Tuesday, July 16, 2013

කියෙව්වොත් දිනුම් ********(අගෝ මස 5 ට කලින්)

මෙවර උසස්‌ පෙළ විභාගයෙන් ඉහළම සාමාර්ථයක්‌
අත් කර ගැනීමට නම්...


එළැඹෙන අගෝස්‌තු මස 5 වැනි දින අපොස උසස්‌ පෙළ විභාගයට ඔබ කුමන හෝ විෂය ධාරාවකින් මුහුණ දෙනවා ඇති. ලංකාවේ පවතින අතිශය තරගකාරී මෙන්ම සංකීර්ණතම විභාගය අපොස උසස්‌ පෙළ විභාගය යෑයි කීවොත් එය සාවද්‍යයක්‌ නොවෙයි. ඔබ පුරා වසර 13 ක්‌ පාසල් ගියා. වසර කීපයක්‌ ටියුෂන් පංති ගියා. පාඩම් කළා. අප්‍රමාණ කැප කිරීම් කළා. විශාල ආවස්‌ථික පිරිවැයක්‌ දැරුවා. කිව නොහැකි තරම් මානසිකව හා කායිකව වෙහෙසුණා. ඒ සියලුම ආයාසයන්ගේ අවසන් අස්‌වැන්න නෙළීමට අවශ්‍ය වැපිරීම සිදුවන්නේ අගෝස්‌තු 5 වැනිදා සිටයි. ඔබ දැරූ සියලුම ආයාසයන්ගේ අවසන් දින කීපය තමයි මේ ගෙවෙමින් පවතින්නේ.

ඔබ විවිධ අරමුණු මත විවිධ විෂය ධාරාවන් යටතේ උසස්‌ පෙළ ඉගෙන ගන්න එන්න ඇති. මේ වනවිට ඉගෙන ගෙනත් ඇති. මේ මොහොත වන විට ඔබ කිසියම් කැළඹිලි සහගත තත්ත්වයකට පත්වෙලත් ඇති. ඒ සෑම විභාග අපේක්‍ෂකයකුටම වාගේ විභාගයක්‌ ආසන්න වන විට වැළඳෙන සාමාන්‍ය මානසික ව්‍යාකූල තත්ත්වයක්‌ ලෙස සලකන විභාග භීතිකා තත්ත්වයයි. ඒ නිසා ඒ තත්ත්වයෙන් ඔබව මුදවාගෙන, ඔබට ඉතාම සාර්ථක අයුරින් උසස්‌ පෙළට මුහුණදී ඉහළම ප්‍රතිඵලයක්‌ ලබාදීමේ අරමුණින් මම මේ උපදෙස්‌ මාලාව ඔබට ලබා දෙන්නට තීරණය කළා. ඒ උපදෙස්‌ මාලාව හැකි තරම් දුරකට පිළිපදින්න උත්සාහ ගන්න. ඒ තුළින් ඔබට වඩාත් පහසුවෙන් විභාගයට මුහුණ දෙන්නට හැකිs වන බව මාගේ විශ්වාසයයි. විභාගයට මුහුණ දෙන අපේක්‍ෂකයාට වඩා වැදගත් වන්නේ සැහැල්ලු මනස, ආවර්ජනා ශක්‌තිය, ප්‍රති නිර්මාණ හැකියාව, වේගයෙන් සිතීම හා නිරවුල් අවබෝධය යනාදී චෛතසිකයන් හා ශක්‌තීන් විකසිත කර ගැනීමයි. පසුගාමී චින්තනයෙන් මිදී උනන්දු සහගත භාවයක්‌ හා මානසික සංහිදියාවක්‌ ඇතිකර ගැනීමට ඔබ නිතරම උත්සාහ දැරිය යුතුයි. එවිට ඔබට විභාග භීතිකාව තුරන් කරගෙන සැහැල්ලු සිතින් විභාගයට මුහුණ දීමට අවශ්‍ය ශක්‌තිය නිරායාසයෙන්ම ඔබ වෙත ගලා යයි. පහත උපදෙස්‌ ස්‌වල්පය ඉතා හොඳින් පිළිපදිමින් විභාගයට සූදානම් වන්න. එවිට ඔබට ඉහළම ප්‍රතිඵලයක්‌ ලබා ගැනීමේ අවස්‌ථාව උදාවන බව මාගේ විශ්වාසයයි. මාගේ ආධ්‍යාත්මික ප්‍රාර්ථනාවයි.

සිත් වේදනා ගෙන දෙන අවස්‌ථාවන්ට මුහුණ දීමෙන් වළකින්න උත්සාහ ගන්න

මෙම කරුණින් අපේක්‍ෂා කරන්නේ ඔබගේ හිතට දුක, කඳුළ, සන්තාපය, මුසු වූ අත්දැකීම්වලට ලක්‌වීමෙන් වළකින්න යන්නයි. විශේෂයෙන්ම අවමංගල්‍ය අවස්‌ථාවන්ට සහභාගි නොවීම, අඬදබර සහිත පරිසරයන්ගෙන් මිදීම හා සිත් රිඳවන වචන භාවිතය හා ශ්‍රවණයෙන් හැකිතාක්‌ දුරස්‌ වන්නට උත්සාහ ගන්න. මෙවැනි අවස්‌ථාවන්ට මුහුණදීමෙන් ඔබට ඔබේ සිතේ සතුට අහිමි වී යයි. සතුට හා සැහැල්ලු මනස ඔබේ මතක ශක්‌තිය මෙන්ම ආවර්ජනා ශක්‌තිය ද වර්ධනය කරන මහඟු ඖෂධයක්‌ වන නිසයි. වේදනාත්මක අවස්‌ථාවන්ට මුහුණ දීම නිසා ඔබගේ මනස අවුල් සහගත වෙනවා සේම ඔබගේ මතක ශක්‌තිය ද හීන කරයි. පැටළුණු මනසකින් සාර්ථක පිළිතුරක්‌ ගොනු කර ගත නොහැකියි. ඒ නිසා සිත් වේදනා දෙන කිසිsදු අවස්‌ථාවකට ඔබ මුහුණ දෙන්නට යැමෙන් වළකින්න.

ඔබගේ ජංගම දුරකථනය හැකිතාක්‌ දුරට ක්‍රියා විරහිතව පවත්වා ගන්නට උත්සාහ දරන්න.

ඔබගේ ජංගම දුරකථනය ඔබට මොනතරම් සතුටුදායක දේ මෙන්ම වේදනාත්මක දේ අසන්නට සලස්‌වා ඇත්ද? විභාගයට දින කිහිපයක්‌ පමණක්‌ ඇති නිසා මේ කාලය තුළ ඔබගේ මනස තුළනාත්මකව සංහිඳියාවකින් පවත්වා ගත යුතුය. එම සංහිඳියාව අහෝසි කර දමන, මනස අවුල් කරන, මනස පටලවන, සිත් වේදනා ගෙන දෙන ප්‍රධාන උපකරණය ඔබගේ ජංගම දුරකථනයයි. ඔබ ජංගම දුරකථනය හරහා සම්බන්ධතා පවත්වන කිට්‌ටුවන්තම මිතුරන්ට ඔබගේ විභාගයේ වටිනාකම අවබෝධ කර දී විභාගය අවසන් වන තෙක්‌ ඔබට නිහඬව සිට උදව් කරන මෙන් පවසා අද සිටම ඔබගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිතව තබා ගන්න. ඔබ ජංගම දුරකතනය සමග ගත කරන කාලය විභාගය වෙනුවෙන් වැය කරන්න. එය වඩා ඵලදායී ක්‍රියාවක්‌ බව ඔබටම අවබෝධ වේවි.

අර්බුදකාරී හා ව්‍යාකූල තත්ත්වයන්ගෙන් හැකිතාක්‌ දුරට මිදී සිටීමට උත්සාහ ගන්න.

ඔබ ගත කරන්නේ කුණාටු සමයක ඉතාම පිරිපුන් තාරුණ්‍යයේ එළිපත්ත මත. එබැවින් ඔබ ගත කරන මේ තරුණ කාලය තුළ විරුද්ධ ලිංගිකයන්ට දක්‌වන ආකර්ෂණය සාමාන්‍ය දෙයක්‌. ඒක ආදරය, ප්‍රේමය විදියට ඔබ දකිනවා. ඇත්තටම ආදරය කරන එක නරක දෙයක්‌ නොවෙයි. ආදරය සාපයක්‌ නොවෙයි. ඔබ එහෙම ආදරය කරන කෙනෙක්‌ වෙන්න පුළුවන්. නමුත් මේ කාලය තුළ ඔබ දෙදෙනා මුණගැසීම්වලින් හැකිතාක්‌ වළකින්න උත්සාහ ගන්න. යම් ලෙසකින් මුණගැසේ නම් ඔබගේ විභාගයේ වටිනාකම පිළිබඳව පමණක්‌ම අදහස්‌ හුවමාරු කරගන්න. කිසිදු අවස්‌ථාවක වාද විවාද සිත් රිදවන ප්‍රකාශ ආදියෙන් වැළකී සිටීමට හැමවිටම උත්සාහ කරන්න. විභාගය අවසන් වනතෙක්‌ තමන්ට වෙනදාට වඩා ගොඩක්‌ උදව් කරන මෙන් ඉල්ලා සිටින්න. ඔහුගෙන් හෝ ඇයගෙන් සහයෝගය පමණක්‌ ඉල්ලා සිටින්න. එය ඔබගේ ආත්ම විශ්වාසය හා චිත්ත ධෛර්යය වඩාත් වර්ධනය කරන හොඳ උත්තේජනයක්‌ වේවි.

පාඩම් කිරීමේදී සුදුසුම වටපිටාවක්‌ සකස්‌ කර ගැනීමට කටයුතු කරන්න. 

බුදුරජාණන් වහන්සේ "පතිරූප දේස වාසෝච" හෙවත් සුදුසු පරිසරයක වාසය කරන්න යෑයි දේශනා කළේ එම පරිසරය තම ක්‍රියාව සාර්ථක කර ගැනීමට ප්‍රධානතම සාධනය වන නිසයි. මානසික සංහිඳියාව තීරණය කරන ප්‍රධානම සාධකය තමා ජීවත් වන පරිසරයයි. ඔබගේ පොත් මේසය පිළිවෙළට තබා ගන්න. කාමරය පවිත්‍රව තබා ගන්න. ජනෙල් හොඳින් විවෘතව තබන්න. උදෑසන හිරු රශ්මිය හොඳින් කාමරයට පතිත වන්නට සලස්‌වන්න.

පාඩම් කරන කාලය තුළ එකම ඒකකය හෝ එකම විෂය පැය ගණනාවක්‌ පාඩම් නොකරන්න. එවිට සිදුවන්නේ ඒ හා බැඳුණු උපයෝගීතාවය හීන වීමයි. එවිට මනස ඒ විෂය ප්‍රතික්‍ෂේප කරයි. පැයෙන් පැයට විෂයයන් හෝ විෂය ඒකකයක්‌ වෙනස්‌ කරන්න. පාඩම් කිරීමේදී වඩාත් ඵලදායී හා කාර්යක්‍ෂම පිළිවෙත වන්නේ පසුගිය ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයමින් අධ්‍යයන ක්‍රියාවේ යෙදීමයි. සාමාන්‍යයෙන් වසර 8 ක පමණ (2004-2012) පසුගිය ප්‍රශ්න පත්‍ර සොයාගෙන එහි සෑම වසරකම පිළිවෙළින් පළමු ප්‍රශ්නයේa සිට අවසන් ප්‍රශ්නය දක්‌වා ඔබ තනිව කාලය සැලසුම් කර ගනිමින් පිළිතුරු ලියන්න. උදාහරණයක්‌ ලෙස 2004 පළමු ප්‍රශ්නයට පිළිතුරු ලියා 2005 පළමු ප්‍රශ්නයට පිළිතුරු ලියා 2006 ආදි වශයෙන් සෑම වසරකම පළමු ප්‍රශ්නයට පිළිතුරු ලියා අවසන් කරන්න. අනතුරුව ඒ ක්‍රමයටම සෑම වසරකම දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු ලියන්න. මේ ආකාරයට සෑම ප්‍රශ්නයකටම වසරින් වසර පිළිතුරු ලියන විට ඔබට 2013 වසරේ කුමන ස්‌වරූපයේ ප්‍රශ්නයක්‌ අසන්නේදැයි ප්‍රක්‌ක්‍ෂේපණය කළ හැකි වන අතරම, ඔබට පිළිතුරක්‌ සංවිධානාත්මකව නිර්මාණය කර ගැනීමේ හැකියාව ද ලැබේ.

අනෙක්‌ අතට පිළිතුරු ලියන විට හෝ පාඩම් කරනවිට සෑම පැයකට වරක්‌ම සිත නිවන සෞම්‍ය ගීතයක්‌ දෙකක්‌ හොඳින් ශ්‍රවණය කරන්නට පුරුද්දක්‌ ඇති කර ගන්න. ඒ බඩට හෝ ඇඟට දැනෙන ගීත නොව හදවතට දැනෙන ගීත විය යුතුය. ටී. එම්. ජයරත්න, කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌, නන්දා මාලිනී, අමරදේවයන්, වික්‌ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්‌ වැනි උතුමන්ගේ ගීතයක්‌ දෙකක්‌ ශ්‍රවණය කර රසවිඳීමට හුරුවන්න.

විෂය නිර්දේශයේ ආවරණය නොවුණු පුංචි පුංචි කොටස්‌ පිළිබඳව අවධානය යොමු නොකරන්න.

මේ වනවිට ඔබට බොහෝ දුරට විෂය නිර්දේශයේ සියලුම කොටස්‌ ආවරණය වී ඇතැයි සිතමි. නමුදු යම් යම් ප්‍රායෝගික කාරණා නිසා සුළු සුළු විෂය කොටස්‌ මග හැරී ගොස්‌ නැතුවාම නොවන්නට පුළුවන. නමුත් ඔබ මියගිය අතීතය මත, උපදින හෙට මරා දමන්නට උත්සාහ දරන්න එපා. මේ වන විට ඔබ ලබාගෙන ඇති දැනුම හොඳ ප්‍රතිඵලයක්‌ ලබාගැනීමට හොඳටම ප්‍රමාණවත් වේවි. ඔබගේ දැනුමේ ප්‍රමාණය මත ප්‍රශ්න පත්‍රයේ ඇති, ඔබට වඩාත් පහසුම ප්‍රශ්න තෝරා ගැනීමට කටයුතු කරන්න. මගහැරුණු කොටස්‌ පිළිබඳව ඔබගේ මිතුරන් සමගද සාකච්ඡා කිරීමෙන් වැළකී සිටින්න. ඒ තුළින් සිදුවන්නේ ඔබගේ විභාගය සම්බන්ධයෙන් පවතින චිත්ත ධෛර්යය බිඳ වැටෙන එක පමණි. ඔබ තුළ ඇති දැනුමින් උපරිම ප්‍රයෝජනයක්‌ ගන්නට කටයුතු කරන්න.

 ආගමික භක්‌තිය වැඩි කර ගන්න. ප්‍රතිපත්තිමය පූජාවක නියෑලෙන්න.

අප කාටත් කුමන හෝ ආගමික දර්ශනයක්‌ ඇත. ඒ ඒ ආගමට අනුකූලව තම තමන් ධර්මානුකූල ප්‍රතිපත්තියක්‌ මත මේ කාලය තුළ වැඩි වශයෙන් ගත කරන්න. තමාගෙන් අතීතයේ වුණු වැරැදි නිවැරැදි කරගෙන වර්තතමානයේ හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරන බව ඔබ ඔබගේම හදවතට තරයේම අධිෂ්ඨාන කරගන්න. ඒ ශක්‌තියෙන් ඔබගේ යටි සිතට යෝජනා කරන්න ඔබට විභාගයට හොඳින් මුහුණදීමට අවශ්‍ය ශක්‌තිය ලැබෙන්න යෑයි කියා. අධිෂ්ඨාන ශක්‌තිය ඉතාම ප්‍රබල රසායනයකි. විභාගයට යැමට පෙර දින ඒ ඒ ආගමික මධ්‍යස්‌ථානවලට ගොස්‌ ඒ ඒ ආගමික අනුගාමිකයන් වහන්සේලාගේ හා ධර්මයේ ආශිර්වාදය ලබා ගන්න. ඒ අනුව හැසිරීමෙන් ඔබට මහත් ආත්ම විශ්වාසයක්‌ ගොඩනඟා ගත හැකි වෙනවා නිසැකය.

නිවැසියන් සමග සහයෝගයෙන් කටයුතු කරන්න වග බලා ගන්න.

තම පවුලේ දෙමාපියන්ගේ හා සහෝදර සහෝදරියන්ගේ නොමද සහයෝගය ඔබට මේ දිනවල අත්‍යවශ්‍යම වෙයි. විශේෂයෙන්ම ඔබගේ මවගේ සහය ඔබට යෝධ ශක්‌තියක්‌ වෙයි. එබැවින් ඔබ ඒ උදවිය සමග ඉතාම සුහදශීලීව කටයුතු කරන්න. සාකච්ඡා කරන්න. ඔබ මුහුණ දෙන්නට යන විභාගයේ බැරූරුම්කම හා වටිනාකම ඔවුන්ට වටහා දෙන්න. විභාගය අවසන් වන තෙක්‌ වත් ඔබගේ දෛනික කටයුතුවලට උපකාර කරන මෙන් ඔබගේ නිවැසියන්ගෙන් ඉල්ලා සිටින්න. ඔවුන් සමග මොනයම් ම හේතුවක්‌ අරභයාවත් ගැටුම් ඇති කර ගන්න උත්සාහ දරන්න එපා. මවගේත් පියාගේත් නොමඳ සහය මේ දිනවල ඔබ ඉල්ලා සිටින්න.

විභාගයට පෙර දින සූදානම් වන ආකාරය - විභාගයට පෙර දිනය ඔබට ඉතාමත්ම තීරණාත්මක දිනයක්‌. මේ දිනය තුළ ඔබ කිසියම් ආකාරයක ආතතියකට ලක්‌ වෙනවා. ඔබට කෑම ගැනීම පවා බොහෝ විට එපා වෙන ස්‌වභාවයක්‌ එනවා. නින්ද නොයන තත්ත්වයකට පවා පත්වන්නට පුළුවන්. ඒක සාමාන්‍ය තත්ත්වයක්‌. ඒක තමයි මනෝ විද්‍යාඥයන් විභාග භීතිකාව ලෙස හඳුන්වන්නේ. ඒ තත්ත්වයට මමත් මුහුණ දීලා තියෙනවා. ඒ නිසා ඒ තත්ත්වය පිළිබඳ බරපතල ලෙස සිතන්නට එපා.

එදින සවස ඔබ ස්‌නානයෙන් වැළකී සිටින්න. 12 ට කලින් ඔබ ස්‌නානය කරන්න. හොඳින් ආහාර ගන්න. ඇඳුම් සූදානම් කරගන්න. සෑම ඇඳුමක්‌ම පිරිසිදුව සූදානම් කර තබාගන්න. ඔබගේ විභාග අයදුම් පත්‍රය, හැඳුනුම්පත, පෑන්, පැන්සල්, මකන කෑලි, අඩි රූල්, µයිල් කවර, බස්‌ රථයේ යන්නේ නම් ඊට අවශ්‍ය මුදල් ආදි සියල්ලම හොඳින් සූදානම් කර ගන්න. සවස ආගමික මධ්‍යස්‌ථානයකට ගොස්‌ ඒ වතාවත්වල නියෑලෙන්න. එදා රාත්‍රියේ හැකිතාක්‌ සැහැල්ලුවෙන් නිදාගන්න. ඔබගේ උඩු සිතේ විෂය කරුණු අමතකව තිබුණ ද විභාග ප්‍රශ්න පත්‍රය ලැබුණු සැනින් ඔබගේ යටි සිත අවදි වී ඔබට සියලු විෂය කරුණු ආවර්ජනය කර දේවි. ඒ නිසා විභාගයට පෙර දින සුවයෙන් නිදාගන්න.

විභාග ශාලාවේදී කටයුතු කරන ආකාරය - ඔබ විභාග ශාලාවට පැය 1/2 කට පෙර ගොස්‌ ඔබට හිමි ආසනය සොයාගන්න. ඒ සිsහිනය තුළ ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රයේ සටහන් වී ඇති අංකයම දැයි හොඳින් බලා නිවැරැදි කර ගන්න.

ඔබට ප්‍රශ්න පත්‍රය ලැබෙන තෙක්‌ ඔබ ඔබගේ ඉෂ්ට දේවතාවුන් සිහිකර ඔබට විභාගයට ඉතාම හොඳින් මුහුණ දීමට අවශ්‍ය ශක්‌තිය හා ධෛර්යය ලැබෙන්න යෑයි හොඳින් අධිෂ්ඨාන කර ගන්න. ඒ අවස්‌ථාවේදී ඔබ කිසිදු අයුරකින් චකිතයක්‌, තිගැස්‌මක්‌ හෝ කම්පනයක්‌ ඇති කර ගන්න එපා. ඔබ ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රය ඉතාම සිහි නුවණින් කියවන්න. පළමු වර කියවන විට ඔබ තෝරාගත යුතු යෑයි සිතෙන ප්‍රශ්න ඉදිරියෙන් පුංචි සලකුණක්‌ සටහන් කර ගන්න. ප්‍රශ්නයක උප කොටස්‌ කීපයක්‌ තියෙනවා. ඒවයින් සමහර උප කොටස්‌ ඔබට පහසු වුවත්, තවත් බොහොමයක්‌ කොටස්‌ අපහසු විය හැකියි. එබැවින් ප්‍රශ්නයක්‌ දුටු සැනින් තෝරා ගැනීමට ඉක්‌මන් නොවී වඩාත් අවබෝධයෙන් ප්‍රශ්න තෝරා ගැනීමට කටයුතු කරන්න. කොපමණ ඔබට දැනුම තිබුණද ඔබ තෝරා ගන්නා ප්‍රශ්න මත ඔබගේ ප්‍රතිඵලය තීරණය වන බැවිනි.

ඔබ ප්‍රස්‌ථාර අඳින විට හැකි තරම් සුමටව ඇඳීමට පුරුදු වන්න. පිළිතුරු පත්‍රය ඉතාම පිරිසිදුව පැහැදිලිව නිවැරැදි අංක පිළිවෙළට ඇමිණීමට කටයුතු කරන්න. වැඩිපුර ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමෙන් වළකින්නේ නම් එය ඔබට වඩාත් යහපත් යෑයි මට හැඟේ.

පළමු දින විභාගයට මුහුණ දීමෙන් පසු කාලය තුළ ඔබ ක්‍රියා කළ යුතු ආකාරය - ඔබ ප්‍රථම දිනයේ විභාගයට මුහුණ දීමෙන් පසු ඔබගේ විභාග භීතිකාව, විශාල ප්‍රමාණයකින් පහව යයි. එයින් පසුව ඔබට විශාල මානසික සහනයක්‌ ඇති වෙයි. නමුත් ඒ සහනය අඛණ්‌ඩවම පවත්වාගෙන අවශේෂ විෂයයන්ට සාර්ථකව මුහුණදීමට නම් ඔබ කලින් දින මුහුණ දුන් ප්‍රශ්න පත්‍රයේ කිසිදු ප්‍රශ්නයක්‌ පිළිබඳව කිසිවකු සමග සාකච්ඡා කිරීමෙන් වළකින්න. මක්‌ නිසාද යත් එහි වාසි අවාසි දෙකම පවතින බැවිනි. ඇතැම් විට ඔබ ලියා ඇති පිළිතුර සාර්ථක නම් ඔබ උද්දාමයට පත් වෙනවා සේම ඔබ ලියා ඇති පිළිතුර අසාර්ථක නම් ඔබ පසුගාමී තත්ත්වයට පත්වන බැවිනි. එබැවින් ඔබ මුහුණ දුන් ප්‍රශ්න පත්‍ර පිළිබඳව විභාගය අවසන් වනතෙක්‌ කිසිවකු සමග සාකච්ඡා කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ ගන්න. එය ඔබගේ විභාගය ඉතාම සාර්ථක කර ගැනීමේ ඵලදායීතම උපක්‍රමයයි.

ඉහතින් මා දැක්‌වූ කරුණු ඔබ හැකි තරම් ඉහළ මට්‌ටමින් පිළිපැදීමට උත්සාහ ගන්න. ඔබට ඔබ බලාපොරොත්තු වන සාර්ථක ප්‍රතිඵලයක්‌ ලබා ගැනීමට ශක්‌තිය, ධෛර්යය හා වාසනාව ලැබේවා.

විජිත ලංකා
කොළඹ ඩී. එස්‌. සේනානායක විද්‍යාලයේ
ආර්ථික විද්‍යා ආචාර්ය


http://www.divaina.com/2013/07/15/gurusitha01.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි