Friday, July 12, 2013

නූතන සාහිත්‍ය සම්භාෂණයෙහි ජී. බී. සේනානායකගේ නවකතාව


නූතන සාහිත්‍ය සම්භාෂණයෙහි ජී. බී. සේනානායකගේ නවකතාව

නූතන සිංහල සාහිත්‍ය ක්‌ෂේත්‍රයෙහි ස්වකීය අනන්‍යතාව විශද කළ ලේඛකයන් අතර ජී. බී. සේනානායක ප්‍රමුඛයෙකි. කෙටි කතාව, කවිය, නව කතාව, ළමා සාහිත්‍ය නිර්මාණ මෙන්ම විචාර කලාව විෂයෙහි ද සේනානායකයන්ගේ දායකත්වය අද්විතීය වේ. නූතන සාහිත්‍ය කලාව පිළිබඳ කතා කරන විට

ජී. බී. සේනානායකයන්ගේ නම වෙසෙසින් සඳහන් කළ යුතු වන්නේය. ඊට හේතුව ඇතැම් සාහිත්‍යාංගයක අභිවෘද්ධිය පිණිස ඔහු පුරෝගාමියකු වීමය.

සිංහල කෙටි කතාව කලාත්මක අගයෙන් අනූන සාහිත්‍යාංගයක්‌ බවට පත් කිරීමේ අරමුණ ඇතිව, කතාවක පරිසමාප්තියට අවශ්‍ය ශිල්පීය ධර්මතා වෙත අවධානය යොමු කළ ප්‍රමුඛ ලේඛකයා සේනානායක බව කිව යුතුය.

ඓතිහාසික නවකතා රචනය සම්බන්ධයෙන් සේනානායක දැක්‌ වූ කුසලතාව විශිෂ්ටය. 'මේධා'(1964), 'චාරුමුඛ'(1965), සහ 'වරදත්ත'(1967) ජී. බී. සේනානායකයන් අතින් ලියෑවුණු, පාඨක විචාරක අවධානයට ලක්‌වුණ ඓතිහාසික නවකතා ත්‍රිත්වයයි. නූතන සිංහල නවකතාවේ ප්‍රවණතා ගැන කතා කරන විට මේ නවකතා ත්‍රිත්වය අමතක කළ නොහැකිය. මේ නවකතා තුනටම පසුබිම් වී තිබෙන්නේ බුද්ධ කාලීන භාරතීය සමාජයයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ධන තණ්‌හාව වැනි මිනිස් දුර්ගුණ නිසා මිනිසුන් විනාශ මුඛයට පත්වන සැටි පෙන්වීම සේනානායකයන්ගේ නවකතාවලින් මතු වන දෘෂ්ටියයි. ඔහු සමාජයේ දකින මිනිස් දුර්ගුණ නිරූපණය කිරීමට බුද්ධකාලීන භාරත සමාජය පසුබිම් කර ගෙන තිබෙන්නේ සාහිත්තයික උපක්‍රමයක්‌ වශයෙන් දැයි විටෙක සිතේ. මන්ද මේ නවකතාවල නිරූපිත මිනිස් දුබලතා වඩාත් දකින්නට ලැබෙන්නේ අප හොඳින් දන්නා මධ්‍යම පන්තියේ බැවිනි. තතු කෙසේ වුවද සේනානායකයන් මේ නවකතා නිර්මාණය කිරීමට තමා උත්සුක වූයේ ජාතක සාහිත්‍යය කියවීමෙන් ලද ප්‍රබෝධය නිසා බව පවසා ඇත.

සේනානායකගේ 'මේධා' නවකතාවට පාදක වී තිබෙන්නේ ආත්මාර්ථයෙන් මඬනා ලද දරුණු ගැහැනියකගේ චරිතයයි. ඒ චරිතය පාඨකයාට දුරස්ථ පරිසරයක්‌ තුළ කතුවරයා මවන ලද්දේ නමුත් පාඨකයාට ඒ චරිතය තමා ජීවත්වන සමාජයේ සැබෑ චරිතයක්‌ම ලෙස හැඟේ. 'චාරුමුඛ' නවකතාව ඇරඹෙන්නේ වස්තුකාමය හා යසස්කාමය විසින් මෙහෙයවන ලද එක්‌ සිටුවරයෙකු මහ සිටු තනතුර සඳහා තම පියා මැරූ සිද්ධියෙනි. ඊළඟ සිද්ධි ගොඩ නඟන්නේ මාතෘ පිතෘ ස්නේහය, අඹුසැමි ප්‍රේමය, දාරක ප්‍රේමය යනාදියේ විවිධ ස්වරූපයන් නිසා පීතෘ ඝාතක සිටුවරයා තුළ ඇතිවන චෛතසික ඝට්‌ඨනය පාදක කර ගනිමිනි. කතාව අවසන් කරන්නේ වස්තුකාමයට හා යසස්කාමයට ගිජු වූ පවුලක අඹු සැමි දූ දරු පිරිසගේ ෙ€දය නිරූපණය කරමිනි. 'වරදත්ත' නව කතාවට පාදක වන්නේ මවුපියන් දූ පුතුන්, සහෝදර සහෝදරියන් අඹුසැමියන් අතර ඇතිවන ගැටුම් හා ජීවන තතු විත්තිය. සැබවින්ම සේනානායකයන් මේ නවකතා රචනා කර තිබෙන්නේ බුද්ධකාලීන භාරත ස්වරූපය පාඨකයාට පැහැදිලි කිරීමට නොවන බව පැහැදිලිය. තමා ඉතිහාසඥයකු නොවන බවත්, තමා කරන්නේ සාහිත්‍යයෙන් මිනිස් ජීවිත නිරූපණය බවත් පසු කලක එතුමා පවසා ඇත. ඔහු සිය කෘති ගැන පවසන කරුණුවලින් කතුවරයාගේ අභිප්‍රාය කුමක්‌දැයි පැහැදිලිය. කතාවේ නිරූපණය වන්නේ මහා වංශවතුන් හා සිටුවරයන් වුව ඔවුන් සිටුවරයන් හා වංශවතුන් වී තිබෙන්නේ නමින් පමණක්‌ යෑයි පාඨකයාට පෙනී යන්නේය. සේනානායක පසු කාලයක තම ප්‍රථම නවකතාව ගැන පළ කර තිබෙන අදහසකින් ද මේ කාරණය සනාථ වන්නේය.

"මගේ පළමු නව කතාව කෲර ගැහැනියක ගැනය. ඒ අදහස මා තුළ ඇති වූයේ එක්‌තරා ගැහැනියක කෙරෙහි සිත යොමු කිරීමෙනි. මා දන්නා කෲර ගැහැනු හිඟ නොවෙති. මේ කෲර ගැහැනුන් සියල්ලෝම කාර්යශූර නොවෙති. මා දන්නා එක්‌තරා ගැහැනියක්‌ කෲරය. එසේම කාර්ය ශූරය. ඈ තම පවුලෙහි කටයුතු මුදල් ඉපයීම, ඉඩම් පාලනය කිරීම ආදියෙහි ඉතා දක්‌ෂතාවක්‌ පෙන්වයි. මා 'මේධා' නවකතාවේ ඒ ගැහැනිය නොදැමීමි. මා කළේ ඈට සමාන වන ගැහැනියක්‌ නිර්මාණය කිරීමය."

ඓතිහාසික නවකතා රචකයෙකු වශයෙන් නවකතාකරණයට අවතීර්ණ වුව ද සේනානායක ඉක්‌මනින් තමන් ජීවත්වන සමාජයෙන් උකහා ගත් අත්දැකීම් ඇසුරින් නවකතා රචනා කිරීමට පියවර තබන්නේය. 'අවරගිර', 'රළ බිඳුම', 'කැකෑරිල්ල', 'මලපුඬුව', 'බැඳුම', 'රුව', සහ 'උරගල' තත්කාලීන සමාජ තතු ආශ්‍රයෙන් රචනා කර තිබෙන නවකතා වේ.

තත්කාලීන සමාජය විෂය කර ගනිමින් සේනානායකයන් අතින් ලියෑවුණ කැපී පෙනෙන නවකතාවක්‌ ලෙස 'අවරගිර' නමැති නවකතාව හැඳින්විය හැකිය. එය ලෙස්ටර් ඡේම්ස් පීරිස් අතින් සිනමාවට ද නැඟිණි. මේ නවකතාව කියවන විට වැටහෙන්නේ සේනානායක සාහිත්‍යයට විෂය කර ගන්නා පොදු යථාර්ථයක්‌ තිබෙන බවයි. භාරතීය සමාජය පසුබිම් කර ගනිමින්, කල්පිත කථා වස්තු මඟින් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම, වස්තු තණ්‌හාව හා උන්නතිකාමය නිරූපණය කළ සේනානායක පසුකාලීන නවකතාවලින් නිරූපණය කරන්නේ ද මිනිස් චරිතවලට පොදු ඒ ධර්මතාමය.

'අවරගිර' (1974) නවකතාවට පාදක වන්නේ නාගරික වෙළඳ මධ්‍යම පන්තිය සිද්ධිදාමයකි. ගමෙන් නගරයට සංක්‍ර්‍රමණය වන පවුලක්‌ ධනය රැස් කිරීමට දක්‌වන අභිරුචියත්, නව සමාජ හර ලුහුබැඳීමත් නිසා වෙහෙසට පත්වන සැටිත් මේ නවකතාවෙන් නිරූපිතය. මේ නව කතාවේ ප්‍රධාන චරිතය වන්නේ කරුණාරත්න බණ්‌ඩා සැතිගල නම් ව්‍යාපාරිකයාය. ඔහුගේ බිරිඳ ඩිංගිරි මැණිකා ගැමි කාන්තාවකි. දයාවීර යනු ඔවුන්ගේ වැඩිමල් පුත්‍රයාය. මේ පවුල කේන්ද්‍ර කර ගනිමින් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම, කුහකත්වය කතුවරයා උවමනාවෙන් විස්තර කරයි. දෘෂ්ටිය වශයෙන් ගත් කල මේ නවකතාවෙන් ද සේනානායකගේ ඓතිහාසික නව කතාවකට බෙහෙවින් සමාන දෘෂ්ටියකි කුළු ගන්වන්නේ.

'උරගල' (1984) නවකතාවට පාදක වන්නේ ද මධ්‍යම පන්තික පවුලකි. වෙළඳ ව්‍යාපාරිකයකුගේ පුත්‍රයෙකු වන කරුණාසීල ප්‍රිය සාදයකදී දැන හඳුනා ගන්නා දීප්තා නම් තරුණිය සමඟ විවාහ වෙයි. ඔවුන් පදිංචි වන නිවසේ තව කිහිප දෙනෙක්‌ වාසය කරති. සගුණා, ප්‍රබුද්ධා යන සහෝදරියන් දෙදෙනා ද, ගුණවික්‍රම නමැති සහෝදරයා සහ දෙමාපියන්ද මේ නිවසේ සිටිති. මේ පවුලේ ෙ€දයට තුඩු දෙන්නේ අනියම් සම්බන්ධතාය. අනාචාරයේ හැසිරීම සම චාරයක්‌ නැති දිවි පෙවතක සැටි කතුවරයා තවත් චරිත ගණනාවක්‌ එකතු කරමින් පාඨකයාගේ කුහුල දනවමින් තරමක ආවේගකාරී කතා පුවතක්‌ ගොඩ නඟයි. මධ්‍යම පවුලක විවාහ ජීවිත කිහිපයක්‌, දික්‌කසාදවීම් සහ මරණ ඇසුරින් පවුලක ෙ€දය කතුවරයා විස්තර කරයි. මේ කතාවේ පුවතට 'අවරගිර' කතාවේ පුවත ද අඩු වැඩි වශයෙන් සමීපය.

එපමණක්‌ නොව, 'කැකෑරිල්ල', 'මලපුඬුව', 'රල බිඳීම', 'බැඳීම' යනාදී අනෙක්‌ නව කතාවලද විස්තර වන්නේ මීට සමාන චරිත හා සිද්ධිය. එනමුත් අනුවාදයක්‌ සේ සැලකුණ ද ස්වතන්ත්‍ර කෘතියක්‌ සේ කියවීමට හැකි 'රණරාල' සේනානායකයන් අතින් ලියෑවුණු අපූරු කෘතියකි. අදත් දරුවන්ට ආශාවෙන් කියවීමට හැකි අගනා නිර්මාණයක්‌ බව මෙහිදී වෙසෙසින් සිහිපත් කළ යුතුය. සේනානායකගේ අතින් ලීයෑවී තිබෙන ඔහුගේ චරිතයට අදාළ සිද්ධි විස්තර කරන කෘති කියවන විට පෙනී යන්නේ ඔහු ස්වකීය ජීවිත කාලය තුළ වැඩියෙන්ම කියවා තිබෙන්නේ මනෝ විද්‍යාවට අදාළ කෘති සහ බටහිර සාහිත්‍යයේ ලියෑවී තිබෙන මිනිස් මනස නිරූපණය කරන සාහිත්‍ය නිර්මාණ බවයි. ඒවායෙන් ඔහු යම් ආස්වාදයක්‌ විඳින්නට පුරුදු වූ බව ද පැවසේ.

එනිසා දෝ මිනිස් සිතේ අඳුරු අහුමුළු වෙත එබිකම් කිරීමට ඔහු නිතරම ප්‍රයත්න දරා ඇත. මේ කාරණය ඔහුගේ කෙටි කතාවලට ද අදාළය. තවත් කාරණයක්‌ වන්නේ ස්ත්‍රිය විෂයෙහි ඔහුගේ ආකල්පයයි. බෞද්ධ සාහිත්‍ය සමීපව ඇසුරු කිරීමේ ප්‍රතිඵලයක්‌ නිසාදොa ඔහු ස්ත්‍රිය සම්බන්ධයෙන් දරන්නේ අතිශයින් සම්ප්‍රදායික දෘෂ්ටියකි. ඔහුගේ කතාවල නිතරම ස්ත්‍රී චරිත මරා දැමීම පොදු ලක්‌ෂණයකි.

සේනානායක හුදෙකලාව ජීවත් වෙමින් අඛණ්‌ඩව ලේඛන කලාවේ නිමග්න වූ ලේඛකයෙකි. නිර්මාණකරණයේ නිමග්න වූ ලේඛකයෙකි. එහෙත් හුදෙකලාව ලේඛකයෙකුට නිර්මාණකරණයේ නිමග්න විය හැකි ද? සේනානායකයන්ම තමන් ගැන ලියා තිබෙන කරුණු කාරණා විමසා බලන විට ඔහු හුදෙකලාව ප්‍රිය කළ මිනිසෙකි. සමාජය සමඟ ගැටීම මෙන්ම සමාජය සමඟ සහසම්බන්ධතා පැවැත්වීම ඔහු ප්‍රිය කර නැත. ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම පොත පත පරිශීලනයට කැප කළ බවයි පැහැදිලිව පවසා තිබෙන්නේ. අසාමාන්‍ය ප්‍රතිභාවකින් හෙබි පුද්ගලයෙකුට විනා මිනිස් සමාජය ආශ්‍රයෙන් වියුක්‌තව නවකතාව නම් වූ සාහිත්‍යාංගයෙහි කවර ලේඛකයෙකුට වුව කටයුතු කිරීම අසීරු වන්නේය. සේනානායකගේ සාහිත්‍ය ජීවිතයේ මූලික ගැටලුව පවතින්නේ මෙය බව පෙනේ. මේ සම්බන්ධයෙන් මහාචාර්ය සරච්චන්ද්‍ර පවසන අදහසක්‌ මෙසේය.

"ජී. බී. සේනානායක මහතා ගතකරන්නේ නිශ්චල ජලාශයක්‌ මැද පිහිටි, හාත්පසින් ආවරණය වූ දූපතක වෙසෙන්නෙකුගේ දිවි පෙවතට සමාන වූ ජීවිතයකි. නුදුර ඇති මහාද්වීපයෙහි හමන කුණාටු ඔහුගේ දූපතට නොදැනෙන්නා සේය. පාරම්පරික චර්යා ධර්මයට හා පාරම්පරික පුරුෂාර්ථවලට පැමිණ ඇති අභියෝගය ඔහු නොසලකයි. නවීන විද්‍යාත්මක හා තාක්‌ෂණික සභ්‍යත්වයේ බලපෑම නිසා අද අපෙA විශ්වාස බිඳී ඇත. සමාජ සංස්ථාවල පදනම දෙදරුම් කා ඇත. විශේෂයෙන් අප ද අයිති තුන්වන ලෝකය වශයෙන් හැඳින්වෙන රටවල ජනතාවට මුහුණ පාන්නට තිබෙන ගැටලු බොහොමයක්‌ පැන නඟින්නේ මේ තත්ත්වයෙනි. වර්තමාන සමාජය ඇසුරු කොට තමා ලියූ නවකතාවල පවා සේනානායක මහතා මෙවැනි ධර්මතා විෂය කොට නොගත්තේ ඔහු ඒවා වැදගත් යයි නොසිතන බැවිනි."

මගේ අවබෝධය වන්නේ සරච්චන්ද්‍රයන්ගේ නිගමනය සාවද්‍ය නොවන බවයි.

සේනානායක පොත කියවීමෙන් අධ්‍යාපනයක්‌ ලැබූ පුද්ගලයෙකි. ඔහු පත්‍රකලාවේදියකු ලෙස රැකියාවක නිමග්න වුව ද ඒ ඉතා කෙටි කාලයකි. ඔහු සාහිත්‍ය කියවීමෙන් ලත් පරිචයෙන් ලේඛකයකු වූ පුද්ගලයෙකි. එනමුත් ඔහු නූතන සාහිත්‍යයේ ප්‍රගමනයට ස්ව ශක්‌තියෙන් දායක කළ දේ කිසිවෙකුට අවප්‍රමාණ කළ නොහැකිය. කෙටි කතාව සහ කවිය සම්බන්ධයෙන් ජී. බී. සේනානායකයන්ගේ දායකත්වය සාහිත්‍ය සම්භාෂණයෙහි අර්ථසම්පන්න කථීකාවකට අදත් අදාළ වන්නේය. සේනානායක මහතා මිනිස් සිත ගැන අවධානය යොමු කළ තරමට මිනිස් සමාජය ගැන අවධානය යොමු කළේ නම් ඔහුගේ නිර්මාණ නෑකම් කියන්නේ ඩොස්ටයෙව්ස්කිගේ නිර්මාණවලටය. නමුත් නවකතාකරුවකු වශයෙන් අද එතුමන්ගේ කෘති සලකා බලන විට එතුමන්ට උරුමව තිබෙන්නේ පසු පෙළ අසුනක්‌ බව කිව යුතු වේ. කිසිදු නිර්මාණකරුවෙකුට තමා ජීවත්වන සමාජයෙන් දුරස්ථව, පොත පත ආශ්‍රය පමණක්‌ අත්දැකීම් උදෙසා එකම මූලාශ්‍රය කර ගෙන නිර්මාණකරණයෙහි නිමග්න විය නොහැකිය. එසේ බිහි කරන නිර්මාණයක යම් ගුණයක්‌ තිබිය හැකි නමුත්, සාහිත්‍යයෙන් ගොඩ නඟන ප්‍රාණවත් මිනිස් සම්බන්ධතා උදෙසා අදාළ වන්නේ කලාතුරකිනි.

තතු කෙසේ වුව සේනානායකයන් අතින් ලියවුණ නවකතා බොහොමයක්‌ අද ලියවෙන ඇතැම් නවකතාවලට වඩා අගනේය. චරිත නිරූපණය සහ භාෂාව භාවිත කර ඇති අන්දම සලකා බලන විට නවකතා නිර්මාණය ගැන උනන්දුවක්‌ දක්‌වන කවරෙකුට වුව ඉගෙන ගැනීමට බොහෝ දෑ සේනානායකයන්ගේ නවකතාවල අන්තර්ගතව තිබේ. සාහිත්‍ය පරිශීලනයට උනන්දුවක්‌ දක්‌වන අලුත් පාඨකයන්ට පවා 'මේධා', 'චාරුමුඛ' සහ 'වරදත්ත' යන නවකතා කියවීමෙන් දුරස්ථ අත්දැකීම් ක්‌ෂේත්‍රයක්‌ ආශ්‍රයෙන් අපූරු ආස්වාදයක්‌ ලැබිය හැකි බව නොවලහා කිව යුතුය. සාහිත්‍ය නිර්මාණයේ නිමග්නවීමට අභිමත කවරෙකු හෝ වේවා පූර්වකාලීන ලේඛකයන් සමීපව හැදෑරිය යුතුය යන සිද්ධාන්තය සලකා බලන්නේ නම් අනිවාර්යෙන්ම ජී. බී. සේනානායක හැදෑරිය යුතුම ලේඛකයකු වන්නේය.

මහාචාර්ය සරත් විඡේසූරිය


http://www.divaina.com/2013/07/11/sarasavi%202.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි