හෙණ පුපුරමින් මහ වැසි වැටෙමින් තිබිණ. උදෑසන වුවත් වැස්ස නිසාම හාත්පස අඳුරු වී පැවතිණ.
මේ වෙලාවේ මා නුහුරු නුපුරුදු කොළඹ කොටුවෙන් බැස ගත්තේ මුවැත්තියක සේ ගැහෙමිනි.
මා පොලොන්නරු බසය සොයා යා යුතු විය. එය ගමන් වාරය අරඹන්නේ කොතැනින් දැයි මම නොදැන සිටියෙමි.
හතර වටේ ම ඇත්තේ නන්නාඳුනන මුහුණු ය. ඇසුණේ වැසි හඬත් ඒ පරයා නැගුණු හෙණ හඬත් පමණි.
මම බිය වීමි.
වැස්ස ටිකින් ටික අඩු වන විට මම විශ්වාසය තැබිය හැකි මිනිසකු සොයන්නට වීමි. බොහෝ දෑස් මා නෙත ගැටිණ. මම ඒවා මඟ හරිමින් අවංක දෑසක් සෙවීමි.
අවසානයේ එක් පියකු ගේ මුහුණෙහි මා නෙතු නතර විය. ඔහු මා දුටුවේ නැත. ඒ මුහුණ තැන්පත් ය.
මා උරින් දරා සිටි බෑගයට වඩා අතේ එල්ලා ගෙන සිටි බෑගය බර විය. මම බර ද දරා ගෙන සෙනඟ මැදින් ඔහු ළඟට ගියෙමි.
‘සර්’
ඔහු පුදුම වී මදෙස බැලුවේ ය.
මම කාරණය කීමි.
ඔහු ගේ මුහුණ බැරෑරුම් විය. වගකීමක් හිතට ගන්නා ලකුණ පහළ විය.
‘එන්ඩ මං පෙන්නන්නං’ ඔහු ඉස්සර විය.
මම ඔහු පසුපස ගමන් කළෙමි.
යන ගමන් අපි වචන දෙක තුනක් කතා කළෙමු.
‘සර් මේ කොහෙ යන ගමන් ද?’
‘මං ඉසුරුපායට යන ගමං දරුවො. ඔය දරුව කොහෙ ද?’
‘පොලොන්නරුවෙ සර්’
‘කාලයක් මාත් පොලොන්නරුවෙ ඉගැන්නුව’
‘අහන්ඩත් සන්තෝසයි. දැන් සර් මොකද කරන්නෙ?’
‘දැං මං විශ්‍රාමිකයි’
‘සර් මං පාර කාගෙන්වත් ඇහුවෙ නෑ. සර්ගෙන් තමයි ඇහුවෙ’
‘පාරෙදි හම්බ වෙන හැම කෙනෙකුගෙන්ම පාර අහන එක අද කාලෙ ගෑනු ළමේකුට තියා කාටවත් හොඳ නෑ’
ඔහු මා පොලොන්නරු බසය ළඟට කැඳවාගෙන ගියේ ය.
‘දැන් ඔය දරුව මේකෙ නැගල යන්ඩ
‘හොඳයි සර්, සර්ට බොහොම ස්තුතියි’
මම බසයට ගොඩ වීමි. ඔහු යන්නට ගියේ ය.
එදින සිද්ධිය එතෙකින් කෙළවර විය. එහෙත් ඔහු සිය ගුණ යහපත්කමින් මට කළ යහබලපෑම නම් එතැනින් නිමා නොවීය.
මම ගුණයහපත් සැබෑ පියකුගේ රැකවරණය හා මඟ පෙන්වීම ලද්දෙමි. ඒ කෙටි කාලය තුළ දියණියක ලෙස මා ලද සතුට සහනය නිම් නැත.
සමුගන්නා අවස්ථාවේ මා ඒ පියාගේ දෙපා නොවැන්දේ ඇයි? මට නොදැනුවත්වම මා ආත්මාර්ථකාමී වී ද? මට එබඳු සේවාවක් කළ ඒ උතුම් මිනිසාගේ නම ගමවත් අසා දැන ගැනීමට නොහැකි විය. මේ සියල්ල දැන් මගේ වේදනාවට හේතු වී තිබේ. සති කිහිපයක් ගෙවී ගොස් තිබුණ ද වේදනාව යළි යළිත් අලුත් වෙනවා මිස යටපත් නොවේ.
පියාණනි, ජීවිතයේ තවත් එක් වතාවක් ඔබ දැක ගැනීමට ලැබේ නම් එය මට භාග්‍යයකි. මම ඔබට ‘විශ්වාසවන්ත උතුම් මිනිසෙකි’ යන නම්බු නාමය දෝතින් පිරිනමමි.
ඔබේ දෙපා නැමද සමු ගැනීමට මට ඉඩ දෙනු මැනවි.
මේ ලිපිය යම් දිනෙක ඔබ නෙතු ගැටෙනු ඇත. එදින ඔබ මා අමතනු ඇතැයි සිතමි. පියාණනි, ඔබට දිගාසිරි පතමි.
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති ‘පොලොන්නරුවේ දියණිය’ විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි. ඇයට මඟ පෙන්වූ පියාණන්ට ලබා දීම සඳහා ඇගේ දුරකථන අංකය ද ලියා ඇත. එය වැරදි කෙනකුන් ගේ අතට පත්වීම වළකනු පිණිස අදාළ ‘පියාණන්’ ම අපට ලිපියක් යොමු කරන්නේ නම් යෙහෙකි. එවිට ඔහුට ‘දියණියන්ගේ’ දුරකථන අංකය ලබා දිය හැකි ය.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි