Tuesday, July 23, 2013

බොළඳ කටට කුමර ගී

ශ්‍රී ලාංකේය ළමා සාහි­ත්‍ය­යට විශිෂ්ට නිර්මාණ රැසක් දායාද කළ කුමා­ර­තුංග මුනි­දාස ශූරීන්ගේ ළමා කවි සම්භා­ර­යක් එක්රැස් කර­මින් ශාස්ත්‍රීය මෙන්ම උසස් මුද්‍රණ නිමා­ව­කින් ද යුතු ග්‍රන්ථ­යක් 2003 වසරේ දී ‘විසි­දුනු’ ප්‍රකා­ශන සමා­ගම විසින් කුමර ගී ඇතුළු ළමා පැදි නමින් ප්‍රකා­ශ­යට පත් කරන ලදී.

බළ සෙන­ඟට සමර ගී
සුර සබ­යට අමර ගී
සුවඳ මලට බමර ගී
බොළඳ කටට කුමර ගී


කුමර ගී ඇතුළු ළමා පැදි නම් වූ මේ ග්‍රන්ථ­යට පහත සඳ­හන් ග්‍රන්ථ වලින් උපුටා ගත් ළමා පැදි ඇතු­ළත් කර තිබිණි.
එනම් ස්වරා­ජ්‍යය 1922, කුමර ගී 1926, ශික්ෂා මාර්ගය 1933, පුරාණ සිංහල අකුරු කර­ණය 1935, අකුරු සැහැල්ල 1935, රසා­ය­නය 1936, කුමාර පද්‍ය සංග්‍ර­හය 1937, සුර කුම­රිය 1955, කුම­ර­තුඟු පැදි එක­තුව 1970 යන ඒවාය. මෙම ගතෙහි වටි­නා­ක­මට හේතු වූයේ එම මිහිරි ගී පාඨ­කයා වෙත නැවත සේව­නය කිරීම සඳහා ඉදි­රි­පත් කිරීම පම­ණක් නොවේ. එකල කුම­ර­තු­ඟු­වන්ගේ ග්‍රන්ථ­යන්හි නිද­ර්ශන චිත්‍ර නිර්මා­ණය කළ සුප්‍ර­සිද්ධ චිත්‍ර ශිල්පී ඇම්. සාර්ලිස්ගේ සිතු­වම් එප­රි­ද්දෙන්ම එම කාව්‍ය සංග්‍ර­හ­යට ඇතු­ළත් කර තිබීම ද එයට හේතු විය. එය එක් අත­කින් පැරණි සිතු­වම් සංර­ක්ෂ­ණය කිරී­මකි. එසේම ඉතා සෞම්‍ය මුද්‍ර­ණ­යක් මෙන්ම ඝන කවර බැම්ම­කින් ද ප්‍රකා­ශ­යට පත්කර තිබීම පිළි­බඳ විසි­දුනු ප්‍රකා­ශ­ක­යින්ට පාඨ­ක­යින්ගේ ප්‍රණා­මය හිමි විය යුතුය.
මෙම සද්කා­ර්ය­යෙහි ඉදිරි පිය­ව­රක් ලෙස පසු­ගිය වසරේ ඉහත කී ග්‍රන්ථ­ව­ලින් උපුටා ගත් ගී පැදි එක­තු­වක් වෙන වෙන ම ළමා පොත් වශ­යෙන් ප්‍රකා­ශ­යට පත් කිරීම ප්‍රශං­ස­නීය වේ. ප්‍රවීණ ළමා පොත් සැල­සුම් ශිල්පිණී සිබිල් වෙත්ත­සිං­හ­යන් විසින් මේ පොත් පෙළ සඳහා චිත්‍ර සැල­සුම් කර තිබීම තවත් විශේ­ෂ­යකි.
කුම­ර­තු­ඟු­වන්ගේ ‘ශික්ෂා මාර්ගය’ ‘කිය­වන නුවණ’ වැනි පාඨ­ශා­ලීය ග්‍රන්ථ­ව­ලින් උපුටා ගත් ‘දොරට වැඩුම’ ‘සිරි­මත්’ ‘මලෙක මලක’ ‘හා හා හරි හාවා’ ‘ගොඩ ඉතා ලොකු සතා’ සහ ‘නැළ­විල්ල’ වැනි කාව්‍ය පංති වෙන වෙනම සිතු­වම් සහිත කුඩා පොත් වශ­යෙන් ඉතා රම­ණීය ලෙස විසි­දුනු ප්‍රකා­ශන සමා­ගම විසින්ම ප්‍රකා­ශ­යට පත් කර තිබේ.
මේ කෘතීන්හි කාව්‍ය­මය ගුණය මෙන්ම සිබිල් විසින් ඉදි­රි­පත් කර ඇති නව­තම සිතු­වම් නිසා ද මෙහි අගය තවත් තීව්‍ර වී ඇත.
මේ කෘතීන් අතර දොරට වැඩු­මෙහි චිත්‍ර සැල­සුම වඩා උසස් තත්ත්ව­යක තිබේ. නිව­සක ආලි­න්ද­යට ආස­න්නව පිහිටි තල් පැල­යක අත්තක තැනූ කුරුලු කැදැ­ල්ලක පැණි කුරුලු යුව­ළ­කගේ පැට­වුන් දෙදෙනා දොරට වැඩීම පිළි­බ­ඳව කාව්‍ය­මය සංක­ල්ප­නා­වක් මේ පද්‍ය පන්තියේ අන්ත­ර්ගත ය. කුරුලු පැටවු දෙදෙනා කුරුලු දෙම­ව්පි­යන් සෙව­නෙහි වැසී සුළං­ව­ලින් ආරක්ෂා වී සිට දොරට වැඩී­මෙන් පසු වලා­කුළු අත­රින් නිල් අහස් තලයේ පියා­ස­ල­මින් ඉගි­ළෙන සැටි ඒ ග්‍රන්ථයේ කවර සිත්ත­මින් ඉතා මැන­වින් නිරූ­ප­ණය කොට ඇත. ඒ තුළින් පෙනී යන්නේ සිබිල් මෙම කාව්‍යයේ රසය හඳු­නා­ගෙන ඉතාම උචිත ලෙස තම සිතු­වම් ශෛලි­යෙන් මේ චිත්‍ර සැල­සුම් ඉදි­රි­පත් කර ඇති බවයි.
බොහෝ ග්‍රන්ථ විචා­ර­කයෝ කවි පිළි­බඳ ව කථා කරති. එහෙත් චිත්‍ර ගැන කතා නොක­රති. ඒ දෙක ම කතා කළ ද පිට­ක­ව­රය පිළි­බඳ ව උන­න්දු­වක් නොද­ක්වති. ඕනෑ ම කෙන­කුට මුලින් ම දිස්වන්නේ පොතක පිට­ක­ව­ර­යයි. පිට­ක­ව­රය වුවද දෙපැ­ත්තක් ඇති බව බොහෝ දෙනා අම­තක කරති. පිට­ක­ව­රය නිර්මා­ණය කරන සැල­සුම් ශිල්පියා කව­රයේ ඉදි­රි­පස මෙන්ම පසු පිටුව පිළි­බ­ඳව ද සැල­කි­ලි­මත් විය යුතු ය. සිබිල් පොත්වල පිට­ක­ව­රය නිර්මා­ණය කිරීමේ දී කව­රයේ දෙපැත්ත ම උප­රීම ලෙස භාවිත කර­මින් ඉතා ම අර්ථ­වත් මෙන්ම නිර්මා­ණා­ත්මක ලෙස ද සැල­සුම් කරන්නී ය. ‘දොරටු වැඩුම’ පොතෙහි කව­රය ද ඊට කදිම නිද­සු­නකි.
වැසි සුළං ආදි­යෙන් කුරුලු පැට­වු­නට දැඩි ආර­ක්ෂා­වක් දෙන කුරුලු පවුලේ කැදැල්ල පිට­ක­ව­රයේ පිටු­ප­ස­ටත් දොරට වැඩු­මෙන් පසු කුරුලු පැට­වුන් වලා­කුළු සහිත නිල් අහ­ස්ත­ලයේ ඉගිළී යන ආකා­රය ඉදි­රි­ප­ස­ටත් යෙදී­මෙන් කාව්‍යයේ අර්ථය තීව්‍ර කරයි.

උදෑ­සන ම කිමැ ඉර අද
කුරුළු ගෙදරැ මඟු­ලක් වෙද
සුබ‍ ­මො­හො­තක් ළඟ යැ නොමඳ
යව රැස් මට පළමු විහිද


පොතක් දිග­හැ­රෙන විට පාඨ­ක­යාට පොතේ පිටු දෙක ම එක­වර පෙනේ. ඒ නිසා පිටු දෙක ම එක සිතු­ව­මක් ලෙස යොදා ගනි­මින් මේ පොතේ ඉහත සඳ­හන් පළමු කවිය සිතු­ව­මට නඟා ඇත්තේ උදෑ­සන රන් වන් හිරු රැස් ගෙමි­දු­ලට වැටෙන අයුරු දැක්වී­මෙනි. නිව­සට යාබ­දව පිහිටි තල් පැළය සහ කුරුලු කැදැල්ල සිතු­වම් කොට ඇත්තේ පාඨ­ක­යාගේ වැඩි අව­ධා­න­යට යොමු­වන සමීප රූප­යක් ලෙසිනි. කුරුලු කැදැල්ල සහිත තල් පැළය මෙහි චිත්‍ර සංර­ච­න­යට අලං­කා­ර­යක් ගෙන දී ඇත.
කුරුලු පැටි­යාගේ දොරට වැඩීමේ මඟු­ලට සුළ­ඟට ලැබුණු ආරා­ධ­නය මෙම සිතු­වම් තුළින් සිබිල් ඉතා රිද්ම­යා­නු­කූල වර්ණ සම්පි­ණ්ඩ­න­ය­කින් පෙන්වා ඇත. සුදෝ සුදු වලා­කුළු කවියා දකින්නේ කුරුලු පැට­වුන්ගේ මඟු­ලට සුදුසු වර්ණ­යෙන් සැරසී පැමිණි අය ලෙසිනි. කළු පාට මඟු­ලට කළු නොනිසි බැවිනි. උදෑ­සන ගෙවත්තේ පිපී එන මල් පොකුරු කවියා දකින්නේ කුරුලු පැට­වුන් දොරට වඩින මඟු­ලට ඇර­යුම් ලැබුණු අමු­ත්තන් ලෙසිනි. වලා­කුළු සහ මල් සතු­ටින් සිනා මුහු­ණ­කින් සිටින බවක් පෙනේ.

කුසු­මෙනි ඇයි සෙන්නේ සිනා
නැත් නම් මඟු­ලට නොමනා
පැට­වුන් එළි­යට වඩනා
සැටි බල­මුව අපි දු පිනා


අවට පරි­ස­රය කවියා දකින්නේ පැට­වුන් දොරට වඩින මඟු­ලට ආරා­ධනා ලැබ පැමිණි අය ලෙසිනි. සුදෝ සුදු වලා පෙළත් සිනා මුහු­ණු­ව­ලින් යුතු මල් ගොමු­වත් සිබිල් සිතු­ව­මට නඟන්නේ උචිත වර්ණ තල­යක් මත සියුම් සරල රේඛා භාවිත කර­මිනි. සිත්ත­රා­විය මෙහිදී වලා­කුළු සහ මල් ගොමු­වට ජීව­යක් දී ඇති බව පෙනේ.
1948 වසරේ දී ප්‍රකා­ශ­යට පත්වූ පාඨ­ශාලා අති­රේක කිය­වීම් පොතක් වූ “පද්‍ය රසය” 2 වැනි පොතෙහි “සපු­මල සහ බඹරා” නමැති කව් පෙළ සඳහා සිබිල් වෙත්ත­සිංහ විසින් නිර්මා­ණය කර තිබූ සිතු­වම මෙහිදී සිහි­පත් වේ.

මඟුල් ගෙදර හඬක් ඇසී
විසි­තුරු ඇඳු­මෙන් සැරසී
ගී ගය­වුද සිනා සිසී
කුරුලු යහ­ළු­වෙනි එකසී


අපගෙ දරු­වන් එළි­යට
වඩනා මේ දවසේ අපට
නැත්තේ නම් මහත් සතුට
ඔබට ද ඇත්තේ සැබ­වට


සිබිල් මෙම කවි සඳහා පොතේ පිටු දෙක ගළපා ඇත්තේ ඉතාම විචිත්‍ර ලෙස ය. විසි­තුරු ඇඳු­මෙන් සැරසී ගසක අතු­ප­තර වසා සිටින විවිධ වර්ණ­වත් කුරු­ල්ලන් සතු­ටින් ගී ගයන අයුරු චිත්‍ර­වත් කර ඇත.
කොළ පැහැති සිහින් අතු­ප­තර මත හිඳ ගී ගයන කුරු­ල්ලන්ගේ සැහැල්ලු භාවය සිතු­වම් කර ඇති අතර අනෙක් පිටුවේ තල් ගසෙහි කොළ අතු වලින් වෙන් කර අදාළ පරිදි සිතු­ව­මෙහි සම­බ­ර­තා­වය තහ­වුරු කර ඇත. සිත්ත­රා­වි­යගේ රේඛා රිද්ම­යෙහි ගීත­වත් භාව­යක් දන­වයි. යාබද පිටු­වෙහි තල් අතු මත කුරුලු දෙම­හ­ල්ලන් සමඟ ඇති­වන ගීත­මය සංවා­දය කාව්‍ය අර්ථය නිද­ර්ශ­නය කරයි.
පොතක පිටු සැල­සු­මක් වශ­යෙන් මෙහි ඇති උසස් භාවය රැඳී ඇත්තේ සිත්ත­රා­විය විසින් පිටු­වට ලබා දී ඇති අව­කා­ශය මත ය.
කුරුලු දරු­වන්ගේ දොරට වැඩුම සිදු­වන්නේ අව­සාන පිටු දෙකෙ­හිදී ය.

නැකැත හොඳයි කී යැ පියා
මව ඉන් ඉදි­රි­යට ගියා
මගැ හැම වස් දොස් හැරියා
එක පැටි­යෙක් හැඹී පියා


නැකත හොඳ බව කුරුලු පියා කියන විට සුබ පෙර නිමිත්ත සේ ඉදිරියට යාමට සුදුසු වන්නේ කුරුලු මවය. ඒ සමඟ ම එක පැටි­යකු ඉගිළී යන සැටි සිබිල් අපූ­රු­වට ඉදි­රි­පත් කර ඇත.
දෙවැනි කුරුලු පැටවා ද පියා­ප­තින් වැඩ­ගත් සැටි දෙවැනි පිටු­වෙන් දැක්වෙයි.

පසු වැ පැමිණි සුබ මොහො­තින්
දෙවැ­නියා ද පියා පතින්
වැඩ­ගත් පැමි­ණියෝ හිතින්
සිතට සතුටු යැවූ නෙතින්


චිත්‍ර­යට දෙවැනි නොවූ කවි­යත්, කවි­යට දෙවැනි නොවූ චිත්‍ර­යත් එකට එක්වූ මෙවන් ග්‍රන්ථ­යක් කුඩා දරු­වන් මතු නොව වැඩි­හි­ටි­යන් ද රස ලෝක­ය­කට කැඳ­වා­ගෙන යයි. මේ කුඩා­ගත මහා කවි කුමා­ර­තුංග මුනි­දා­ස­යන් සහ ප්‍රවීණ චිත්‍ර ශිල්පී සිබිල් වෙත්ත­සිං­හ­යන්ගේ අපූරු සුසං­යෝ­ග­යක් ම වන්නේ ය. ළම­යින් සඳහා නිර්මා­ණය කරන පොත් ඉතා සුන්දර විය යුතු ය. මේ ගතෙහි අන්ත­ර්ග­තය සඳහා තෝරා­ගෙන තිබෙන්නේ කුම­ර­තු­ඟු­වන්ගේ උසස් ම කවි පෙළකි. චිත්‍ර සැල­සුම් සඳහා තෝරා­ගෙන තිබෙන්නේ අග්‍ර­ගණ්‍ය චිත්‍ර ශිල්පි­නි­යක වන ආචාර්ය සිබිල් වෙත්ත­සිං­හ­යන් ය.
මේ වටිනා කවි සිත්තම් නව පර­පුර වෙත ගෙන යාමට විසි­දුනු ප්‍රකා­ශ­ක­යන් ගත් උත්සා­හය ඉතා ප්‍රශං­ස­නීය වේ. උසස් නිමා­ව­කින් මේ පොත් මුද්‍ර­ණය කර ප්‍රකා­ශ­යට පත් කිරීම විසි­දුනු ප්‍රකා­ශ­ක­යන්ගේ වැද­ගත් මෙහෙ­ව­රකි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි