Sunday, June 30, 2013

බැතිමතුන් නොයන අවාරයේ සිරිපා මළුවට මල් පුදන්නේ කවුද?

බැතිමතුන් නොයන අවාරයේ සිරිපා මළුවට මල් පුදන්නේ කවුද?

“වත්තහේනේ පියසේන අයියා කුරුවිට, ලස්ස කන්දේ පදිංචිකරුවෙකි. කිතුල් මල් මැදීම ජීවනෝපාය කරගත් හෙතෙම අඹු දරුවන් ‍පෝෂණය කළේ සමනල අඩවියේ පිහිටි කිතුල් ගස්වල මල් තලා එයින් ලැබෙන තෙල්දිය පැන් - හකුරු බවට පත් කොට විකුණා මුදල් උපයා ගැනීමෙනි.
කුරුවිට-එරත්න හරහා වැටී තිබෙන ශ්‍රී පාද මාර්ගය ආසන්නයේම වෙසෙන පියසේන අයියාට සමනල අඩවිය හරියටම තමන්ගේ මහ ගෙදරටත් වඩා හුරුපුරුදු ඉසව්වකි. ඔහුට පමණක් නොව සමනල අඩවිය අවට වෙසෙන ගම්මුන් බොහෝ දෙනකුටම සමනල අඩවිය එසේ හුරුපුරුදු ඉසව්වකි. කිතුල් මල් මැදීම, හැරුණුු කොට, දුම්මල කැඩීම, වෙනිවැල් කැපීම, ආදී වාණිජ ද්‍රව්‍ය එකතු කිරීම ජීවනෝපාය කරගත් ගැමියන් බොහෝ දෙනකුටම සමනල අඩවිය හා ගැට ගැසුණු අත්දැකීම් රැසකි.
sria-padayaඒ සිරිපා අවාර සමයයි. එක්තරා දිනක හිමිදිරි පාන්දරම කිතුල් මල් මැදීමට අවශ්‍ය ආම්පන්නද රැගෙන සමනල අඩවියට වැදුණු පියසේන අයියාට මැද ගැනීමට ලැබුණේ කිතුල් ගස් දෙක තුනක් පමණි. හැරපට ඔස්සේ තුන්වෙනි කිතුල් ගසට නගිමින් සිටි ඔහුගේ දෙසවන වැටුනේ ශ්‍රී පාද අඩවිය දෙසින් නොනවත්වාම නැගෙන හේවිසි, හොරණෑ හඬක් හා සාදුකාර හඬකි. මේ වන විට සිරිපා වන්දනා වාරයද අවසන්වී මාස දෙකක් පමණ ගත වී තිබුණෙන් මහ වන මැදින් ඇසෙන හේවිසි හඬ පියසේන අයියාගේ සිත තුළ ඇතිකළේ කුතුහලයකි. කිතුල් ගසේ මුදුනටම නැගගත් හෙතෙම මල් මැදීම පසෙක තබා කිතුල් පිත්තක් මත වාඩි වූයේ හේවිසි හඬ නැගෙන්නේ කුමන ඉසව්වෙන්ද දැන ගැනීමටය. මහ වනයේ තුරු මුදුන් අතුරින් හාත්පස විපරම් කර බැලූ ඔහුට පෙරහරක් තබා මිනිස් පුළුටක් හෝ දැක ගත  නොහැකි විය. 
කිතුල් මල් මැදීම මඳකට නතර කර දැමූ පියසේන අයියා තෙල්දිය පිරවූ වළං කිහිපය ලඳු කැලෑවක සඟවා තබා මහ වනයේ ඉහත්තාවට පිය මැන්නේ හේවිසි හඬ නැගෙන ඉසව්ව සැක හැර දැන ගැනීමටය. ළඟ ළඟම ඇසෙන හේවිසි හඬ හා සාදුකාර හඬ සොයමින් සැතපුම් කිහිපයක්ම මහ වන මැදින් ඇවිද ගිය පියසේන අයියා හැරමිටිපාන අම්බලම අසලට පැමිණ තිබුණේ තමන්ටත් නොදැනීමය.
පලාබද්ගල ශ්‍රී පාද රජ මාවතත් එරත්න ශ්‍රී පාද මාවතත් එකට එක්වන හැරමිටිපාන තැන්නේදී කාගෙත් නෙත ගැටෙන්නේ මනස්කාන්ත දර්ශනයකි. ශ්‍රී පාද පද්මය පිහිටි සමනල කඳු මුදුන නිල්වන් අහසේ ගෑවී නොගෑවී නැගී සිටින අයුරුත්  වරෙක සුදුවන් වළාකුලකින් වැසෙමින්ද තවත් වරෙක පැහැදිලි දසුන් මවමින්ද මතුවන ශ්‍රී පාද කඳු මුදුන ඇසට රසඳුනක්ම  ගෙන දෙන්නේය.
හැරමිටිපාන අම්බලම මිදු‍ලේ සිටිමින් ශ්‍රී පාදය දෙස ටික වේලාවක් ඇසිපිය නොහෙලා බලා සිටි පියසේන අයියා දොහොත් මුදුන්  දී ඒ දෙසට වැඳ නමස්කාර කළේය. දැන් හේවිසි හඬ ඇසෙන්නේ ශ්‍රී පාද උඩමළුව දෙසිනි. අවාර සමය බැවින් ශ්‍රී පාද උඩමළුවේ කිසිදු තේවාවක් හෝ වතාවත් සිදු නොවන බව පියසේන අයියා හොඳින් දනී. තවදුරටත් හේවිසි හඬ සොයා යාම නතර කර දැමූ ඔහු ආපසු එන්නට හැරුනේ අවාර සමයේදී සමනල අඩවියේදී අත් විඳීමට ලැබුණු තවත් අසිරිමත් අත්දැකීමක මිහිර විඳ ගනිමිනි.
වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පුන් ‍පොහෝ දින සිට එළැඹෙන වසරේ වෙසක් පුන් ‍පොහෝ දින දක්වා පුරා හය මාසයක කාලයක් තිස්සේ පවතින අතර එම කාලපරාසය  “ශ්‍රී පාද වන්දනා වාරය ලෙස හැඳින්වේ. එසේම වසරේ ඉතිරි හය මසක කාලය හැඳින්වෙන්නේ “අවාරය” ලෙසිනි. මේ අවාර කාලය සෑම වසරකම වෙසක් පුන් ‍පොහෝ දින සිට උඳුවප් පුන් ‍පොහෝ දින දක්වා පවතී.
 ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව, සුමන සමන් දෙවිඳුන්ගේ හඳුන් මුවා ප්‍රතිමාව ඇතුළු පූජා භාණ්ඩ වෙසක් පුන් ‍පොහොය ගෙවී යාමත් සමගම ශ්‍රී  පාදස්ථානයේ සිට පහළට වැඩම කරවීම සිදු කෙරේ. ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමත් “අවාරය” සමය ආරම්භ වීමත් සනිටුහන් වන්නේද ඒ සමගමය. සමන් දේව ප්‍රතිමාව ඇතුළු පූජා භාණ්ඩ පහළට වැඩම කරවීමත් සමග ශ්‍රී පාද පද්මය සහිත කුටියේ දොරගුළු දමා වසා දැමෙන අතර පූජනීය පර්වතය වටා ඇති උඩමළුවට පිවිසෙන පිවිසම් දොරටුද ඉබි යතුරු දමා වසා දමන්නේ ශ්‍රී පාද කාර්ය මණ්ඩලය විසිනි. වන්දනා වාරය sria-padaya1නිමාවත් සමගම උඩමළුවේ විදුලි පහන් නිවා දැමීමත් අමතර ජල හා විදුලිය සැපයුම් විසන්ධි කිරීමත් සිදුවේ.
පුරා හය මාසයක කාලයක් තිස්සේ දිවා රාත්‍රී්‍ර දෙකෙහිම දහස් ගණනින් ජනතාව ගැවසුණුු ශ්‍රී පාද උඩමළුව ඉන්පසු පාළුවට යන අතර පහත මලුවේ ඉතිරි වන්නේ ශ්‍රී පාදස්ථානයේ දේපළවල ආරක්ෂාවට පත් කර සිටින මුරකරුවන් දෙදෙනා පමණි.
ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා ප්‍රධාන මාර්ග දෙපස ඉදිකර තිබෙන ආපන ශාලා වෙළෙඳසල් හා නවාතැන් පහසුකම් සහිත හෝටල්ද වන්දනා වාරය නිමාවීමට සති කිහිපයකට පෙර දීම වසා දැමීම ඒවායේ හිමිකරුවන්ගේ සිරිතය. ජල විදුලිය විසන්ධි කිරීමටත් වඩා වන්දනාකරුවන්ගේ නොපැමිණීම ඊට හේතුව වී තිබේ.
සිරිපා අවාර සමය එළඹෙත්ම සමනල අඩවිය ජන ශුන්‍ය කලාපයක් බවට පත් වුවද මේ කාලය තුළ තවත් පිරිසක් ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගැනීමට පැමිණෙන බවට සමන් දෙයියන්ගේ අඩවියේ ජනතාව තුළ පවතින්නේ දැඩි විශ්වාසයකි. ශ්‍රී පාද අඩවියට අධිගෘහිත සුමන සමන් දෙවියන් ප්‍රධාන සම්‍යයක් දෘෂ්ටික දෙවියන් ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගැනීමට සහපිරිවරින්ම පැමිණෙන්නේ අවාර සමයේදී බව ජනතාව විශ්වාස කරති. මේ දෙවියන්ගේ පැමිණීම අදෘෂ්‍යමානව සිදුවුවද ඒ පිළිබඳව විශ්වාසය තහවුරු කෙරෙන සිද්ධීන් හා අත්දැකීම් සමන් දෙවි අඩවියේ ජනතාව තුළ අපමණ තිබේ.
සිරිපා වන්දනා වාරය නිමාවට පත් වීමත් සමගම ධාරාණිපාත මහවැසි ඇදහැලී සිරිපා මලුව හා මංමාවත් සති ගණනාවක් තිස්සේ සේදී පවිත්‍ර වන්නේ මිනිසුන්ගේ පහසින් අපවිත්‍රව ඇති කිලි, කුණු සේදී යාමට බව පැවැසේ. ඉන්පසු දෙවියන්ගේ පැමිණීමට සුදුසු වටපිටාවක් සොබාදහම විසින්ම නිර්මාණය කර දෙන බවද ජනතාව විශ්වාස කරති.
අවාර සමය උදාවත්ම සිරිපා අඩවියේ සොබාවික සංසිද්ධීන් හා කාලගුණ තත්ත්වයන්වලද විශාල වෙනස්කම් රැසක් සිදුවේ. නිරන්තරයෙන්ම පවතින ධාරාණිපාත වර්ෂාව, කුණාටු සහිත තත්ත්වයන්, අධික මීදුම සහිත සීතල, අකුණු ගැසීම් හා දැඩි සුළං තත්ත්වයන් මේ පාරිසරික විපර්යාසයන් අතර ප්‍රධානය. මේ සමයේ සමනල අඩවියට ඇද හැලෙන ධාරාණිපාත වැසි නිසා සියලුම ගමන් මාර්ග දොළ පාරවල් බවට පත් වන්නේ ඉබේටමය.
වර්ෂය පුරා හය මසක කාලයක් බැතිමතුන්ට ඉඩදී වෙනත් ඉසව්කරා ගොස් සිටි අපා, දෙපා, සිවුපා සතුන් සියලු දෙනාමත් තම නිජ භූමිය කරා නැවත පැමිණෙන්නේද මේ අවාර සමය උදාවෙත්මය. සුමන සමන් දෙවිඳුන්ගේ වාහනය සේ සැලකෙන ඇලි ඇතා තම පිරිවරද සමගින් පැමිණ සම්බුදු සිරිපා වන්දනය කරන බවද තවත් විශ්වාසයකි. මේ කාලය තුළ වෙනත් අවශ්‍යතා සඳහා සමනල අඩවියට යන එන බොහෝ දෙනකුට ඇහැල කණුව නැමැති ස්ථානය දක්වාම අලි ඇතුන්ගේ වසුරු වැටී තිබෙන අයුරු දැකගත හැකි වේ. “සමන් දෙයියන්ගේ සුදු ඇතා පද්මේ වඳින්න එන්නේ මේ කාලෙට යැයි ගැමියන් මහත් ගෞරවයෙන් පවසන අතරේ සුදු පැහැයට සමාන අළු පැහැයෙන් යුත් ඇතෙකු සමනල අඩවියේ සිටින බව ශ්‍රී පාද වනජීවී නිලධාරීන්ද වරෙක ඡායාරූප සහිතව තහවුරු කර තිබුණි. 
කුමන හේතුවක් නිසාවත් අවාරය සමයේ සිරිපා අඩවියට යාමට අපේ පැරැන්නන් කැමැත්තක් නොදැක්වූහ. ඊට බලපෑ හේතු රාශියකි. වර්ෂාව, අධික සීතල, අකුණු සර, ආදියටත් වඩා ඔවුන් මෙහිදී බිය වූයේ අදෘෂ්‍යමාන බලපෑම්වලටය. හදිසියේ හෝ අවාරයේදී සිරිපා අඩවියට ගිය අයෙක් ඇත්නම් ඔහුට නොයෙක් අඩ්කෝඩවලට මුහුණ පෑමට සිදුවන බවත්, අලි, කොටි, වගවලසුන්ට හෝ ගොදුරක් වන බවත් සමනල අඩවියේ ජනතාව අත්දැකීමෙන් දනිති.
කරුණු එසේ වුවද අපේ රට සුදු ජාතිකයන් පාලනය කරන අවධියේ පටන් විදේශිකයන් රැසක්ම අවාරයේදී සමනල කන්ද තරණය කර තිබේ. එපමණක් නොව ඔවුන් ඒ ගමන්වලදී මුහුණදුන් අත්දැකීම් පිළිබඳවත් අසිරිමත් සිදුවීම්පිළිබඳවත් දින සටහන්ද තබා ඇත. හුදෙක් පරිසරය පිළිබඳව ගවේෂණය කිරීමේ අරමුණින් හා කඳු තරණය කිරීමේ අරමුණින් සිරිපා කන්ද තරණය කර ඇති මේ විදේශිකයින්ගෙන් ඇතැම් අයද අදහාගත නොහැකි සිදුවීම් සමනල අඩවියේ සිදුවන බවට තැබූ සටහන් ද ඒ අතර වේ.
රත්නපුර දිසාව පාලනය කළ සුදු ඒජන්තවරයකු වූ හර්බට් වේස් (1887) මහතා මෙන්ම බ්‍රිතාන්‍ය ජාතික ආර්.එන්.තේන් R.N.Thaine, ආර්.බි.හේලිස් R.B.Helis යන උප ඒජන්තවරුන්ද එසේ අවාර සමයේ සිරිපා කන්ද තරණය කෙරුවෝ වෙති. අදින් වසර 143කට පෙර අවාර සමයේ සමන්ගිර තරණය කළ එච්.එස්.ඕ.රසල් (H.S.O.Rasal) මහතා ශ්‍රී පාද උඩමළුවේදී තමන් මුහුණ දුන් අත්දැකීමක් සිය දින‍පොතේ සටහන් කර තිබේ. ඔහු සිරිපා මලුවට පිවිසෙන අවස්ථාවේ සුදුවතින් සැරසුණු කිහිප දෙනකුම පූජනීය පර්වතය දෙසට වැඳගෙන සිටි බවත් නිමේෂයකින්ම ඔවුන් නොපෙනී ගිය බවත් එම සටහනින් කියැවේ.
රත්නපුර, මාපලානේ පදිංචි වඩුමානගේ ඩේවිඩ් මහතා වසර ගණනාවක් තිස්සේ අවාර සමයේ ශ්‍රී පාද උඩමළුවේ මුරකරුවෙකු ලෙස සේවය කළ අයෙකි. දැනට වයෝවෘද්ධ තත්ත්වයේ පසුවන ඔහු සතුව ඇති අත්දැකීම් රාශියකි.
අවාර කාලයට පුදුම විදියට උඩමුළුවේ සත්තු බෝ වෙනවා. දහස් ගණනක් මීයෝ බෝවෙනවා. ඒ වගේම පණුවෝ, මැස්සෝ, කැර‍පොත්තෝ වගේ කෘමි සත්තු දසදහස් ගණනින් එනවා. හරියට කූඩුවක ඉඳල එළියට දැම්ම වගේ. ඒ වගේම බතක් මාළුවක් ඉව්වාම ළිපේ තියෙද්දීම කන්න ඕනෑ. බිමට බාල කන්න බැහැ. බත් හැලියේ පණුවෝ ගහනවා. උඩමළුවේ මිනිස් පුළුටක්වත් නැතිව තියෙද්දී හඳුන් කූරු පත්තු කරපු සුවඳ එනවා, සාධුකාර දෙන, ගාථා කියන හඬ ඇසෙනවා. ඒ වෙලාවට අපි දොරක් ජනේලයක්වත් අරින්නේ නැහැ. සමහර දවසට උදේ බලපුවහම පද්මේ තියෙන තැන පහළ මලුවේ දුර්ලභ ගණයේ කඩුපුල්, දෝතලු වගේ මල් පූජා කරල තියෙනවා පේනවා. නමුත් ආපු කෙනෙක් ඇස් දෙකට දකින්න නැහැ” ඩේවිඩ් මහතා පවසන්නේ කුතුහලය මුසු වූ හැඟීමකිනි.
අතීතයේ අපේ මුතුන් මිත්තන් අවාර සමයේ සිරිපා කරුණා කිරීම කිසිසේත්ම සිදු නොකළද වර්තමානය වන විට අවාරයේ සමන්ගිර තරණය කිරීමට 
පෙළඹෙන පිරිස් බොහෝය. ඒ අතර විදේශිකයින් මෙන්ම ස්වදේශිකයින්ද සිටිනු පෙනේ. “අවාරයේ සිදුවීම් පිළිබඳව ශ්‍රී පාදස්ථානාධිපති හා පැල්මඩුල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ දැක්වූ අදහස් මෙසේය. “වෙසක් ‍පොහොයෙන් පස්සේ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව උඩමලුවෙන් පහළට වැඩමවලා මලුව වහනවා. ඉන්පසු කිසිම තේවා කටයුත්තක්, පුද පූජාවක් සිදුකරන්නේ නැහැ. හැබැයි සෑම පසළොස්වක ‍පොහෝ දිනකම පහන් දල්වා ආගමික වතාවත් සිදුකරනවා. ඒ හැර වෙන කිසිදෙයක් සිදුවන්නේ නැහැ. අවාර සමය තුළදී ගල්‍පොත්තාවෙල ශ්‍රී පාද විහාරයේදී මේ පූජා වස්තූන්වලට පුද පූජා පවත්වනවා. බැතිමතුන්ට භාර හාර වීමට ඉඩකඩ සලසා තිබෙනවා. තවුස්දම් රකින, බවුන් වඩන පුද්ගලයින් සිරිපා අඩවියේ ඕනෑ තරම් ඉන්නවා. ඇතැම් අවස්ථාවල ඒ අය බොහෝ අසිරිමත් සිදුවීම් උඩමළුවේදී දැක තිබෙනවා. මිනිසුන් සිරිපා වන්දනාවේ යන කාලය වාරය නම් මිනිසුන් නොයන කාලය අවාරය වෙනවා. අපේ පැරණි මුතුන්මිත්තන්ට පරිසරය, සොබාදහම, කාලගුණය ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා ඔවුන් ස්වාභාවික විපත් අධික කාලය වන්දනාවට තෝරා ගත්තේ නැහැ. ඒ කාලය වන සතුන්ට නිදහසේ ඉන්න ඉඩදීලා ගහකොළවලට වැඩෙන්න ඉඩදීලා නිකන් හිටියා. අදටත් ඕනෑම කෙනකුට අවාරයේදී සිරිපා කරුණා කරන්න තහනමක් නැහැ. පරිසරය ගැන හදාරන, පර්යේෂණ කරන අය ඕනතරම් යනවා. හැබැයි සමහර අය පියවි සිහියවත් නැතිව පහළට ආපු අවස්ථා තියෙනවා. අන්තිමේදී ඒ අයවත් දන්නේ නැහැ ඒ අයට උනේ මොකක්ද කියලා. කොහොමත් ශ්‍රී පාද පද්මය සහිත සමනල අඩවියට අදෘෂ්‍යමාන බලවේගවල ඇල්ම බැල්ම රැකවරණය තියෙනවා. එවැනි අවස්ථා අපිට අත්විඳින්න ලැබුණු වාර අනන්තයි. ඒවා වචනයෙන් විස්තර කරන්න අමාරුයි. ජනතාව අතර තියෙන විශ්වාසය තමයි සැබෑ විශ්වාසය. පිහිට වන්නේත් ඒ අචල විශ්වාසයම පමණයි. 

බුද්ධික රත්න කුමාර

1 comments:

මේ කතාව ඉතා ඈත අතීතයේ සිට එන මනෝ විකාරයක් මිස ඇත්තක් නොවේ.

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි