජයේ බස කිරීම, ආයුර්වේදයට නිසි තැන ලබා දීම, භික්ෂූන්ගේ ගෞරවය රැකීම, දේශීය කලාකරුවන්ට නිසි සැලකිලි ලබා දීම, සාහිත්‍යයේ සම්ප්‍රදාය සහ නව ආකෘති, කලාවේ නව ආරවල් වැනි කරුණු ගැන ඔහු ලියූ දේ පාඨක මනසට නැවුම් පෝෂණයක් ලබා දුන්නේ ය.
මානවසිංහයින් සිංහල පාඨකයන් අතර කෙතරම් ජනප්‍රිය වීද යත් යම් කරුණක් ගැන ඔහු දරන මතය කුමක්දැයි දැනගැනීමේ අදහසින් ම ලංකාදීපය මිලට ගත්තෝ වූහ. විශේෂයෙන්ම භික්ෂූන් හා ගුරුවරුන් අතරට ලංකාදීපය ගියේ ‘වගතුග‘ නිසා බව කිව හැකි ය. බස හැසිරවීම සම්බන්ධයෙන් ඔහු හා තරඟ කළ හැක්කකු නොවූ බවට අඩු වැඩි උගත්කමින් යුතු පාඨකයින් ඒකමතික වූ බව සිතේ. වරක සාමාන්‍ය සරල සිංහලයෙන් ලියූ ඔහු තවත් විටක හුදු හෙළයෙන් ම ලිවීය. තවත් විටක වගතුග යනු පද්‍ය රචනාවක් විය. එහෙත් එහි සරල බව සහ රසවත් බව කිසිවිටෙක අඩු නොවීමේ හේතුවෙන් ඒ සියල්ල එක සේ ජනප්‍රිය විය.
ඔහුගේ භාෂාඥානය කෙබඳු වීද යනු දැක්වීමට ඔහු සමත් වූ විභාගයක් හෝ ලබාගත් උපාධියක් සාධකයක් ලෙස දැක්විය හැකි නොවේ. එහෙත් ඔහු ලියූ දේ එම දැනුම පිළිබිඹු කරන කැටපතක් වූ බවට වගතුග තීරුව ම සාක්ෂියකි.
එසේ හුදු හෙළයෙන් ලියූ ‘වගතුග‘ක් වැවුරුකන්නල රජමහා විහාරයේ රාමු කර ප්‍රදර්ශනය කරමින් ඇති අයුරු දක්නට ලැබිණ. එයට හේතුව එය එම ආයතනය ගැන ලියූවක් වීම ය. ධර්මප්‍රදීපිකාව නම් ගුරුළුගෝමීන් කළ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියේ සුළුකලි¼ගුදාව නම් වූ එකම පැරණි සිංහල ගද්‍ය කාව්‍යයේ කොටසක් වන තරමටම එය ගද්‍ය කාව්‍යයක ස්වරූපය දැරීය.
පාලි භාෂාව පිළිබඳ ව ඔහුගේ ප්‍රගුණතාව පළ කරන්නක් නම් දෙදහස් පන්සීයේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ලියා ලංකාදීප බුද්ධ ජයන්ති අතිරේකයේ පළ කළ ගීතයයි. එය ඇරඹෙන්නේ මෙසේය.

පාතුරහොසි බුද්ධජියන්ති
ධම්ම සමය මුදණදි
පීතිපමොදානීත ජනෙහි
මානයතෙ තථාවාදී

එහි අදහස නම් “බුද්ධ ජයන්තිය පහළ විය. ධර්ම අවබෝධය හටගත්තේ ය. ප්‍රීති ප්‍රමෝදයෙන් ඇදී ආ ජනතාව තථාගතයින් වහන්සේ වඳිති” යනුය. ගාථාවලින් හා ගද්‍ය ඡේදවලින් පිරී ඇති පාලි සාහිත්‍යයට එක් වූ එකම ගීතය මෙය බව නිසැක ය.
ඔහු මැනැවින් සංස්කෘත සාහිත්‍යය හදාරා සිටි බවට සාක්ෂි දරන්නේ ද වගතුග තීරුවම ය. සංස්කෘතයේ සුප්‍රකට ගද්‍ය කාණ්ඩයක් වන කාදම්බරියේ රසවත් බව ගැන වරක් ඔහු කියා තිබුණේ “එම රසයෙන් මත් වූවෙකුට වෙනත් කිසිම රසයක් ගැන නොසිතේ” යන අදහස ඇතුළත් “කාදම්බරී රස භරෙන සමස්ත එව මතෙතා න කිඤ්චිදපි චෙතයතෙ ජනොයව්” යන්න උපුටා දක්වමිනි. සංස්කෘත සාහිත්‍ය ප්‍රභාවෙන් ඔහුගේ රසික බව දිදුලූ බව පළ වූ තවත් අවස්ථාවක් නම් දහහතර වන සියවසේ තරම් රචිත සංස්කෘත ගීත කාව්‍යයක් වන ජයදේවයින්ගේ ගීත ගෝවින්දයේ රසයට ඔහු කිඳාබැස සිටි බවට සාධක ලැබීමය. කලින් කියැවුණු පාලි ගීතයට පවා එම ආභාසය ලැබී තිබේ. ගීත ගෝවින්දයේ එන,

”නාමසමෙතෙං කෘත සංකේතං
වාදයතෙ මෘදු වෙණුම්” යන්න සමඟ ඉහත සඳහන් පාලි ගීත කොටස සසඳා බැලූ විට මෙය පැහැදිලි වේ.
”කෝමල රේඛා” නමින් පළ වුණේ ඔහුගේ ගී එකතුවකි. එයට ලියූ පෙරවදනේ තම රසිකත්වය සහ ගී නිර්මාණය පිළිබඳ නිදාන කථාව ලියා දක්වමින් මානවසිංහයින් පළ කරන අදහස් අපූර්වතාවෙන් අනූන ය. තමාගේ රසිකත්වය ඔප නැංවූ වංග ජාතික කාන්තාවක් ගැන ඔහු එහි සඳහන් කරයි. ඇයගෙන් ඔහු වංග භාෂාව උගත් බවටත් එහි කාව්‍ය නිර්මාණ අගය කිරීමට ඉන් අවස්ථාව උදා වුණු බවටත් සාධක තිබේ.
තමා හොඳින් නූගත් භාෂාවක වුවද අන්තර්ගතය ගැන හැඟීමක් ලබා ගැනීමට තරම් පුදුම ඉවක් ඔහු සතු වූ බව පෙනෙන්නේ ඔහු බර්නාඩ් ෂෝ තාගෝර් වැන්නන් ගැන කරන සඳහන් වලදී ය. බර්නාඩ් ෂෝගේ අභාවය ගැන ලංකාදීපයට ගීතයක් මඟින් ශෝක ප්‍රකාශයක් කළ ඔහු එය ඇරඹූයේ
”ජෝර්ජ් බර්නාඩ් ෂෝ කලා මහ සාගරේ” යනුවෙනි මානවසිංහයන්ගේ ඉංග්‍රීසි දැනුම ශූන්‍යයේ මට්ටමේ පැවතිය ද ඉංග්‍රීසි ලේඛකයින් ගැන ඔහු ලියූ දේ අතිශයින් ම අදාළ බව පුවත්පත පිළිගත්තේ ය. එයට සාධකය නම් මේ වන විට ලංකාදීපයේ ප්‍රධාන කර්තෘ ධූරය දැරුවේ ප්‍රකට ඉංග්‍රීසි ලේඛකයකු වූ ඩී.බී.ධනපාල මහතා වීමය. කෝමල රේඛා පෙරවදනේ සඳහන් පරිදි පත්‍රයේ සෑම අතිරේකයකට ම මානවසිංහයන්ගේ ගීතයක් ඇතුළත් කිරීම ඔහුගේ අභිලාෂය විය.
ඔහු ලියූ සෑම ගීතයක් ම නව නිර්මාණයක් වශයෙන් විශිෂ්ට සාහිත්‍ය කාර්යයක් ම විය. ඒවා සිවුපද, ජන ගී, ගීත නාටක හෝ චිත්‍රපට ගී වශයෙන් කවර අයුරකින් වර්ග කළත් මේ නවතාවේ වෙනසක් නොවීය. විශේෂයෙන් කිවයුත්තේ නම් ගීත නාටක නම් ආකෘතියෙන් කළ රචනා තනිකරම ඔහුගේ ම නව සැලැස්මක් බව ය.
ඔහුගේ නිර්මාණ කෙතරම් දන මන බැඳගත්තේ ද යන්න පළකරන සිද්ධියක් මෙසේ ය. කුරුලු ලෝකයේ වටු පැටියකු දොරට වඩින මංගල්ලය ගැන මානවසිංහයින් අපූරු රචනයක් කර තිබුණි. එය කවර හෝ කාව්‍ය ආකෘතියකට අයත් කළ හැකි නොවන ආකාරයේ ගීතයකි. එහි ඇතුළත් වුණේ කුරුල්ලන් අතර වන සංවාදයකි.
එක කුරුල්ලෙකු අණබෙරයක් ගසමින් යන විට අනිත් කුරුල්ලෝ “මොකොද බොලේ වෙලා තියෙන්නේ” යයි අසති. පිළිතුර වන්නේ “වටුපැටියා තටු ඉදිලා - දොරට වඩින මඟුල් දිනේ ගැනයි කියන්නේ – මඟුල් කෑම ලබන සුමානේ” යන්න ය. පනහේ දශකයේ අගභාගයේ කොළඹ නගර ශාලාවේ පැවැති රැස්වීමක එඩ්වින් කෝට්ටගොඩ කවියාගේ ජන ගී ගායනයක් ද තිබිණ. වෙනත් ගී අතර මේ ගීය ගායනා කළ විට ලැබුණු ජනතා ප්‍රතිචාරය කෙතරම් ද යත් අසන්නෝ එක හ¼ඩින් පාවලින් ලෑලි පොළොවට තට්ටු කරමින් එයට සහභාගි වූහ. අනතුරු ව ගායකයා, ගීයේ රචකයා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ බව කීවේය. ඔහුගේ කටහඬ නතර වනවාත් සමඟ ම මානවසිංහයෝ ද වේදිකාවේ අසුන් ගත්හ. එවිට නැඟුණු අත්පොළසන් හ¼ඩින් සබාගැබ ගිගුම් කෑවේය. මොහොතකින් වේදිකාවේ සිටි කෙනෙක් “මම ඉල්ලීමක් කරනවා. ඒ ගායනය නැවතත් ඉදිරිපත් කරන්නට” යැයි කීවේ ය. එය ම දෙවන වරට ද ගායනය විය.
ඔහුගේ නිර්මාණවල බස් වහර කෙතරම් ප්‍රකාශන ශක්තියෙන් පිරී පැවැත්තේ දැයි කියතොත් ඇතැම් දෙබසක චරිතවල හැඟුම් සමුදාය වචන දෙක තුනකින් ම රසිකයාට පසක් කරන සුලු විය. කෝමල රේඛාවේ ඇතුළත් ‘ගුරු ගෙදර අතරමඟ’ එවැන්නකි. එහි එන චරිත දෙක නෑනා මස්සිනාලා ය. ඔවුහු ළමා වියේ සිටිති. ගීයෙන් නිම වී ඇති ඔවුන් අතර වන දෙබස් ඇරඹෙන්නේ මෙසේ ය.

“අකුරට යනවයි කියලා
ටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට
ගිහින් කියන්නම් – ගිහින් කියල
මේ බැද්දෙදි අල්ලල දෙන්නම්” යි නෑනා කියන විට
”කුරුල්ලන්ට පඳුරුවලට
ඔමරි කරනවා විතරයි
සිලිඳු ඉතින් දර කැඩුවද
මමත් කියන්නම්
ගිහින් කියල පොඩි නැන්දට
අල්ලල දෙන්නම්”යි මස්සිනා කියයි.

කටවහර ගීයට යොදා ගැමි පෙම පළ කළ කාව්‍ය නිර්මාණවලට මීට වඩා හොඳ නිදසුන් තිබේද?
කුඩා දැරියකගේ සිතේ පහළ වන නොමේරූ බුදු බැතිය කවියට නඟමින් කළ සිව්පද පෙළ තවත් විශිෂ්ට නිර්මාණයකි.

බුදුහාමුදුරුවන් ඉස්සර
සිටින කොට
මම හිටියනම් යන විට
කැලයට දරට
වනමල් නෙළා තබමින්
සිරිපතුල පිට
වැඳවැටෙනවා නොගොහින් ගෙට
වරුවකට
යනුවෙන් ඇරඹෙන එහි ඉතිරි පැදි ද ඊටම නොදෙවැනි ය.

කාටත් හොරෙන් ගොඩ අරගෙන
කැටය මගේ
සිවුරක් ගෙනත් දෙනවා
කහඅත්ත වගේ
එතකොට බලත හැකි පොරොවා
වඩින රඟේ
කිනිහිරි මලක් සෙලවෙනවා
වැනි සුළඟේ
යනු එහි තවත් කවියකි.
මානවසිංහයන්ගේ සහජ ප්‍රතිභාව මැනවින් දන්නේ ඔහු ළඟින් ඇසුරු කළ අයයි. පහත සඳහන් විස්තරය මට ලැබුණේ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායකයකු වූ නාරද දිසාසේකරයන් ගෙනි. ‘රන්මුතුදූව‘ නම් ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටයේ ‘පිපී පිපී” ගීයේ ගායකයා වූයේ ඔහු ය. අමරදේව සූරීන්, නාරද සහ චිත්‍රපටයේ නිෂ්පාදක අංශයේ කෙනකු මානවසිංහයන් හමුවන්නට ගියේ ඔහු ලවා එම චිත්‍රපටයට ගීත කීපයක් ලියවා ගන්නටය.
පළමුව ඔහු ප්‍රිය කළ තෑග්ගක් අතේ තැබූ පිරිස පැමිණි කාරණය පැහැදිලි කළහ. ඒ වනවිටත් ඔහු සිටියේ මීවිතින් මත්වීය. තෑග්ගට ලැබුණු රස පානය ද විවෘත විය. ඔහුගේ කටහඬ බමන හිසට අනුකූ®ල විය. “වසන්තා” ඔහු සිය පියඹ ඇමතුවාය. “පෑනකුයි –කඩදාසියකුයි – අර - ගෙන – මං - කියන එක – ලියා - ගන්න” දැන් කවුරුත් නිහඬ ය. විනාඩි දෙකකින් පමණ මානවසිංහයන්ගේ කටහඬ යළි අවදි විය.
”පිපී පිපී - රේණු නටන – වනේ මලක හැප්පිලා” මේ පද ටික ඔහුගේ මුවින් ටික ටික පිටවන්නට විනාඩි පහක් පමණ ගත විය. විනාඩි විස්සක් තිහක් පමණ ගෙවෙන විට “පිපී පිපී” ගීතයේ රචනය නිම විය.
එම චිත්‍රපටයට ම ඇතුළත් වුණු “ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ” වෙසක් පොහෝ දින දිනූ සේක අප බුද්ධදිවාකරයාණෝ” යන ගීත එකිනෙකට වෙනස් ආරකින් රචනා වී ඇත්තේ ප්‍රස්තුතයට ගැළපෙන ධ්වනිය නිනාද වන සේ ය.
“ගලන ගඟකි ජීවිතේ” ගඟේ ගලා යාමට අනුකූල ධ්වනියක් නඟන අතර “වෙසක් පොහෝ දින” ගීතය බුද්ධ භක්තියට තෝතැන්නක් ලෙස හඬ නැඟේ. මුලින් සඳහන් ‘පිපී පිපී” ගීතයේ හඬ චිත්‍රපටයේ ඇතුළත් සාජ්ජයට කෙතරම් නම් ගැළපේ ද?
ලිපිය අවසන් කිරීමට මානවසිංහයන්ගේ අභාවයෙන් වසරක් ගෙවීමේදී කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ පැවැති අනුස්මරණ උත්සවයේදී අභාවප්‍රාප්ත ආචාර්ය ගුණපාල සේනාධීර ප¼ඩිතුමා කළ ප්‍රකාශයක් උපුටා දැක්වීම සුදුසු යැයි සිතමි.
”මානවසිංහ, භාරතීය මහා කවි කාලිදාස ගණයේ ශ්‍රේෂ්ඨ කවියෙකැයි බොහෝ දෙන කියති. මා එයට සංශෝධනයක් කළ යුතුය. සංස්කෘත කාව්‍ය ග්‍රන්ථ රචනා කළ කාලිදාසගේ කෘතීන් මානවසිංහයන්ගේ සිංහල කාව්‍ය නිර්මාණත් සසඳා බැලූ විට කාලිදාසයින්ට වඩා මානවසිංහයන් ප්‍රතිභාශක්තියෙන් ඉහළින් සිටින බව නොබා කිව හැකිය.”



ආචාර්ය ගැමුණුසිරි ගමගේ

Source
http://www.silumina.lk/punkalasa

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි