Friday, June 28, 2013

දරුවනේ, ඉගෙනගනිල්ලා | දිනමිණ: කතුවැකිය |

 http://www.whatsupcolombo.lk/Images/UploadedImages/Movie/Full/98.jpg
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තරම් නරක අධ්‍යාපන ආයතන විශේෂයක් ලෝකයේ කොතැනකවත් නොතිබෙන්නට පුළුවන. ඒවා අවුරුද්දේ වැඩි කාලයක් වසා තිබෙන අතර; විවෘත වූ සැණෙන් ගිනියම් වේ. මේ ආයතන දැන් පවතින්නේ රටටත් - ජාතියටත් - ආණ්ඩුවටත් විශාල හිසරදයක් වන ලෙස ය. ඒවායෙහි ගොඩනැගිලිවල , විද්‍යාගාරවල, පුස්තකාලවල, උයන් වතුවල, ආපන ශාලාවල කිසි වරදක් නැත. එහෙත් එහි ශිෂ්‍ය ප්‍රජාව මෙන්ම ඇතැම් ගුරුවරු ද අන්තිම නරක ය. මේ විද්‍යස්ථාන තුළ ඇත්තේ ස්වල්ප පිරිසකගේ චණ්ඩිකම් ය. එම චණ්ඩිකම්වලට දහස් ගණන් සිසුහු යටත් ව; කාලකණ්ණි ජීවිත ගත කරති.
පෙරේදා හයිලෙවල් පාරට කඩා වැදුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෝ එහි ගමනාගමනය මුළුමනින් ම අඩාල කළහ. ඉතා වැදගත් ගමන් යොදාගෙන තිබුණු සිය ගණනකගේ බලාපොරොත්තු සුන් විය. රෝගීහු අතරමං වූහ. ව්‍යාපාරිකයෝ බලවත් පාඩු ලැබූහ. කොටස් වෙළෙඳ පොළට මෙන් ම කොළඹ ප්‍රධාන වෙළෙඳ ගනුදෙනුවලට මින් සිදු වූ පාඩුව ගණන් බලා නැත. මහජනයාගේ බදු මුදලින් උසස් අධ්‍යාපනය ලබන පිරිසකට මෙලෙස රට අවුල් කිරීමේ අයිතියක් තිබේ ද?
මේ විශ්වවිද්‍යාල සිසුන් මහපාරට පැන යකා නැටුවේ කුමකට ද? ඔවුන්ගේ සටන් පාඨය වූයේ හතළිහකගේ පන්ති තහනම ඉවත් කරනු යන්න ය. ඒ හතළිහ නම්; නවක සිසුනට අමානුෂික ලෙස නවක වදය දුන් නරුමයෝ ය. අමානුෂික නවක වදය අනුමත කළ හැක්කේ පිස්සනට පමණි. ජ’පුර සරසවියේ නවක සිසුන් මඩ වළවල්වල දමා දණ ගස්වා තිබීමෙන් ද, ඔවුන්ගේ දෑත් වැසිකිළි වළවල්වලට එබීමෙන් ද, තවත් ශාරීරික පීඩා කිරීමෙන් ද ඉහත කී හතළිහ යම් මානසික තෘප්තියක් ලබන්නට ඇත. මේ මානසික රෝගීන් තවදුරටත් විශ්වවිද්‍යාල තුළ රඳවා තබා ගැනීම බෙහෙවින් භයානක ය. පන්ති තහනමට අමතරව මූලික මිනිස් අයිතිවාසිකම් යටතේ ඔවුනට නඩු පැවැරිය යුතු ය.
2001 මාර්තුවේ “විශ්ව තරංග“ නම් සඟරාවට ලිපියක් ලියන මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගැන මෙබඳු සටහනක් තබයි.
“අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තුළ රට, ජාතිය හා ආගම ගැන ඇති හැඟීම කනගාටුදායක ය. කුඩා දේශපාලන සිද්ධියකට වුවත්, පෙළපාලි යන ඔවුන් සිය දහස් ගණන් මිනිසුන් මරවන ත්‍රස්තවාදයට එරෙහිව පෙළපාලි ගොස් නැත. වැලන්ටයින් දිනය වැනි විවිධ මුහුණුවරින් බටහිරින් පැමිණෙන සාංස්කෘතික පරිහානිවලට විරුද්ධ වී නැත. අනුරාධපුරයේ හෝ අරන්තලාවේ හෝ නැඟෙනහිර ගම්මානවල හෝ සිදුවන විනාශය ගැන කතා කරන්නේ නැත. උගත් තරුණයෝ රට, ජාතිය හා ආගම ගැන හැඟීමක් නැති නරුමයෝ පිරිසක් ද?”
රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පිළිබඳ කදිම චිත්‍රයක් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ විග්‍රහයෙන් ඇඳගත හැකි ය. මේ පිරිස රට, ජාතිය, ආගම ගැන පමණක් නො ව තමන් ගැන සුබවාදී ව බලන්නේ ද නැත. ඔවුන්ගේ අනාගතය උප කල්පනය කළ නො හැකි තරම් භයානක ය. සමහරුන් නියමිත වර්ෂයේ දී උපාධිය සම්පූර්ණ කර නැත. තවත් සමහරු වසර පහක් - හයක් විභාග අසමත්ව සිටිති. මේ පිරිස් තම දෛනික ජීවිත ගෙවනුයේ හොඳ සිහි කල්පනාවකින් නො වේ. සමහරු සමාජය සමඟ බද්ධ වෛරයකින් පසු වෙති. නවක වදය ඔස්සේ ප්‍රකාශ වන්නේ එම සමාජ වෛරය යි. මේවාට විසැඳුම් තිබිය යුතුය. එසේ නොවුණහොත් උසස් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන විශාල ධනස්කන්ධය අපතේ ගියා වේ.
රටේ කීර්තිමත් ප්‍රාඥයකු වන ගුණදාස අමරසේකර මහතා වරක් කියා සිටියේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල යනු ත්‍රස්තවාදීන් බෝ කරන කඳවුරු විශේෂයක් බව ය. ඒ කතාව මුළුමනින් ම සත්‍යයෙකි. අද විශ්වවිද්‍යාල තුළ ඇත්තේ සටන් පමණි. ඒවායෙහි අධ්‍යාපනයක් නැත. සිසුහු දේශනාවලට සහභාගී නොවී පාරට පැන පෙළපාලි යති. වත්මන් විශ්වවිද්‍යාල පද්ධතිය වසාගෙන ප්‍රචණ්ඩත්වය පැතිර ගොස් තිබේ. අන්තරය හා මහා ශිෂ්‍ය සංගම් ඔස්සේ එම ප්‍රචණ්ඩත්වය පැතිර යයි. අන්තරය පසුපස ද, මහා ශිෂ්‍ය සංගම් පසුපස ද ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය යි. පෙරටුගාමී යයි කියූව ද ඔවුනට ඇත්තේ බෙහෙවින් පසුගාමී අදහස් ය. මේ ශිෂ්‍ය නායකයෝ තමන්ගේ ජීවිත කාලකණ්ණි කරගෙන ඇති අතර සමස්ත සිසු පරපුරේම ජීවිත කාලකණ්ණි කිරීමට උත්සාහ කරති. ඊට ඉඩ දිය යුතු නැත.
මේ දිනවල පවතින සරසවි ශිෂ්‍ය අරගලවල අර්ථය වන්නේ අමානුෂික නවක වදය අනුමත කිරීම ය. සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් විශාල පිරිසක් මීට විරුද්ධ වන්නේ වුව අන්තරය හා මහා ශිෂ්‍ය සංගම් ඔස්සේ සිදු කැරෙන බලහත්කාරයට ඔව්හු යටත් වෙති. විද්‍යෝදය විශ්වවිද්‍යාලයයේ ප්‍රථම උප කුලපතිවරයා වූ වැලිවිටියේ සෝරත හිමියන්; විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පර්යේෂණශීලී විය යුතු බවද ගවේෂණශීලී විය යුතු බවද කියා ඇතත්; නූතන ශිෂ්‍යයා තුළ එවැනි දේ නැත. ඔව්හු ස්වාධීන නොවෙති. නිර්මාණශීලී ‍ෙනාවෙති. අවම ලෙස තමන් ගැන තීන්දුවක් ගැනීමේ හැකියාව හෝ ඔවුනට නැත. විශ්වවිද්‍යාල තුළ පළමුව ඒ නිදහස ඇති කළ යුතුය.
සමහරුන්ගේ මතය වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධරයන් ශිෂ්‍ය සංගම් සමඟ සාකච්ඡාකොට මේ ප්‍රශ්නය නිරාකරණය කළ යුතු බව ය. ඒ මතයෙහි කිසිදු යුක්ති සහගත භාවයක් අපට නම්; නොපෙනෙයි. ශිෂ්‍යයන් නේවාසිකාගාර ඉල්ලා සිටිත් ද? ඒ ගැන උද්ඝෝෂණ කරත් ද? එය සාකච්ඡාවට මාතෘකාවකි. ඒ ගැන සාකච්ඡා කළ යුතු ය. එහෙත් අමානුෂික නවක වදය දුන් පිරිසකගේ පන්ති තහනම ඉවත් කිරීම ගැන කිසිදු සාකච්ඡාවක් නොපැවැත්විය යුතුය. එසේ සාකච්ඡා කරන අය ද අමානුෂික නවක වදය අනුමත කරන්නන් ලෙස සැලැකිය යුතුය. මේ උද්ඝෝෂණ යටින් දුවන දේශපාලනයට අවශ්‍ය වන්නේ ද සාකච්ඡා නොව පෙළපාලි හා උද්ඝෝෂණ ය.
විශ්වවිද්‍යාල තුළ පවතින විනය පරිහානියට හා නැඟී එන ප්‍රචණ්ඩත්වයට හොඳම විසැඳුම වන්නේ ශිෂ්‍ය ප්‍රජාව තුළින් ම යහපත් ප්‍රති කැරැල්ලක් ඇති කිරීම ය. එය අධ්‍යාපනයට හිතකර ප්‍රචණ්ඩත්වයට එරෙහි නූතන කැරැල්ලක් විය යුතුය. උසස් අධ්‍යාපනයෙන් ඉහළම ප්‍රතිඵලයක් ගෙන තමන්ගේ ඊළඟ ඉලක්කය වෙත ගමන් කිරීමට කැමැති විශාල ශිෂ්‍ය ප්‍රජාවක් විශ්වවිද්‍යාල තුළ සිටිති. මේ පිරිස සංවිධාන කොට එකට පෙළගැස්විය යුතුය. විශ්වවිද්‍යාල ගුරුවරයාට එම කාරිය කළ හැකි ය. එලෙස කොන්දක් ඇති ආචාර්යවරයකු පහළ වුවහොත් ඒ රටේම වාසනාවට ය.
.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි