Tuesday, July 16, 2013

ගලිවරුයි වයිටයි දූපතකට පාවෙලා ගිහින් බේරෙනවා.

ගලිවර්ගේ සුවිසැරිය


අපේ තාත්තට රහස් සිතියමක් හම්බවුනා..
ඒකෙ තිබුනේ නිදන් දූපතක් ගැන විස්තර ...
මේ සිතියම තාත්තාගෙන් ලබාගන්න අපි ගමන්කළ නැවේ නියමුවා දඟ දැම්ම...
තාත්තට බොහෝම හිරිහැරකරන්න ආව..
ඔය අතරේ තමයි නැව කුනාටුවකට අහුවුනේ...
නැව සුන් වුනා....
තාත්තට මොනවා උනාද දන්නේ නැහැ ..
මමයි වයිටයි කොහොමහරි පාවෙලා ආව ලිලිපුට් දූපතට ..
ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ...
ඒ අය හිතුවේ මං හතුරෙක් කියල...
ඒ වුනත් කුරුමිටි රජ්ජුරුවෝ උකුස්සගෙන් බේරගත්තුනිසා ඒ අය මාත් එක්ක යාලු උනා..
දැන් ඉතින් මට තියන එකම ප්‍රශ්නේ මගේ තාත්තව හොයාගන්න එක..


උඩ ටික කියවාගෙන යනකොටම ගොඩක් දෙනාට මතක වෙන්නැති අද අපි කතාකරන්න යන කාටූන් එක.මේකත් සිංහල බසින් රසවත් කරලා අපිට දුන්නේ රූපවාහිනියේ ටයි මාමා ඇතුළු පිරිස විසින්.අපේ පුංචි කාලයේ අමතක නොවන මතකයන්ගෙන් එකක් තමයි මේ කාටූන් එක.

ගලිවර් කිව්වම අපේ ඔලුවට ඉස්සෙලම එන්නේ Jonathan Swift විසින් ලියපු Gulliver's Travels පොතනේ.ගොඩක් දෙනෙක් ඒ පොත හරි ඒකෙ සිංහල පරිවර්තන හරි කියවලා ඇති.ඒත් මේ කාටූන් එකනම් ඊට වඩා ටිකක් වෙනස්.මේකේ මුල් නම 
The Adventures of Gulliver.මුලින්ම රූපවාහිනියේ ගිහිල්ල තියෙන්නේ 1968 දි හරියටම කිව්වොත් 1968 සැප්තැම්බර් 14 වෙනිදා .ලංකාවෙනම් නෙමෙයි ඇමෙරිකාවේ ABC-TV චැනල් එකේ.නිෂ්පාදනය කරලා තියෙන්නේ Hanna-Barbera Productions විසින්.1968 ඉඳලා 1970 සැප්තැම්බර් 5 වෙනිදා වෙනකම් කොටස් 17 කින් තමයි කාටූන් එක නිෂ්පාදනය වෙලා තියෙන්නේ.

කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි ගලිවර්ටයි ගලිවර්ගේ තාත්තටයි නිදන් දූපතක් ගැන රහස් සිතියමක් හම්බවෙනවා.ඉතින් තාත්තයි පුතයි නැව් නැගලා නිධානය සොයාගෙන යනවා.අතරමගදි නැවේ කප්පිත්තා වන කැප්ටන් ලීච් ,ඒ සිතියම ගැන දැනගන්නවා.එතකොටම නැව කුනාටුවකට අහුවෙලා විනාශ වෙනවා.ගලිවරුයි එයාගේ බල්ලා වන වයිටයි දූපතකට පාවෙලා ගිහින් බේරෙනවා.මේ දූපතේ තමයි ඉන්නේ ලිලිපුට්ටෝ.ලිලිපුට්ටෝ කියන්නේ කුරුමිට්ටෝ වගයක්.එයාලා ගලිවර්ව අත්අඩන්ගුවට ගන්නවා.කොහොමහරි ගලිවර් පස්සේ ලිලිපුට්ටන්ට උදව් කරලා එයාලත් එක්ක යාළුවෙනවා.ඊට පස්සේ එයාල එකතුවෙලා ගලිවර්ගේ තාත්තව හොයනවා.ඒ අස්සේ කැප්ටන් ලීච් මෙයාලට අංචි අදිනවා.ඔන්න ඔහොමයි කතාව යන්නේ.

පස්සේ කාලෙක ලංකාවට රූපවාහිනිය හදුන්වලා දුන්නට පස්සේ ටයිටස් තොටවත්ත ඇතුළු රූපවාහිනී හඬකැවීම් අංශයේ ඉදිරිපත්කිරීමක් හැටියට අපිටත් සිංහලෙන්ම මේ කාටූන් එක බලන්න පුළුවන් වුනා.ඒ කාටූන් එකට ටයි මාමා නම දාල තිබුනේ "ගලිවර්ගේ සුවිසැරිය" නමින්.මමනම් ඔය කාටූන් එකේ ආසම අර හැම තිස්සෙම "ඕක හරියන්නේ නෑ ....මම කිව්වේ ඕකනම් හරියන්නේ නෑ"කියන ලිලිපුට්ටට.මට නමනම් මතක නැහැ....ඉතින් ඔයාලත් පොඩි කාලේ මේක බලලා සතුටුවෙන්න ඇති කියලා මං හිතනවා.

1 comments:

සතුටුයි මෙම ලිපිය කියවීමට ලැබීම

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි