Friday, June 21, 2013

‘සුජාත දියණී’ සහ අපේ ටෙලි නාට්‍ය

මොන රටෙන් ගෙනාවත් ගුණාත්මක දේට මිනිස්සු කැමතියි

 
අතුල රන්සිරිලාල්


ටයිටස් තොටවත්තයන්ගේ මඟ යමින් එතුමාට ද ආලෝකයක් වෙමින් අතුල රන්සිරිලාල් මේ වන විට ජාතික රූපවාහිනී සංස්ථාවේ අමිල සම්පතක් ව සිටී. රූපවාහිනිය, හඬ කැවීම් අංශයක් අරඹමින් නව්‍ය සම්ප්‍රදායක් රූපවාහිනී කලාවට හඳුන්වාදීමත් සමඟ එය ඉතා ජනපි‍්‍රය ම අනු අංගයක් ලෙසින් මේ වන විට සෑම රූපවාහිනී නාළිකාවක් ම අතික්‍රමණය කොට තිබේ. එහෙත් තොටවත්තයන්ගේ ආභාසයෙන් නිමැයුණු අතුල වැනි නිර්මාණකරුවන් ඒ ක්ෂේත්‍රයේ ගුණාත්මක පාර්ශ්වය රැක ගනිමින් ජන ආකර්ෂණය මතු නොව කලාවේ උත්කෘෂ්ට පරමාර්ථය ද රැකගන්නා සෙයක් පෙනේ.
එබැවින් මෙවර මුවදොර වදනේ ඉඩ හසර වෙන් වන්නේ ඔබ දැඩි සේ පි‍්‍රයකරන ‘සුජාත දියණී’ ඔබේ ආලින්දයට රැගෙන ඒමේ ආයාසකර එහෙත් තෘප්තිමත් ක්‍රියාවක නිරත වන අතුල රන්සිරිලාල් වෙත ය. ඔහු මේ සංලාපය මඟින් ‘සුජාත දියණී’ මෙතරම් ජන ආකර්ෂණයක් දිනා ගත්තේ කෙසේ ද යන්න පිළිබඳ ව සනිදර්ශිත විග්‍රහයක යෙදෙයි.

‘සුජාත දියණී’ සහ අපේ ටෙලි නාට්‍ය
‘සුජාත දියණී’ මේ තරම් පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට හේතුව වශයෙන් ඔබ දකින්නේ කුමක් ද?

“සුජාත දියණී” මේ තරම් ජනපි‍්‍රය වීමට බලපෑ ප්‍රධාන කරුණ වශයෙන් මට හැඟෙන්නේ එහි පවතින ගුණාත්මකභාවයයි. මේ කොරියානු කතා මාලාවට වැඩි ආකර්ෂණයක් ලැබෙන්න තවත් හේතුවක් වුණා, සිංහල දෙබස් කැවීම. හඬ කැවීම මඟින් විශාල ආලෝකයක් ලැබුණා මේ කතා මාලාවට. මට හිතෙන තව කාරණයක් තමයි මේ කතා මාලාවට මම යොදපු නමත් මෙය වඩාත් ආකර්ෂණීය වෙන්න බලපෑවා.
ඔබ රූපවාහිනියෙන් නරඹපු නාට්‍යයට වඩා වෙනස් දේ බොහොමයක් මෙහි අඩංගු වුණා. මම එය අපේ රටේ සංස්කෘතියට, ගැළපෙන ආකාරයට සංශෝධනය කළා. ප්‍රධාන කොට ම ‘සුජාත දියණී’ට මේ තරම් විශාල ජනප්‍රසාදයක් ලැබුණේ මෙහි පරිවර්තනයේ තිබෙන 
විශිෂ්ට බව නිසයි. මෙය තවත් බොහෝ රටවල පෙන්වූ නාට්‍යයක්.


මේ කතා පෙළ ඇතුළේ තවත් බොහෝ කතා විහිදෙනවා. පේ‍්‍රම කතාවක්, වීර කතාවක්, ඉතිහාස කතාවක් ඒ වගේ ම වෛද්‍ය වෘත්තියේ උත්තරීත්තර භාවය ද මෙහි අන්තර්ගතයි. මේ බහුවිධ බවත් ‘සුජාත දියණී’ ජනපි‍්‍රය වීමට බලපෑම් කරන්නට ඇති.

අපේ ජීවිතවල එදිනෙදා ඇතිවන තරහව, පී‍්‍රතිය, වෛරය, ඊර්ෂ්‍යාව ආදි සෑම චර්යාවක් ම මේ කතා පෙළේ කදිමට නිරූපණය වෙනවා. මට මේ කතාව සංස්කරණය කිරීමේ දී කිසිම කම්මැලිකමක් දැනුණේ නැහැ. සමාන්තර ඡේදනය ඉතාම උසස් ලෙස භාවිත කළ කතාවක් ලෙස මෙය හැඳින්විය හැකියි. මගේ ගුරුදේවයාණන් වන ටයිටස් තොටවත්තයන් එක්ක වැඩ කරද්දි, පිටපත් ලියද්දි, රූගත කිරීම් කරද්දි එතුමා මේ සමාන්තර ඡේදනය ගැන බොහෝ සැලකිල්ලක් දැක්වූවා. එතුමාගේ ‘වැටත් නියරත්’ මීට හොඳ උදාහරණයක්. ඒ වගේම ‘කොරා සහ අන්ධයා’ ගත්තත් එහෙමයි. ටයිටස් තොටවත්තයන් මුලින්ම සංස්කරණ ශිල්පියෙක් වෙලා ඊට පස්සේ අධ්‍යක්ෂවරයකු වූ කෙනෙක්.


තොටවත්තයන්ට බස පිළිබඳ තිබු අසීමිත භක්තියත් නිවැරැදි බස් වහර පිළිබඳ තිබු දැනුමත් හඬ කැවීම් මේ තරම් පේ‍්‍රක්ෂක ජනතාව අතර ජනපි‍්‍රය වීමට හේතු කාරක වන්නට ඇති.

එතුමා භාෂා පේ‍්‍රමියෙක්. ‘සුජාත දියණී’ මෙතරම් ගෙයින් ගෙට ජනපි‍්‍රය වෙන්න තොටවත්තයන්ගේ කල නිපදවූ ‘ඔෂීන්’ මීට පෙර ඒ වෙලාවේම විකාශය වීමත් බලපෑම් කරන්නට ඇති. ‘ඔෂීන්’ කියන්නෙත් සජීවිකරණ භාවිතයේ අග්‍ර ඵලයක්. ඔෂීන් කතාව මඟින් පේ‍්‍රක්ෂකයාට සවස 6.30 හුරුපුරුදු වෙලාවක් බවට පත් කළා. ඔෂීන්ට වැඩියෙන් පේ‍්‍රක්ෂක ජනතාව දෙගුණ තෙගුණ වෙලා ‘සුජාත දියණී’ වටේ එක්රැස් වුණා. අපි පේ‍්‍රක්ෂකයාගෙන් ගිලිහී තිබුණු රූපවාහිනී ගුවන් කාලයක් හැඩ ගැස්වූවා. සවස 6.30 කියන්නේ සාමාන්‍යයෙන් ටෙලිනාට්‍ය බලන වෙලාවක් නොවෙයිනේ. අනෙක තොටවත්තයන්ගේ අඩි පාරේ යන අපි හොඳ, නිවැරැදි කතාවක් ජනතාවට තිළිණ කළා.


‘සුජාත දියණී’ සිංහලයට හඬ කවන්න හඬ කැවීම් ශිල්පීන් දෙසියයකට වඩා යොදාගෙන තිබෙනවා. ග්‍රේස් තෙන්නකෝන්, පරාක්‍රම පෙරේරා, කමල් දේශපි‍්‍රය, රසාදරී පීරිස්, රම්‍යා වනිගසේකර ආදි වශයෙන් වූ ජ්‍යෙෂ්ඨ හඬ කැවීම් ශිල්පීන්ගේ ප්‍රතිභාවත් මීට ආලෝකයක් එක් කළා යැයි මට සිතෙනවා.

දෙබස් කැවීම් මම බාර දුන්නේ පී. කුලරත්නටයි, වජිර කුමාරි විතානගේටයි. ඒකෙ තාක්ෂණික අංශය බාර දුන්නේ බුද්ධික සම්පත්ට. ඒ අය ඉතා සාර්ථකව තමන්ගේ රාජකාරිය ඉටුකළා. ඉතා සාර්ථකව ඔවුන් ශිල්පීන්ගෙන් නිවැරැදි ම හඬ අරන් තිබුණා. එය ඉතා ම වැදගත් වුණා මෙහි ජනපි‍්‍රයත්වයට. අනික් සියලු ම ශිල්පීනුත් ඉතාම කැපවීමෙන් මේ නිර්මාණයට දායක වුණා. කණ්ඩායමක් විදියට අපි සාර්ථක වුණේ හැමෝම එකතු වෙලා උපරීම සාධාරණය කළ නිසයි.


කොරියාව අපට ඒ හැටි සංස්කෘතිකමය වශයෙන් සමීප රටක් නොවෙයි. එහෙත් ‘සුජාත දියණී’ අපට දැනෙන්නේ අපේ ම කතාවක් තරමට සමීප ව. මීට පෙර ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු කොරියන් නාට්‍යයක් වුණු Full House කතා මාලාවත් ජනපි‍්‍රය වුණා. මේ සංස්කෘතික සමානතාව ගොඩනැඟුණේ කෙසේ ද?

කොරියන් සංස්කෘතියෙත් තියෙනවා, අප අතර තිබෙන සමාජ ගුණය. අපි අතර තිබෙන මානව ගුණාංග, චර්යාවන් ඔවුන්ටත් පොදුයි. අනෙක් කාරණය කොරියන් ටෙලි නාට්‍ය හරි ඉහළ මට්ටමක තියෙනවා. එම්. බී. සී. කියන සමාගම තමයි ‘සුජාත දියණී’ නිෂ්පාදනය කර තිබුණේ. ඔවුන් ගොඩක් එවැනි නිර්මාණ නිෂ්පාදනය කරනවා. කුමන රටක වුණත් මානව දයාව, අනුකම්පාව ඉවසීම වගේ ගතිගුණ තිබෙනවා. ඒ නිසා ඒ පොදු ධර්මතායි අපි අපට අරගන්නේ. අනෙක නිර්මාණයක් කියන්නේ විශ්ව ව්‍යාපී දෙයක්. හොඳ අරමුණෙන් හැදෙන හැම නිර්මාණයක් ම සර්ව භෞමිකයි.
අපි ටෙලිනාට්‍ය කියලා අද රූපවාහිනියෙන් බලන්නේ කුටුම්බ ජීවිතයේ එදිනෙදා මුහුණ දෙන අනේකවිධ ගැටලු ගැන හදපු එකම විදියේ ටෙලිනාට්‍ය රැසක්. මේ ඒකාකාරී බවත් පරිකල්පනීය, මායාමය ලෝකයක් ඇතුළේ මැවෙන ‘සුජාත දියණී’ ත් සම්පූර්ණයෙන් වෙනස්. මේ වෙනසත් මෙය මෙතරම් ජනපි‍්‍රය වීමට බලපෑම් කරන්නට ඇති.
ලස්සන පසුතල, ඇඳුම් නිර්මාණ, ඩිජිටල් රූපකරණය ආදි සියල්ල පේ‍්‍රක්ෂකයන්ගේ සිත් ගත්තා. ඒ රූප හරි පි‍්‍රයයි ඇහැට. ඉතාමත් ඉහළ තාක්ෂණික රූපත් අපට ලැබිලා තිබුණා. ඒ තාක්ෂණ ගුණාත්මක භාවය රැක ගන්නත් අපි ගොඩක් මහන්සි වුණා. අපේ ජනතාවට පෙන්වද්දී අපි මුල් පිටපතේ සාර්ථකත්වය එලෙසින්ම රැක ගන්න උත්සාහ කළා. මේක ඉතාම මහන්සියෙන් කළ නිර්මාණයක්. අවංකවම අපි හැමෝම අප්‍රමාණ මහන්සි වුණා. මෙහි මුල් පිටපත විනාඩි 60 කොටස් 54 කින් යුක්ත එකක්. ඒ නිසා මම මේක නැවතත් සංස්කරණය කළා.


ඔබ අපට සිටින ප්‍රමුඛ පෙළේ සංස්කරණ ශිල්පියෙක්. එය මේ කතාව මෙතරම් ආකර්ෂණීය ලෙස නිපදවා ගන්නට බලපෑම් කළා නොවේ ද?

රූපවාහිනී හඬ කැවීම් අංශය බිහි කළ දා ඉඳන්ම මම සංස්කරණ ශිල්පියකු වශයෙන් කටයුතු කරලා තියෙනවා. මේ යන්ත්‍ර සේරම මට හරිම හුරුයි. කූඹිච්චි, දඟර වළිගේ වගේ ඒවායේ සින්දු සංස්කරණය කිරීමෙන් තමයි ඒ කාර්යයට මම ප්‍රවිෂ්ට වුණේ. අනෙක මම හැම දවසෙම කතාව නැවැත්තුවේ කුතුහලය දනවන දර්ශනයක් අවසානයේ. ඊළඟ දවසේ මොකද්ද වෙන්නේ කියලා එතකොට නොඉවසිල්ලෙන් පේ‍්‍රක්ෂකයෝ බලාගෙන ඉන්නවා.


‘සුජාත දියණී’ වඩාත් පි‍්‍රය කරන්නේ අපේ ළමා පරපුර. එය වඩාත් වැදගත් ප්‍රවේශයක් නේද?

පැහැදිලිව ම. අපි කතා කරන්න ඕන අපේ අනාගත පරම්පරාවට. අනෙක් කාරණේ ඒ අය හරිම අව්‍යාජ තීරකයෝ’ අපි වගේ මනස බොහෝ දේවලින් පුරවාගෙන විවිධ දෘෂ්ටි කෝණ ඔස්සේ සංසන්දනය කරන කුරුවල් වුණු මනසක් දරුවන්ට නැහැ. ඔවුන් කැමති වුණා කියන්නේ අපි සාර්ථකයි.


නළු නිළියන් තම චරිතයට තාත්වික ලෙස ආරෝපණය වීම නිසා අව්‍යාජ රඟපෑමක් අපට මෙහි දක්නට ලැබෙනවා. අපේ බොහෝ නළු නිළියන්ගේ බහුරූ කෝලම් එපා වී සිටින පේ‍්‍රක්ෂකයන්ට මේ අව්‍යාජ රඟපෑමෙන් යම් කිසි උත්තේජනයක් ඇතිවන්නට ඇතැයි සිතෙනවා.

මේකෙ දෙපැත්තක් තියෙනවා. දැන් ටෙලි නාට්‍යයක් ලක්ෂ එකහමාරකටනෙ කරන්න කියන්නේ. ඒක තමයි අපේ රටේ සම්මතය සහ ප්‍රමිතිය. මිලදී ගැනීමටත් මේක බලපානවා. ‘සුජාත දියණී’ කියන්නේ අතිවිශාල මුදලක් වැය කරලා කළ දැවැන්ත නිර්මාණයක්. එය කොරියාවේ සිනමා ගම්මානයේ කරන ලද්දක්. හෙක්ටයාර් 50 ක් විශාල මේ සිනමා ගම්මානේ නැති දෙයක් නෑ. එහි දූපත්, මාළිගා, වෙදහල් වගේ හැම දෙයක්ම තියෙනවා.
අනෙක ‘සුජාත දියණී’ අධ්‍යක්ෂණය කළ ලී බයුන්ග් හුන් (Lee Byung Hoon) මම ඉතා අගය කරනවා. ඔහු නළු නිළියන් මනාව හසුරවනවා. අපිත් හිතුවේ නෑ මිනිස්සුන්ගේ ජනජීවිතය වෙනස් කරන තරම් මේක ජනපි‍්‍රය වේවි කියලා.


මේ ජනපි‍්‍රයත්වය හමුවේ අපට ප්‍රශ්නයක් ගොඩනැඟෙනවා, ඒ ගුණාත්මක දේ බලන්න, විඳින්න පුළුවන් පේ‍්‍රක්ෂක, ශ්‍රාවක පිරිසක් නැතැයි කියන වාණිජවාදී මතය මෙමඟින් ප්‍රතික්ෂේප වීම.

හොඳ නිර්මාණ බිහි නොවීමේ සහ කර්මාන්තයක් විදියට මේක දියුණු නොවීමේ ගැටලු තිබෙනවා. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක් අමාරුවෙන් හොඳ නිර්මාණ දායාද කරමින් ඉන්නවා. ජනපි‍්‍රය සංස්කෘතියේ ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නේ කිසිම දෙයක් දන්නේ නැති මෝඩයෝ. මිනිස්සු ඉල්ලන්නේ හොඳ දේ. හොඳ දේ නිර්මාණය කළ යුතු විදියක් තියෙනවා. එහෙම නිර්මාණය කළොත් මිනිස්සු ඒක වැලඳ ගන්නවා.
මෙය ඔබේ ප්‍රතිනිර්මාණයක්. ප්‍රතිනිර්මාණය ජනතාව අතරට ගෙන යාම අභියෝගයක්.
ඔව්. සමහරු බණිනවා අතුල මේක ගැන කතා කරන්නේ ‘මේක අතුලගේ වැඩක් ද’ කියලා. මම මුල් නිර්මාණයට ගරු කරමින්, එහි අව්‍යාජත්වය, නිර්මාණාත්මක බව නොනැසෙන පරිදි අපේ පේ‍්‍රක්ෂකයන්ට ගෙන ආවා.
සමහරු කියනවා කොරියාවේ කොහේද සුජාත දියණීලා ඉන්නෙ, මේක මේ මුළු රටට ම කරන මුලාවක් කියලා. මම මේ වගේ ප්‍රකාශ දකින්නේ හඬ කැවීම් කලාව ගැන මුකුත් නොදන්නා පොඩි ළමයි කරන ප්‍රකාශ හැටියට. හඬ කැවීම් කියන්නේ ප්‍රතිනිර්මාණයක්. අනෙක කොරියාවේ සුජාත දියණීලා නෑ කියන්නේ කොරියන් ජනතාවට ම කළ නිග්‍රහයක්.


සුජාත හෝ අවජාත බව උත්පත්තිය අනුව තීරණය කිරීම මතභේදයට කරුණක්. ඔබ ‘සුජාත දියණී’ නමින් මෙය නම් කළේ කුමන අරුතකින් ද?

සුජාත කියන්නේ ක්‍රියාවක් ලෙසයි මා ගන්නේ. කල්ක්‍රියාව හොඳ දියණියක්, උත්සාහවන්ත දියණියක්, මෙය දිරිය දියණියකගේ කතාවක්. ඇය නිරත වන ක්‍රියාවන් අනුවයි එහි අර්ථය සම්පාදනය වෙන්නේ. දොස්තර හොඳහිත, කූඹිච්චි, දඟර වළිගෙ මේ හැම නමක් ම එහි මුල් නාමයේ මුළුමනින්ම පරිවර්තනයක් නොවෙයි. එය අපේ ජනතාව අතරට ගේන්න අපේ පරිසරයේ තියෙන ලක්ෂණ අපි භාවිත කළා.
තොටවත්තයන් කළ ඒ නාමකරණ මිනිස්සු අතර ඉතා ජනපි‍්‍රය වුණා. මම අර පෙර කියපු සමහර උදවිය මේ ගැන විවිධාකාර මත ඉදිරිපත් කරනවා. ඒ තමන්ගේ නොදැනුම ප්‍රදර්ශනය කිරීමක්.


‘සුජාත දියණී’ අවසන් වූ පසු ඔබේ අලුත් නිර්මාණ වෑයම කුමක් ද?

‘සුජාත දියණී’  අවසන් වෙනවා. ඉන්පසු මම ‘අභීත දියණී’ නමින් නවතම කතා පෙළක් මේ නැරඹුම් කාලයට ම සූදානම් කොට තිබෙනවා. එයත් ජීවිතයට අභීතව මුහුණ දෙන දිරිය දියණියකගේ කතාවක්. ජනතාව එය ඉතා ආදරයෙන් වැලඳ ගනිවී කියන පූර්ව විශ්වාසය මට තියෙනවා.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි