Thursday, June 6, 2013

ලොව දිනූ පුබුදුට උපහාර - මිහින්තලේ මහ විදුහල මැදි විදුහලක් වෙයි

ලොව දිනූ පුබුදුට උපහාර

මිහින්තලේ මහ විදුහල මැදි විදුහලක් වෙයි

school kids visiting Mihintale
අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පැවැති විද්‍යා හා ඉංජිනේරු ‍තරඟයේ විදුලි හා කාර්මික අංශයෙන් රටවල් හැත්තෑ හයක තරඟකරුවන් එක් දහස් හය සීයයක් පරාජය කරමින් නව නිපයුම් අංශයෙන් පළමු ස්ථානය හිමිකරගත් මිහින්තලේ මහ විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලබන පුබුදු දිනේෂ් චිත්‍රානන්ද කපුගේ ශිෂ්‍යයාට උපහාරයක් වශයෙන් මිහින්තලේ මහ විදුහල මධ්‍ය මහ විදුහලක් බවට පත් කිරීමට තීරණය කෙරේ.
පුබුදු දිනේෂ් චිත්‍රානන්ද කපුගේ සිසුවාට උපහාර දැක්වීම සඳහා උතුරුමැද මහ ඇමැති රන්ජිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) මිහින්තලේ මහ විදුහලේ පැවති උත්සවයේදී මේ බැව් අනාවරණය විය. එහිදී ඇමැතිවරයා මෙසේද කීය.
උතුරු මැද පළාතේ ඉතාම ග්‍රාමීය ප්‍රදේශයකින් මුළු ලෝකයම ජයගත් මේ දරුවා ප්‍රදේශයේ ජනතාවගේ උපහාරය ලබන විට මහ ඇමැතිවරයා ලෙස මම අසීමිතව සතුටු වෙනවා. තව තවත් ලෝකය ජයගෙන උතුරු මැද පළාතට හා රටට කීර්තියක් ලබා දෙන්න හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරනවා. මේ දරුවාගේ මාපියන් ගුරුවරුන් පමණක් නොව මුළු රටේම ජනතාවගේ ප්‍රාර්ථනය වන්නේ මුළු ලොවම තරණය කර තව තවත් ‍රට වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගැනීමයි.
තාක්ෂණය අතින් ශ්‍රී ලංකාව ලෝක නාම ලේඛනයේ නැතත් උතුරුමැද පළාත තාක්ෂණය අතින් ඉතාම පහළ මට්ටමක පවතිද්දීත් නවීන තාක්ෂණය අතින් දියුණු රටවල් සමග තරගවැදී ජය ගැනීමට මෙම දරුවාට හැකි වුණා.
ජනාධිපතිතුමා මහින්ද චින්තනය ඔස්සේ රට ආශ්චර්ය කරා මෙහෙයවන අවස්ථාවක රටවල් හැත්තෑ හයකින් පළමු ස්ථානය ලබා ගැනීමත් මහත් ආශ්චර්යක්. ආනන්ද, නාලන්ද, රාජකීය විදුහල්වල ඇති පහසුකම් ගමට ගෙන ඒම මහින්ද රාජපක්ෂ රජයේ අරමුණයි.
මෙවැනි දක්ෂ දරුවන් බිහිවී තව තවත් දක්ෂතා දක්වා මුළු ලොවම ජය ගැනීමේ අවස්ථාව තම දක්ෂතා කළ එළි දැක්වීමට නොහැකිවී සිටින ගමේ දරුවාට උදා වෙනු ඇතැයි ද මුළු ලොවම ජයගත් මෙම සිසු දරුවා වෙනුවෙන් උතුරුමැද පළාත් සභාවට ලබාදිය හැකි සියලු පහසුකම් හා උදව් උපකාර ලබා දෙන බවද මහ ඇමැතිවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතා එදා දඬුමොණරය හදා සීතා දේවිය රැගෙන ඒමට තරම් දියුණු තාක්ෂණයක් ශ්‍රී ලාංකික ජාතිය සතුව තිබූ බව කීය.
මේ උපහාර උත්සවයට මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නයද රජරට විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය සේන නානායක්කාර මහතාද සහභාගී වී සිටියහ.
මෙහිදී සිසුවාද සිසුවාගේ ගුරුවරයා වූ කපිල සෙනවිරත්න මහතාද මහ ඇමැතිවරයා අතින් සමරු තිළිණ ලැබූ අතර සිසුවාට මුදල් පරිත්‍යාගයක්ද කරනු ලැබීය.


තෙන්නකෝන් කුලසේකර

Source - Dinamina - http://www.dinamina.lk/2013/06/06/_art.asp?fn=n1306064

2 comments:

ඇමතිගේ කතාව වැඩක් නැ මහත්තයෝ මේ දරුවා මොකක්ද හැදුවේ කියන එක ගැන විස්තර දාන්න නැත්නම් බලාගන්න පුළුවන් තැනක් ගැන ලින්ක් එකක් දාන්න. දැන් මෙතන කියන්න හැදුවේ ඉස්කෝලේ ගැනද, ළමයා ගැනද, ළමයා හදපු දේ ගැනද, නැත්තන් ඇමති ගැනද ?

සිය දස්කම් දියුණු කර ගැනීමට පුබුදු දිනේෂ් චිත්‍රානන්ද කපුගේ ශිෂ්‍යයාට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න. උපෙ විභාගයක් නැතිව ඔහුට කැමති විශ්වවිද්‍යාල පාඨමාලාව හදාරන්න ශිෂ්‍ය්තවයක් දෙන්න. අවශ්‍ය පරීක්ශනාගාර පහසුකම් ලබාදෙන්න.
ඉස්කෝලෙ බෝඩ් ලෑල්ල පමණක් වෙනස් කලාට මදි, පහසුකම් හා ගුරුවරුත් ඇතුලු සැම දේ.

ඔහුට, දෙමාපියනට, පාසලට, ගමට, රටට ආඩම්බර විය හැකි දරුවෙක්.
පවුලට, ගමට , පාසලට රටටත් ලෝකයටත් වැඩක් කිරීමට ධෛර්‍ය ශක්තිය ලැබේවා.

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි