Wednesday, July 3, 2013

බොරු කියලා කුඩා දරුවන් බය කරන වැඩිහිටියන්ට

බොරු කියලා කුඩා දරුවන් බය කරන වැඩිහිටියන්ට


අද හුඟක් අම්මලා කරන ඉතාම නරක වැඩක් තමයි පුංචි ළමයින්ව බය කරන එක. කෑම කවාගන්න, නිදි කරවාගන්න බැරි වුණාම, අම්මට රූපවාහිනී බලා ගන්න බැරි වුණාම අම්මලා කරන්නේ පුංචි ළමයාව බය කරනවා. නැතිනම් රවට්ටනවා. මේක ඉතාම නරක වගේම, ළමයා ලොකු වුණාමත් එයාට ඒක නරක විදියට බලපාන දෙයක් බව අම්මලා හොඳින් තේරුම් ගන්න ඕනේ.

ළමයින්ගේ තීරණ ගැනීම
පොඩි කාලේ වැදගත්ම දේ තමයි කොයි තරම් දේවල් ඇහුවත්, කළත් ළමයට ඉක්මනටම අමතක වෙනවා. ඒත් ඒ තුළින් හැඟීමක් ලැබෙනවා. ඒ හැඟීම තමයි ළමයා ඉදිරියට අරන් යන්නේ. පොඩි කාලේ ළමයි තීරණ ගන්නේ බුද්ධියෙන් නෙවෙයි හැඟීමෙන්. ඒත් වැඩිහිටි බව තීරණ ගන්නේ කරුණු හා දත්ත මත. ඔබ හැඟීම්වලට බර වෙලා තීරණ ගත්තම පොඩි ළමයි වගේ කියන්නේ ඒකයි. ළමයට ඇහෙන, දකින දෙයින් එයා හැඟීම් ඇතිකර ගන්නවා. පස්සේ ඒවා එයාට අදාළ කරගන්නවා. පවුලේ කෙනකුගේ මරණයකදී වගෙ ළමයා හිතන්නේ ඒක වෙනස් කරන්න පුළුවන් දෙයක් කියලා. එයා බලන කාටුන්වල වගේ පණ එයි කියලා එයා හිතනවා. ඒත් ටිකක් ලොකු වුණාම එයාට ඇත්ත තේරෙනවා. අපි කිව්වොත් මරණය කියන්නේ කවුරු හරි අරන් ගියා, නැඟිටින්න බැරි වෙන්න නින්ද ගියා කියලා ළමයා නිදාගන්න බය වෙනවා. අඳුරට බය වෙනවා. නපුරු හීන දකින්න බය වෙනවා. අපි කිව්වොත් ආපහු එන්නැති ගමනක් ගියා කියලා ළමයට හිතෙනවා මමත් ගමනක් ගියොත් මට ආපහු එන්න බැරිවෙයි කියලා. ඒ නිසා ළමයි රවටන්න හෝ බය කරන්න එපා.

මෙතැන "බය" කියන දේ ළමයට දිගුකාලීනව බලපානවා. ළමයා බිඳවැටෙන්නේ ක්‍රම ක්‍රමයෙන්. මුලින්ම එයාට මානසික ආතතියක් ඇති වෙනවා. ඊට පස්සේ භීතිකාවක් බවට පත්වෙනවා. ඒක ඉතාම භයානකයි. ඔබ හිතන්න ඔබේ දරුවාට යම් සතෙක් අල්ලන්න සිදුවුණා කියලා. එතකොට අපි දැඩි ලෙස ඒක පිළිකුල් කරලා දරුවගෙන් අෑත් වුණොත් ළමයා ඒක මතක් වෙන වතාවක් ගාණේ අත සෝදන්න පුළුවන්. සමහර ළමයි ලේවලට බයයි, ලොකු උසකට යන්න බයයි. එහෙම වෙන්නේ පොඩි කාලේ ඇතිවන බය නිසා.

බය ටික දවසයි
ළමයාව පාලනය කරන්න බය කරන එක කල් පැනගිය දෙයක්. ඒක තාවකාලිකයි. බය නැති වුණාම ළමයා ආපසු ඒකේ යෙදෙනවා. එයාව රවටපු බව තේරුම් ගන්නවා. මත්ද්‍රව්‍යවලින් වළක්වන්න රකුසෙක් කියලා කියන එකත් ඉතාම වැරැදි දෙයක්. මත්ද්‍රව්‍ය කියන්නේ හිස් දෙයක් කියලා තමයි කියන්න ඕනේ. රකුසෙක් කිව්වාම ළමයා බය වෙන්නේ වයස අවුරුදු 11 වෙනකල් විතරයි. ඊට පස්සේ එන යොවුන් විදියේ ළමයා රකුසා එක්ක හැප්පෙන්න යනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය එක්ක හැප්පිලා මත්ද්‍රව්‍ය භාවිත කරන එක වීරකමක් කියලා හිතන්න ඉඩ තියෙනවා.
බය නිසා ළමයා හික්මෙන්නේ නෑ. වරදින් වැළකෙන්නේ නෑ. වෙන අයහපත් ප්‍රතිඵල ලැබෙන එක විතරයි වෙන්නේ.

අඳුර රසවිඳින්න
ඔබ කිසි විටක ළමයාව බය කරන්න අඳුර භාවිත කරන්න එපා. අඳුර ළමයා රසවිඳින දෙයක් බවට පත්කරන්න. රෑ අහස, තරු සඳ, රෑට පිපෙන මල් වගේ දේවල් ඊට යොදාගන්න. එතකොට ළමයා පස්සේ ගවේෂකයෙක් වෙනවා. හොල්මන්, අවතාර තියෙනවා කියලා ළමයාව බය කළොත් ළමයා වැඩිහිටි කාලෙදිත් රෑට එළියට බහින්න බය වෙනවා. ළමයාගේ මනස චංචල වෙනවා. ඔබ සම්පූර්ණයෙන් ඊට වගකිව යුතුයි.

ඒ වගේම පොලිසිය, චණ්ඩි මාමලා, මහත අය, බඩ තියෙන අයව පෙන්නලා ළමයාව බය කරන්න එපා. එතකොට ඒ ලක්‍ෂණ තියෙන හැමෝවම ළමයා ප්‍රතික්‍ෂේප කරනවා. අනෙක් කරුණ තමයි අවු. 11න් පස්සේ ළමයා ඇත්ත තත්ත්වය වටහා ගන්නවා. එතකොට එයා ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. අපේ අම්මා අපිව රැවටුවා කියලා පසුතැවෙනවා. අම්මා එක්ක කේන්ති ගන්නවා.

ශබ්දවලින් බය කරනවා
ඔබ කරන අනෙක් වරද තමයි විවිධ ශබ්දවලින් කුඩා ළමයව බය කරන එක. ඒකත් මානසිකව බලපානවා. ළමයින්ට හැම දේම ප්‍රශ්නයක් තමයි. ඒකයි ළමයා කියන්නේ. සතෙක් දැක්කම ළමයට ඒක ප්‍රශ්නයක්. ජිරාෆ් දැක්කම ළමයා අහනවා ඇයි ජිරාෆ්ගේ බෙල්ල දිග කියලා. එතකොට අම්මා දන්නෙනැති නිසා හරි මඟහරින්න හරි කියනවා ජිරාෆ් බොරු කියපු නිසා බෙල්ල දික්වෙලා කියලා. ළමයි ඊට පස්සේ අනියත බියකින් පසුවෙනවා. ඒක ඉතාම හානිකර දෙයක්.
ඔබ කල්පනා කරලා බලන්න දවසකට කී වරක් ඔබ ළමයව බය කරනවද කියලා. ළමයා නිදාගන්නැති වෙලාවට, කෑම කවාගන්න අමාරු වුණාම, හෙමින් වැඩ කරනකොට, නාවන්න අමාරු වෙලාවට, ළමයා ලොකු කතා කියාගෙන එන වෙලාවෙදි, ඉස්කෝලේ යන්න බෑ කිව්වම. මේ වගේ හුඟක් අවස්ථාවලදී ඔබ ළමයාව කෙතරම් බය කරනවද?

බය කිරීමෙන් ඇති වෙන්නෙම ඍණාත්මක ප්‍රතිඵල විතරයි. ධනාත්මක ප්‍රතිඵලයක් ඇති වුණත් ඒක තාවකාලිකයි. ඔබ මේ විදියට ළමයාව පාලනය කරගන්න බය කිරීම නිසා ළමයා පසුකාලීනව විශාල ගැටලු ගණනාවකට මැදි වෙනවා. ළමයා පස්සේ බොරු කියන්න පටන්ගන්නවා. හොරකම් කරන්න පෙලඹෙනවා. සමාජයට නැතිනම් පිරිසක් ඉදිරියේ මුහුණ දෙන්න බැරි ලැජ්ජාශීලී අයක් වෙනවා. නිතර නියපොතු හපනවා, නාසය අතගාලා කටේ දානවා. මේ වගේ ළමයාගේ සාමාන්‍ය හැසිරීමේ විකෘතිතා ඇතිවෙන්න පුළුවන් බය කිරීම නිසා.

ඉගෙනීමට දුර්වල වෙනවා
ඒ වගේම තමයි ළමයාගේ ඉගෙනුම් දුර්වලතා ඇති වෙන්නත් හේතුවක් වෙන්නේ නම් මේ බය කිරීම. එතකොට ළමයාගේ ගවේෂණය අඩු වෙනවා. නිර්මාණශීලී වෙන්නේ නැහැ. තර්කානුකූල නැති වෙනවා. නිරීක්‍ෂණයට යන්නේ නෑ බය නිසා. ඒ වගේම ළමයා පසුබට වෙනවා. ඒවටත් හේතුව වෙන්නේ ළමයාව කුඩා කාලයේ බය කිරීම.

ඊටත් අමතරව ළමයා සමාජයත් එක්ක ගනුදෙනු කරන විධියේ ගැටලු ඇති වෙන්න පුළුවන්. පවතින සමාජයට අනුව ළමයා යන්නේ නැහැ. සාමාන්‍ය ආකාරයට අනෙක් අයත් එක්ක කටයුතු කරන්න බැරි වෙනවා. හුදෙකලා වෙනවා.
මේ ආකාරයේ ළමයි ඔබටත් ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට හිතෙන්නෙ පුළුවන් බය කළාම කොහොමද ළමයා නියපොතු හපනවා වගේ දේවල් කරන්නේ කියලා. ඒත් ඇත්තටම මනෝවිද්‍යාත්මකව ළමයා ඒ තත්ත්වයට පත්වෙන්නේ කුඩා කාලයේ බය කිරීම නිසා.

ළමයට තේරුම් කරන්න
ඒ නිසා ඔබ ළමයාව යම් දෙයකින් වළක්වන්න බය කරනවා වෙනුවට වෙනත් විකල්පයක් තෝරා ගන්න. ඒ සඳහා ළමයාට තේරුම් කරලා දෙන්න පුළුවන් ළමයාට තේරෙන සරල විදියට සරල දේවල් උපයෝගි කරගෙන. අවුරුදු 7 දක්වා ළමයකුට ඉක්මනින්ම 5න් 1ක් අඩු කරන්න අමාරුයි. ඒත් අපි ගල් කැට 5ක් දීලා ඒකෙන් එකක් අඩු කරන්න කිව්වොත් ළමයා උත්තර 4 බව දැනගන්නවා. ඒක එක උදාහරණයක් පමණයි. ළමයාට යමක් තේරුම් ගන්න අපි පහසු කරවන්න ඕනේ. ළමා කතන්දර, ළමා නිර්මාණ වගේ දේවල් ඒකට උදව් කරගන්න පුළුවන්. ඉස්සර "බටකොළ ආච්චි" වගේ කතාවලදි ළමයට තේරුම් යනවා එයා නරක චරිතයක්, ඒ වගේ දේවල් නරක වැඩ කියලා. ඒත් අද තියෙන බෙන්ටෙන්, සුපර්මෑන් වගේ කාටුන්වලින් ඒ දේ සිදුවන්නෙ නැහැ. ඒ කාටුන්වල තියෙන්නෙ සම්පූර්ණම ප්‍රචණ්ඩත්වය. මිනී මැරුම්, පහරදීම් වගේ දේවල්. "බටකොළ ආච්චි" වගේ චරිතයක් ළමයා කිසි විටෙක තමන්ට ආරූඪ කරගන්නේ නැහැ. ඒත් බෙන්ටෙන්, සුපර්මෑන්, ස්පයිඩමෑන් වගේ චරිතවලදි ඒ ප්‍රචණ්ඩත්වය තියෙන චරිතය එයා ආරූඪ කරගන්නවා. ළමයා හිතන්නේ මං තමයි බෙන්ටෙන් කියලා. එහෙම හිතලා එයා ගෙදර අයටත් පහර දෙන්න හදනවා. හුඟක්ම රෙස්ලින් වගෙ වීඩියෝස්, ගේම් ළමයින්ට ඉතාම අහිතකරයි.

මේ නිසා ළමයින්ගේ ඉන්ද්‍රියන්වලට ගෝචර වන විදියට ඉතාම සරලව යමක් තේරුම් කරන්න ඕනේ. අවුරුදු 11 දක්වා කාලය තුළ කිසිම විදියකින් ළමයාව බය කරන්න එපා. අපි ලේසියට අපේ වැඩකර ගන්න. ළමයාව පැත්තකට කරලා තියන්න බය කරනවා තමයි. ඒත් ඒක ළමයාට ඉතාමත්ම අහිතකරයි.

වසන්ත හේරත්,
සම්බන්ධීකරණ නිලධාරි
අධ්‍යාපන දෙපාර්තමේන්තුව - වයඹ


රජිත තාමර

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි