Monday, July 1, 2013

‘රේඩියෝ දඹාන’ට ගිය ගමනක රස බර තොරතුරු...

වැදි ජනතාව ඉල්ලන්නෙත් ජෝතිගේ සින්දු

‘රේඩියෝ දඹාන’ට ගිය ගමනක රස බර තොරතුරු...


පාන්දර යාමෙ කොළඹින් පිටත් වෙච්චි අපි ගමනාන්තයට ආවෙ තවත් පැය හත අටක්ම ගෙවා දමල.
ගිරාඳුරුකෝට්ටේ මහවැලි පරිශ්‍රයේ පිහිටි ‘රේඩියෝ දඹාන’යි, අපේ ගමනාන්තය. විකාශය ඇරැඹෙන්නට සුළු වෙලාවක් ඉතිරිව තිබියදී හෝ එන්නට ලැබීම මොන තරම් දෙයක් ද? හිතට දැනෙන්නෙ සතුටක්.
වෙලාව හවස තුනයි. අපිට යන්න වෙනව මැදිරියට.
පිරිත් සජ්ජායනාවෙන් පසු ඇහෙන ආදිවාසී උරුමයේ ගීතය නම් තරමක් හුරුයි වගේ. ‘තෙන් තෙදිනානේ... තෙදි නානේ...’ සමූහයක්ව ගයන මේ ගීය ඇත්තටම ඔවුන්ගෙ ජාතික ගීය.
“අනූපහමයි දසම හතර මෙන් තොපන්නෙ කන් රුකුලට මන්දො වෙන්නෙ දඹානෙ කතා දමන යමකෙ හද්ද පොජ්ජ. තොපං හොඳ වාගේ ඉඳ තබන්ඩ පෑ තුනමක් මේ ඇත්තොත් එක්ක. තැනෙකින් වෙලා පොජ්ජ තුනමයි විනාඩි දහයමයි...”
නායක වන්නිලැත්තන්ගේ සාකච්ඡාවක් පටිගත කරන සමිත
නිවේදකගෙ ආරාධනය ඔබට තේරුණ ද මන්ද...
“හිතවතුනි, එෆ්. එම්. 95.4 න් ඔබේ දෙසවනට මේ ඇසෙන්නේ ‘රේඩියෝ දඹාන ’ හඬයි. හොඳින් සවන් යොමා මේ පැය තුන මා හා රැඳී ඉන්න. ඔබටත් ආරාධනා කරනව. වෙලාව දැන් හවස තුන පසු වී විනාඩි දහයයි...”
ආදි වාසි බසින් අමතන නිවේදකමයි තේරෙන සිංහලෙනුත් ඒ ටික කියන්නෙ. කතා දමන යමෙක යනු රේඩියෝව. ගී - කවි කොයිකත් ආදිවාසින්ට කවිතැනවල්.
මෙපමණ වෙලා ටීී. ඒ. හෙවත් තාක්ෂණික සහය වැඩේ නියැලී හුන් සමිතමයි දැන් නිවේදක. ඔහුගෙ සහයට උදේනි අයිරාංගනී නිවේදිකාව. ඈ තවමත් උසස් පෙළ සිසුවියක්.
තාක්ෂණික මැදිරියත් නිවේදක මැදිරියත් වෙන් වන ලොකු වීදුරුවක්. මැදිරි දෙකෙහිම අය මුහුණට මුහුණලා අසුන්ගෙන. හැරෙන්නවත් ඉඩ නැති මේ හුණ්ඩු මැදිරියට අද අපිත් රිංගාගෙන.
නිවේදක මැදිරියෙ වහලෙ වේයන්ගෙ රජ දහනක් බව දැක්කෙ අහම්බයකින්. බොහෝ ගැහැට මැද පවත්වාගෙන යන ලකුණුයි, හැම තැනෙම.
අරුණසිරි ජයවික්‍රම රේඩියෝ දඹානෙ පාලක විතරක් නෙවෙයි, විටෙක නිවේදක. විටෙක උපදේශක. ඒ කාමරේට - මේ කාමරේට එමින් - යමින් ඔහු නිවේදකට තාක්ෂණ ශිල්පී දරුවන්ට උපදෙස් දෙනව. අඩුපාඩු කියා දෙනව. ළමා වැඩසටහනකට ආ දරුවන් මෙහෙයවනව. අපි එක්ක කතාවත් ඒ අතරෙමයි.
තොරතෝංචියක් නැතිව නන් දොඩවන එක බාසාවක්වත් හරියට බැරි, අර එෆ්එම්-මේ එෆ්එම් ගිරා පෝතක නිවේදක - නිවේදිකාවන් කොයි කවුරුත් දඹාන රේඩියෝවට ගෙනැවිත් පුහුණුවක් දුන්න නම් හොඳයි කියල දහස්වර මට හිතුණා.
ඒ, ආදි වාසි සම්භවයක් ඇති සමිත මෙහි නිවේදන කටයුතු කරන අපූරුව දැකල. ආදි වාසි බසටත් වඩා ඔහු සිංහල බස වහරන අපූරුව...
ජවයෙන් - ජීවයෙන් - ආකර්ෂණයෙන් පිරුණු ඔහුගෙ හඬ නිවේදකයකුටම ගැළපෙන්නක්.
“බොහොම දක්ෂයෙක් කියල දඹානෙ ගුණවර්ධන තමයි සමිත මෙහාට එක්ක ආවෙ. ඇත්තටම සමිත දඹානෙන් මෙහෙ එනකොට කම්පියුටරයක් - මවුස් එකක් අල්ලලාවත් තිබුණෙ නැහැ.
අවුරුදු දෙකක් තිස්සෙ, හිටපු අයගෙන් මගෙන් අහගෙන ඉගෙන ගෙන අද එඩිටින් - රෙකෝඩින් විතරක් නෙවෙයි, ටෙක්නිකල් ඇසිස්ටන්ට් කෙනෙකුගෙ කාරියත් බොහොම හොඳට ඉටු කරනව. එකම දුක මේ ළමයින්ට පඩියක් තබා බස් වියදමවත් දීගන්න බැරි එක...”
යමින් - එමින් ගමන් පාලක තුමා කියන්නෙ අගක් මුලක් හිතා ගන්න බැරි කතාවක්. ඒ කතාව විමසන එක මොහොතකට පමා කරන්න වුණේ අපූරු බමර ගීයක් වාදනය වෙච්චි නිසා.
සමිත - ප්‍රියන්ති වැඩසටහනක් මෙහෙයවමින්. උදේනි සහ ප්‍රියදර්ශනීත් වැඩසටහනට සූදානමින්
‘වෙල ඉස්මත්තේ වෙද බමරුන් ඇත්තේ...
හෝ ගානා සද්දේ - අහපන් උඩ බැද්දේ...’
“තොපන්නෙ කං රුකුලට මන්දො කරගත්තෙ මේ ඇත්තන්ගේ ගං පොජ්ජේ කවි තැනක්. මේ වාගේ කවි තැනවල් හිත්ලාගන්ඩ හිඳින්ඩ. තොපන් ඇත්තොත් මේ තැනට කතා දමන්න. මේ තොපන් ඇත්තන්ගෙ කතා දමන යමකේ...”
“ඔබට ඇහුණු ඒ ගීතය මේ බිංතැන්නේ ජීවිතය ගැන. ඔබටත් පුළුවනි අපිට කතා කරන්න. ඒ තැපැල් පතකින් හෝ දුරකතනයෙන්. රැඳී ඉන්න. මේ ඔබේ රේඩියෝවයි...” සමිත යළි පැහැදුවෙ මහවැලි ජනපදයෙ සිංහල ශ්‍රාවකයන් වෙනුවෙන්.
“හොඳයි පුංචි දුවේ පුතේ මේ ආරම්භ වන්නේ ළමා ඔබේ අඩපැයයි...”
උදේනි අයිරාංගනී ළමා වැඩසටහන අරඹලා. ආදිවාසි යුවතියන් දෙදෙනෙකුත් අද ළමා වැඩසටහනේ සහායට. ඒ පි‍්‍රයන්ති සෙනෙවිරත්න නෑනි සහ ඌරුවරිගේ සබීතා පි‍්‍රයදර්ශනී නෑනි. දෙහිගොල්ල මහ විදුහලේ 13 වැනි වසරෙ ඉගෙන ගන්න පි‍්‍රයන්තිගෙ අම්මා ඌරුවරිගෙ මුතු මැණිකා. තාත්තා නම් සිංහල ඇත්තෙක්. යූ. ඩබ්ලිව්. සෙනෙවිරත්න. අයියල තිදෙනෙකුත් අක්කෙකුත් ඉන්න පවුලෙ ඈ බඩපිස්සී.
ඌරුවරිගෙ සබීතා පි‍්‍රයදර්ශනී, දඹානෙ සහ දෙහිගොල්ල පාසලේ උගෙන පේරාදෙණිය සරසවියේ බාහිර උපාධි හදාරන්නී, ගුවන් විදුලි සන්නිවේදනයට මහත් ඇල්මක් දක්වමින්. ඈ සරසවි අවසන් වසරේ.
හොඳින් උගෙන ආදි වාසි සමාජයෙන් ඈත්වෙන්නද දෙන්නම හිතන්නෙ... මට අහන්නම හිතුණා.
“අපෝ නැහැ. අපේ දේ රැකගෙන ලෝකෙත් එක්ක ඉස්සරහට යන්නයි අපිට ඕනෙ. කොළඹට අපි කොහෙත්ම කැමැති නැහැ. ඔය මෝස්තර අපිට හරි අපහසුවක්. විවාහ වෙන්නෙ සිංහල අය එක්කද අපේ අය එක්කද කියන එකත් ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අපේ අම්මල - තාත්තල පවා මිශ්‍ර අය. ආණ්ඩුවෙ රස්සාවක් කරන්නයි අපි ඉගෙන ගන්නෙ. අපේ ගුණවර්ධන සර් වගේ...”
ඒ ඔවුන්ගේ පැතුම.
අපූරු ළමා ගීයක් ඇහුණෙත් ඔය ඇල්ල - පනල්ලෙමයි.
‘අම්මිලැත්තෝ - අම්මිලැත්තෝ - අම්මිලැත්තෝ...
අල්ලා... දියන් මල් බැත්තෝ
උඩින් උඩින් මංගච්චන්නං
බුච්ච බුච්ච මංගච්චන්නං...’
මං පි‍්‍රයන්තිගෙන් මේ ගීයෙ තේරුම ඇහුවා.
“අම්මේ අම්මේ මට අල්ලා දෙන්න
අර උඩින් උඩින් පියඹලා යන
සමනල්ලු රංචුන්ගෙන් එකෙක්...”
බුච්ච බුච්ච කිව්වේ රංචු රංචු කියන එක...
ළමා ගීයෙන් පස්සෙ පාසල් ළමයින් එවූ ගීත ඉල්ලීම් කියවනව.
මැදිරිය තුළ උපදෙස් දෙන පාලක ජයවික්‍රම සහ නිවේදිකා යසෝ මැණිකේ
“කවි තැනක් මන්දො කරගන්න මේ තැනට කරුකුරු ගව්වන රුකුල් පොජ්ජෙන් ඉල්ලුම් පොජ්ජ මන්ද කර තිබෙනව. ‘කැකුලි නඟා’ කවි තැනට උල්හිටිය කරු කුරු ගව්වන රුකුල් පොජ්ජේ කැකුලු - කැකුලියෝ - මං පි‍්‍රයන්ති නෑනි...”
“පාසල් යන නංගිලා - මල්ලිලා ගීත ඉල්ලීම් කිහිපයක් එවල තියෙනවා. විශේෂයෙන් උල්හිටියාව පාසලේ (කරු කුරු යනු පාසලයි) නංගිලා මල්ලිලා ඉල්ලා එවූ කැකුලි නඟා ගීතයයි මේ... මම පි‍්‍රයන්ති අක්කා...”
මාරුවෙන් මාරුවට කතා දමන පි‍්‍රයන්තිලගෙ - සබීතලගෙ අපූරුව බලා ඉන්න ආස හිතෙන තරම්. සමිත්ගෙ වගේම පාලක තුමාගෙ උපදෙසුත් මේ අයට නිබඳ ලැබෙන්නෙ නිවේදන කලාවට - භාෂාවට අදාළ යම් යම් තැන්වලදි.
මහවැලි ඇසුරේ අපේ රටේ පිබිදුණු ගොවි ජීවිතවල ස්වර්ණමය යුගයකයි, ගිරාඳුරු කෝට්ටේ ප්‍රජා ගුවන් විදුලි සේවය ඇරැඹුණේ. ඒ මහවැලි ගොවි ජනතාව වෙනුවෙන්.
1985 මැයි 31 වැනිදා ප්‍රජා ගුවන් විදුලිය ගමට ආවෙ අත්හදා බැලීමේ විකාශයක් විදියට. ඒ අවුරුද්දෙම සැප්තැම්බරයෙ, විසි හැවිරිදි මහවැලි ගොවි දුවක් ගුවන් විදුලියෙ සේවයට බැඳෙනව. ස්වේච්ඡා නිලධාරිනියක් ලෙස. ඈ යසෝ මැණිකේ හේරත්.
“ඒ කාලෙ පැයයි විකාශන කාලය තිබුණෙ. ආදිවාසින් වෙනුවෙන් පැය කාලක් තිබුණා. ඒ කාලෙ උදේ අටට ආවම අපි ගෙදර යන්නෙ රෑ අටට. කට්ට කරුවලේ. ඒ තරමට වැඩ. ගොවින්ටත් මහා සෙතක් සැලසුණා. ගුවන් විදුලි සන්නිවේදනයට තිබුණු ආසාව නිසාමයි තවමත් මේ ස්වේච්ඡාවෙන් එන්නෙ...”
වාර ගණනාවකදී සේවය ස්ථිර කරන්න හෝ සහන නිවේදක පදනම මත බඳවා ගන්න ඉල්ලීම් කළත් ගෙවී ගිය විසි පස් අවුරුද්දටම ඇයට නෙවෙයි, ඒ වාසනාව ලැබුණෙ.
විටෙක යසෝ නිවේදිකාව. විටෙක තාක්ෂණික සහයිකාව. ලියකියවිලිවල වැඩ විතරක් නෙවෙයි, විටෙක ප්‍රවෘත්ති - සිදුවීම් වාර්තා කාරිණියත් ඈ. ගුවන් විදුලි ජීවිතයෙන් ලද තෘප්තිය - පන්නරය හැරෙන්නට විවාහයත් - ස්ථිර රස්සාවක් කියන මනුෂ්‍ය ජීවිතයෙ අත්‍යවශ්‍ය කාරණා තවමත් ඇයට ඉටු නොවුණු හීන.
ආදි වාසී තරුණයකුගේ අදහස් පටිගත කරමින්
වර්ජන - පඩි වැඩිවීම් කිසිවක් වෙනුවෙන් කෑ නොගසන ඈ, අදත් ගුවන් විදුලියට පා තබන්නෙ හිතේ සතුටෙන්. ප්‍රජා ගුවන් විදුලිය ‘රේඩියෝ දඹාන’ වෙද්දිත් ඈ මෙහි සේවය කරන්නෙ ඒ නිසා.
පළපුරුදු ප්‍රවීණයකු විසි පස් වසරක්ම ස්වේච්ඡා තනතුරක හිදීමේ වරද කොතැනකද කියල මං ආයෙ ආයෙ හිතුවා.
“ඇත්තටම මේ ප්‍රජා ගුවන්විදුලිය මෙතෙක් කාලෙකට ලාබයක් නොඉපයූ - සේවයක් පමණක් සැලසූ ආයතනයක්. ඒ නිසාම හැම වෙලාවෙම ලැබුණෙ අඩු තක්සේරුවක්. සේවකයන් 14 දෙනකු හිටි තැනක් මේක. අද මං විතරයි ස්ථිර සේවකයකුට ඉතිරිවෙලා ඉන්නෙ. නායක හාමුදුරුවො, එම්. එම්. ජැක්සන් මහත්මයා, රුවන් ප්‍රසන්න, චන්දන, කමල්, ආදිවාසි නායක තුමා වගේම යසෝලා - සමිතලා වගේ අවංකවම ගුවන්විදුලියට ආදරේ කරන පිරිසක් ඉන්න හින්දා ලාබයක් උපයන ආයතනයක් කරන්න අපිට පුළුවන් වුණා. ඒ මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ‘රේඩියෝ දඹාන’ ලෙස ප්‍රතිසංවිධානය කරල මාසයක් යන්නත් ඉස්සර... මේ හැමදේම කරන්න පුළුවන් වුණේ ගරු සභාපති තුමාත් ප්‍රාදේශීය සේවා බාර නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමාත් දීපු අත්වැල නිසා.”
මොන තරම් හොඳද...
ජයවික්‍රම පාලක තුමා කියන ඔය කාරණාවට තවත් යමකු එකතු කළේ, ගිරාඳුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයෙ අධිපති ධර්මෝදය පිරිවෙණේ පරිවේණාධිපති ශාසන කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත මතුරට නාපිටවල ධම්මානන්ද හාමුදුරුවෝ.
“මහවැලි පටන් ගත්තු කාලෙ ඇරැඹුණු හුඟක් සම්පත් මෙහෙන් යන්න ගියා. ලක්සලක් තිබුණා. සළුසලක් තිබුණා. ට්‍රැක්ටර් සංස්ථාවක් තිබුණා. අද ඒ කිසි දෙයක් නෑ. ඒ කාලෙ පටන් පණ ඇද ඇද වගේ තිබුණෙ ප්‍රජා ගුවන් විදුලිය විතරයි. ඒකත් වැහෙන තැනට කටයුතු වෙනකොට තමයි ජයවික්‍රම මහත්තයා මගෙන් ඉල්ලීමක් කළේ.
‘පන්සල් වත්තෙ තියෙන සන්ටෙල් කුලුනේ අපි රේඩියෝ ඇන්ටනාව ගහමු හාමුදුරුවනේ, මට උදව් කරන්න කියල.
පෞද්ගලික ආයතනයක් වුණත් මේ කටයුත්ත කරන්න සන්ටෙල් සමාගම ඉදිරිපත් වුණා. ඒකෙන් වැහෙන්න ගිය ගුවන් විදුලිය රැකුණා. ගමට සෙතක් වුණා. දැන් අපූරුවට අහල ගං හතකට එහා ඇහෙනව. පෝය වැඩසටහනත් කරගන්න බැරුවා වගේ අඩුපාඩුකම් තියෙනවා. ඒවත් හදාගෙන ඉදිරි මාස දෙක තුනේදී ගුවන්විදුලිය ලොකු දියුණුවක් ලබන බව නම් සහතිකයි. යසෝල - ජයවික්‍රම මහත්තයල වගේ රස්සාවට ආදරේ කරන උදවිය ඉන්නකල් මේ වගේ තැන් වැටෙන්නෑ...”
දඹාන රේඩියෝවත් හරියට ගල් කුළුවල හැපි, හැපී, හැඩවෙවී ගලන මහවැලිය වගේ, ගැහැට විඳ විඳ ඉදිරියටම යනව. වටිනාකමත් ඒකමයි කියලයි ජයවික්‍රම කියන්නෙ.
“ඒ කාලෙ මේ ප්‍රජා ගුවන්විදුලිය පටන් ගත්තෙ හවස පහට. හේනට කුඹුරට ගිය ගොවීන් නා - කියාගෙන ගෙදර පිල්කඩ උඩ වාඩිවෙලා ඉන්න වෙලාව. බැටරි කෑලි දෙකක් දමාගෙන රේඩියෝව හවස හේනට ගෙනියන්නත් මිනිස්සු අමතක කළේ නෑ. ප්‍රජා ගුවන්විදුලිය ගමේ අයගෙ හිතවතෙක් වගේ. හරකා නැතිවුණත් දුවගෙන ආවෙ මෙතැනට. හරකගෙ හණ නිවරණය කරපු අංකෙත් කියනව. පාටත් කියනව. හැඳුනුම්පත නැති වුණත් ගම්මු දුවගෙන ආවෙ මෙතැනට.
බිරිඳ තරහ වෙලා ගියත් එහෙමයි. ‘අනේ මගේ අතින් වරදක් වුණේ සමාවෙලා ගෙදර වරෙල්ලා...’ කියල එයාලම කියනව. පහුවැනිදට පවුල ගෙදර ඇවිත්. මැලේරියා බේත් ටික, ත්‍රිපෝෂ ටික දෙන දිනේ කියන්නෙත් ගුවන් විදුලියෙන්. යම් තැනෙකදි ආයතනයකදී අසාධාරණයක් වුණත් කවි කොළයක් ගහල අරගෙන ඇවිත් ඒ අසාධාරණේ කවියෙන් කියනව.
බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති, මතුරට නාපිටවල ධම්මානන්ද හාමුදුරුවෝ
ඇත්තටම මේවා මහජන සේවා ගුවන් විදුලියක ලක්ෂණ. පත්තරයක් කියවගන්න බැරි, රූපවාහිනියක් නැති ගොවියාට හේන් ගොවියාට ගමේ ගුවන්විදුලිය ප්‍රබල මාධ්‍යයක්. ලංකාවෙන් මධ්‍යම තරංග ඉවත් වෙනවත් එක්ක ශ්‍රවණ තත්ත්වය දුර්වල වුණා.
එහෙම නම් වැඩි ධාරිතාවක් තියෙන විකාශන යන්ත්‍රයක් ගේන්න ඕනෙ. එහෙමත් නොවුණු තැන ගුවන් විදුලිය මිනිසුන්ගෙන් ඈත් වුණා. ඒත් දැන් සන්ටෙල් කුලුනට පින් සිද්ධ වෙන්න, නිල්ගල, රතුගල, හෙනානිගල, පොල්ලෙබැද්ද. දලුකාන, කියන හැම ආදිවාසි ගමකටමත් උතුරු මැද, අම්පාර, ඌව සහ මධ්‍යම පළාත් වල කොටසකටත් මුළු මහවැලි සී කලාපයටත් රේඩියෝ දඹාන ඇහෙනව.
දඹාන හැර සෙසු ආදිවාසී ගම්මානවල අයව තවම අපිට වැඩසටහන්වලට සම්බන්ධ කරගන්න බැරි එකම වාහනයක්වත් අපිට නැති හින්ද.
කොහොම වුණත් ආදිවාසී නායකයගෙ කැමැත්ත පරිදියි ඔවුන්ගෙ මේ වැඩසටහන් සකසන්නෙ. ගම්වල රැස්වීමක් තබන්න අවශ්‍ය හැම දවසකම ආදිවාසී නායකයා පණිවුඩයක් රෙකෝඩ් කරල එවනව. අහන්න මේ පණිවුඩේ...”
අපි මේ අහන්නෙ නිල්ගල ගම්වාසීන්ට නායක වන්නිලැත්තො රැස්වීමකට එන්න කියාපු විදිය.
“මේ ඇත්තො කතා දමන්නෙ මේ ඇත්තන්ගෙ වරිග පොජ්ජෙ මිනිග්ගජ්ජුන්ඩ. ලබන හඳුදා දවස් පොජ්ජේ උදේ කාල මැච්චෙ නමයමට නිල්ගල පෝරුවෙ ඇත්තො, මේ ඇත්තන්ගෙ රුකුල් පොජ්ජෙ කතා පොජ්ජ මන්දො කරල තිබෙනව. මේ පණිවුඩ පොජ්ජ තම රුකුලට මන්දො කරන හැම වන්නිලැත්තෙකුටම මේ තැනට ගාටන්ට කියල කතා දමනව...”
ආදිවාසී ජනයාගෙ යහපත හැම වැඩසටහනකදිම ප්‍රමුඛ වෙනව කියලයි ජයවික්‍රම තවදුරටත් කියන්නෙ.
කැලණිය විශ්වවිද්‍යාලයෙ ජනසන්නිවේදන විශේෂවේදී උපාධිධාරියකු වන අරුණසිරි ජයවික්‍රම, සිය බිරිය වූ ගිරාඳුරුකෝට්ටේ මහ විදුහලේ ඉංග්‍රීසි ගුරුවරියක වන චිත්‍රා රමණී සහ නිර්මාණි, ජනනී, නර්මදා දූලා තිදෙනත් එක්කමයි මෙහි පදිංචිව සිටින්නෙ.
වැහෙන්න ගිය ගුවන් විදුලිය ගොඩ ගැනීමේ නිරාමිස සතුට ඔහු නිබඳ අත්විඳිනව.
“ගුවන් විදුලි මාධ්‍යයේ තියෙන සුවිශේෂී බව හඳුනාගත් මාධ්‍යවේදීන් ඉන්න කල් මේක කඩා වැටෙන්නෑ...”
එය ඔහු ජීවිතේට තේමාවක් කරගෙන.
කොහොම වුණත් හිතට ගත්තු ළපැටි ගිරි නිවේදකයො කැඩිච්චි ඉංගිරිසි - සිංහල කළවම් කරපු අපබ්‍රංස බාසාවකින් ශ්‍රාවකයො මුළා කරද්දී, සමිතල වගේ සැඟව හිඳින දක්ෂ තරුණයො ඒ රාජකාරියට නිවැරැදිව ඉටු කරන්නෙ දුක් මහන්සියෙන් උගෙන. අව් කූටකේ පයින් ගාටල සත පහකවත් දීමනාවක් නොලබාම. නොලැබෙන එක දුකක් වුණත් ලැබුණු දේ ගැන කෘතවේදී වෙන්න තරම් ඔවුන් ගුණ යහපත්.
“උසස් පෙළත් ඉවරවෙලා නිකම්ම වැඩ කරන එක හිතට දුකක් තමයි. ඇත්තටම දඹානෙ ඉඳන් මෙහෙ ඇවිත් යන්න දවසකට රුපියල් 110 ක් යනව. නොකා නොබී හරි සිකුරාදාට අම්මයි තාත්තයි බස් ගාස්තුව දෙනව. කිලෝ මීටර් 70 ක් ගෙවා ගෙන මේ එන ගමන හරිම දුෂ්කරයි. ඒත් මං හුඟක් දේ ඉගෙන ගත්තා.
කොළඹ ගිහින් ගුවන් විදුලි පාඨමාලාවක් හැදෑරුව නම් විසි තිස් දහසක්වත් ඕනෙ. දැන් මට පුළුවනි තනියම ජින්ගල් හදන්න. එඩිට් කරන්න. කොටින් ම මැදිරිය ඇතුළේ වෙන හැම රාජකාරියක් ම සර්ල අපිට උගැන්නුවා. මාත් එක්ක අපේ කණ්ඩායමේ තරුණ ළමයි අට දෙනෙක් ඉන්නව. තව හුඟක් දක්ෂ අය දඹානෙ ඉන්නව. ඒත් හැමෝගෙම ප්‍රශ්නෙ මෙච්චර දුරක් ගෙවාගෙන ගිරාඳුරුකෝට්ටේ එන්න බස් වියදම හොයා ගන්න එක... මොන දුක විඳල හරි මේ රටේ දක්ෂ නිවේදකයෙක් වෙන එකයි මගෙ හීනෙ...”
ඇත්තටම සමිත වගේ කෙනෙක්, ගුවන් විදුලි - රූපවාහිනි නාලිකාවකට සම්පතක්.
දඹානේ ජීවිත
මෙතැනින් ඉදිරියට යන්න කවුරු හරි අත දෙනව නම් සමිත දවසක අපේ රටේ දක්ෂ නිවේදකයෙක් වේවි. සුලෝචන, දුෂාන්, ඉෂාර, හසිත සහ කශ්‍යපත් නිවේදනයෙන් තාක්ෂණික සහයෙන් රේඩියෝ දඹාන හැඩ කරන සෙසු පිරිස.
මේ හුඟ දෙනෙක් පාසල් යන අය. ගුවන් විදුලි සන්නිවේදනයට ඇති ආසාවටම ආවට - වැඩ කළාට බස් වියදමටවත් ප්‍රතිපාදනයක් නොමැති කමයි හුඟ දෙනෙකුගෙ ගැටලුව. රේඩියෝ දඹාන ලාබ ලබන ආයතනයක් කරගන්න මේ හැමෝම වෙහෙසෙන්නෙත් ඒ නිසා.
හැමදාමත් සිකුරාදා හවස තුනේ හිටන් හය දක්වා ආදි වාසීන් වෙනුවෙන් වෙන් වන පැය තුනේදී ජෝතිපාල - මිල්ටන් - ලතා - ඇන්ජලීන්ලගෙ ගීත ඉල්ලීම් අනන්තවත් ලැබෙනව. ආදි වාසි ළමා ගී, පේ‍්‍රම ගී, විරහ ගී වගේ ම වන්නිලැත්තන්ගෙ පණිවුඩ, සාකච්ඡා ඇතුළත්. මේ දේවල් පටිගත කරගන්න දඹානෙ සමිතගෙ ගේ ළඟ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර එහායින් පිහිටි කොටබකිණිය ගමට යන්නෝ නෙ ආදිවාසි නායක වන්නිලැත්තො මුණගැහෙන්න.
ගිරාඳුරුකෝට්ටේ ඉඳන් පහුවදා අපිත් මේ යන්නෙ කොටබකිණියට. සමිත කිලෝමීටර් දෙකක් පයින් ම ඇවිත් වැඩ පටන් ගෙන. ලබන සිකුරාදාට අවශ්‍ය ආදි වාසී වැඩසටහන වෙනුවෙන් නායක වන්නිලැත්තන් එක්ක සාකච්ඡාවක්.
ආදි වාසීන් වෙනුවෙන් ම නම් වුණු ගුවන්විදුලිය ගැන නායක වන්නිලැත්තො කීවෙ මෙහෙම දෙයක්.
“සභාපති හූරා යක් පොජ්ජෙකුටවත් බය නැති කොමට කතා දමන යමකෙ මේ ඇත්තොලගෙ ගං පොජ්ජෙ නම් පොජ්ජට මන්දො කෙරුව්ව. ඒක හොඳක්.
හැබැයි දුන්න දුනු ගමුවේ - රාලෙ කිතලගමුවේ කීවැගේ ආයතන පොජ්ජ ගිරාදුරුකෝට්ටේ. කුලුනු පොජ්ජ කිලෝමීටර එකමක් එහායින් පන්සල් වත්තේ. නම් පොජ්ජ දඹානේ. මේ කැකුලා මං හොයා එන්නෙ රෑ බෝවිලා. කොයිම වෙලාවක හෝ බොට කඳාල ඇත්තො මන්දො කරනව. මේ ඇත්තන්නෙ මිනිග්ගජ්ජුන්ගෙ ඉග්ගෙච්චට පරම්පරා පොජ්ජෙ, ඇදහුම් පොජ්ජ මන්දො කොරන්නයි කතා දමන යමකෙ ප්‍රයෝජං පොජ්ජ. පාසුකම් පොජ්ජ කැකුලට මන්දො කොරනව නම් තමා හොඳ...”
කෑලි කපන අඳුරේ සමිත වැඩසටහන් පටිගත කරන්න කොටබකිණියට එද්දී කොයිම වෙලාවක හරි අලියා ගහයි කියන අවදානමත් නැතුව නෙවෙයි.
කොහොම වුණත් ලැබුණු දේ ඔවුන්ට සතුටක්. එය ජීවිතයත් සමඟ ප්‍රයෝගික වන තරමටයි ඔවුන් කැමැති.
ජයවික්‍රමල යසෝල වගේම සමිතලගෙ පරම්පරාවත් මේ වෙහෙසෙන්නෙ ඒ දිනය උදාකරගන්න. රේඩියෝ දඹානට සුබ ගමන්! පතන්නෙ ඔවුන් හැමෝම වෙනුවෙන්.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි