දැය කැළැඹවූ නිහඬ ප්‍රඥ සම්පන්න ගැඹුරු ගැටුමක ප්‍රතිඵලය කැලණියේ ගුරුකුල විද්‍යාලයයි. එබැවින්ම මේ ගුරුකුලය තවත් එක් විදුහලක් නම් නො වේ.
එහි ප්‍රභවය වීරෝදාර ය. සටන්කාමීය. ආන්දොaලනාත්මක ය. සාරගර්භ ය. ගුරුකුලයේ නිජබිම පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන් පින්බිම ය. එයට කලින් එහි පවත්වා ගෙන එනු ලැබුයේ කැලණියේ වරාගොඩ පාරේ (කැලණි රජමහා විහාර මාවත) ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයයි. විද්‍යාලංකාර මහ පිරිවෙන්පතිව එවකට වැඩ විසූ අතිපූජ්‍ය රත්මලානේ ශ්‍රී ධම්මාරාම යතීන්ද්‍රයන් වහන්සේ විසින් එය අරඹන ලද්දේ සිය ගුරු දේවෝත්තම අතිපූජ්‍ය රත්මලානේ ශ්‍රී ධම්මාලෝක මහ නාහිමියන් සිහිපත් වීම සඳහා ය.
1947 දී පැනනැගුණු භික්‌ෂු දේශපාලන ආන්දොaලනය නිසා ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් පිරිවෙන පාලනය කළ විද්‍යාලංකාර පාලක සභාව ධර්මාලෝකය එම පින්බිමෙන් උදුරාගෙන වරාගොඩට ගෙන ගියාය.
ධර්මාලෝකයේ එවකට විදුහල්පතිධුරය හෙබවූයේ මෙරට පුවත්පත් කලාවේ දැවැන්තයකු වූ ඩී. බී. ධනපාල මහතාය. ධනපාල මහතා ද විද්‍යාලංකාර සභාව මගින් විදුහල්පති ධුරයෙන් නෙරපා හරින ලදී.
එවකට කැලණිය මහජන මන්ත්‍රීවරයා වූ පසුව මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත් ඡේ. ආර්. ජයවර්ධන මහතා විද්‍යාලංකාර දේශපාලන භික්‌ෂු ප්‍රතිපත්තියට එරෙහිව ඇවිළ වූ මේ සටනේ ප්‍රබල නායකයා විය.
මේ පිළිබඳ සත්‍ය තොරතුරු සඳහන් සමකාලීන ඓතිහාසික වාර්තා එමට ය. විද්‍යාලංකාර පවතේ එය ගලේ කෙටු සටහනකි. ඊට අමතරව එදා ධර්මාලෝක විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යයකු වූ ප්‍රවීන පුවත්පත් කලාවේදී ධර්මසිරි ජයකොඩි මහතා 'සැඩනළ හා ගිනි සිළ' නමැති සිය මාහැඟි ග්‍රන්ථයේ මේ සිද්ධීන් ඉතා සවිස්‌තරාත්මකව සඳහන් කර ඇත. ඒ ගැන වැඩි විස්‌තර මෙතැනට අවශ්‍ය නැත. කෙසේ වෙතත් ඉතාමත් ප්‍රකට ගුවන්විදුලි ශිල්පියකු ද වූ ධර්මාලෝකයේ ශිෂ්‍ය එච්. ඩී. විජයදාස මහතා විද්‍යාලංකාර පාර්ශ්වය ගෙන එහිදී මහත් අතවරයකට ද මුහුණ පෑවේය.
විද්‍යාලංකාර පාලක සභාවේ ප්‍රබලයකු වූ ශ්‍රීමත් නිකලස් ආටිගල ශ්‍රීමත් ඩී. බී. ජයතිලක ආදීහු මේ සටනේදී විද්‍යාලංකාරය වෙනුවෙන් නොසැලී සිටියහ.
එවකට විද්‍යාලංකාර පරිවෙනාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥසාර මහ නාහිමිපාණන් වහන්සේගේ ද අනුශාසනා පෙරදැරිව මෙරට අධිරාජ්‍ය විරෝධී ප්‍රගතිශීලී සඟපරපුර බැබළවූ ගිනිසිළු මෙන් වැජඹුණ නාත්තන්ඩියේ පඤ්Æකර, කොටහේනේ පඤ්ඤකිත්ති, බඹරැන්දේ සිරි සීවලි, වල්පොල රාහුල, කළුපහණ රේවත, ගල්මුරුවේ පඤ්ඤරතන ආදී යතීන්ද්‍රයන් වහන්සේලා ද පිරිවරාගෙන අභියෝගයේදී පසු නොබසින අභීත සිහරදකු බඳු විද්‍යාලංකාර පරිවෙනාධ්‍යක්‌ෂ අතිපූජ්‍ය යක්‌කඩුවේ ශ්‍රී ප්‍රඥරාම නාහිමිපාණෝ ධර්මාලෝකය වෙනුවට ඒ මහ පින්බිමේම ගුරුකුල විදුහල ස්‌ථාපිත කළහ.
එහෙත් උන්වහන්සේ ගුරුකුලය ආරම්භ කළේ ඉංගී්‍රසි මාධ්‍යයෙන් ඉගැන්වූ ඉංගී්‍රසි විදුහලක් වෙනුවට පටන්ගත් තවත් ඉංගී්‍රසි විදුහලක් හැටියට නම් නොවේ.
බෞද්ධ සිංහල ආකල්පයන්ගෙන් යුත් පිරිපුන් මනසකින් සැදුනු නිදහස්‌ව නොවහල්ව සිතන මතන අධිරාජ්‍යවාදයටත්, රදළවාදයටත්, ධනවාදයටත් ගැති නොවූ ප්‍රගතිශීලී චින්තනයකින් සන්නද්ධ සැබෑ දේශප්‍රේමී හොඳින් ඉංගී්‍රසියද උගත් ලාංකීය පුරවැසි පරපුරක් රටට දායාද කරදීමේ අධිෂ්ඨානයෙන් යුතුවය.
1948 ජුලි 01 වැනිදාට යෙදුණු සුබ මොහොතින් ගුරුකුල විදුහල ආරම්භ විය. එහි පළමුවන විදුහල්පතිවරයා වූයේ නැසි ගිය බී. ඡේ. ඒ. ප්‍රනාන්දු මහතා ය. භක්‌තිමත් කතෝලිකයකු වූ ප්‍රනාන්දු මහතා පසුව විද්‍යාලංකාරයේ බෞද්ධ සම්ප්‍රදායට අනුව හැඩගැසුණේ බලපෑමකින් නොව නිරායාසයෙනි. ගුරුකුල සංවත්සර කලාපයකට යක්‌කඩුවේ මහ නාහිමියන් විසින් "අයියෝ බර්ටි" යන හිසින් ලියා ඇති ඉතාමත් අව්‍යාජ වූත් අනුවේදනීය වූත් ලිපියේ ඔහුගේ චරිතය අපූරුවට ගෙනහැර දක්‌වා ඇත.
අති පූජ්‍ය මඩිහේ පඤ්Æසීහ මහනාහිමිපාණන් වහන්සේගේ අනුප්‍රාප්තිකව ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහනායක පදවියෙන් සම්භාවිත වූ අග්ගමහා පණ්‌ඩිත විෙද්‍යාදය ශ්‍රී සුමංගල විද්‍යාවතංශ අතිපූජ්‍ය බෝයගම විමලසිරි මහ නාහිමි, විද්‍යාලංකාර පිරිවෙනේම ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයාණන් කෙනෙකුන් වූ අතිපූජ්‍ය බටදූවේ සිද්ධාර්ථ මහනාහිමි, මෙරට ජනමාධ්‍ය කලා ක්‍ෂේත්‍රය බැබළවූ එච්. ඩී. විජයදාස, ඇල්ප්‍රඩ් පෙරේරා, ධර්මා පෙරේරා ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් දාහතර දෙනා ගුරුකුලයේ ප්‍රථම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වූහ.
බී. ඡේ. ඒ. ප්‍රනාන්දු මහතාගෙන් පසුව ගුරුකුල විදුහල්පතිධුරයට පත්වූයේ ඉන්පසුව විද්‍යාලංකාර සරසවියේ උප පුස්‌තකාලයාධිපති වූ ටී. ජී. පියදාස ගුරු පියාණෝය. මෙම යුගයේදී ගුරුකුලය අතිශයින් බැබළෙන්නට විය. ශිෂ්‍ය සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි විය. පේරාදෙණියට මුල්වරට ගුරුකුලයෙන් සරසවි වරම් ලැබුවේ මේ යුගයේදීය. පූජ්‍ය ගල්ගමුවේ සෝමාරාම, කළුපහණ රේවත ආදී ස්‌වාමීන් වහන්සේලා ද ඒ අතර වූහ. රංගනයට, ගායනයට, ලේඛනයට, කවියට, චිත්‍රයට, සිනමාවට, නවීන විද්‍යාවට, රටේ පරිපාලනයට සහජ දස්‌කම් දක්‌වා රටම බැබළවූ පුතුන් රැසක් එතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්‌ඩලයේ මෙහෙයවීමෙන් එදවස ගුරුකුල මවු උණුසුමේ සිප් සතර හැදැරූහ. අග්‍රගන්‍ය සිනමා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය එයින් එක් අයෙකු පමණි.
මැති ඇමැතිවරුන් ඉදිරියේ දෙකට තුනට නොනැමී කොන්ද කෙළින් තියාගෙන විද්‍යාලංකාර සම්ප්‍රදායත් ගුරුකුල ගමන් මගත් අභීතව ඉදිරිපත් කළ ඔහුගේ චතුර භාෂණයත්, ව්‍යක්‌ත ලේඛනයත් ගුරුකුල ඉතිහාසයේ සෙල්ලිපි ලෙසින් සටහන්ව ඇත.
ටී. ජී. පියදාසයන්ගෙන් පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයාව පත්ව ආවේ ශ්‍රී ලංකාවේ ප්‍රකට සාහිත්‍යධරයකු, විචාරකයකු පරිපාලන නිලධාරියකු ඒ හැමටමත් වඩා චිරප්‍රසිද්ධ සංස්‌කෘති සඟරාවේ කතුවර අමරදාස වීරසිංහ මහතාණන් ය. ඔහුගේ සේවා කාලය ඉතා කෙටි වුවද ඔහු යටතේ ද විදුලකර සම්ප්‍රදායයත් ගුරුකුල උරුමයත් උද්දීපනය විය.
එයින් පසුව ඩබ්. බී. ද සේරම්, පූජ්‍ය උඩුවාවල චන්දානන්ද නාහිමි, ඩී. ඒ. රාමනායක, ආර්. පී. ඇම්. එම්. රාජපක්‍ෂ, විමල් ගුණරත්න ආදීහු වත්මන් විදුහල්පති අනිල් ගීතලාල් අභයගුණවර්ධන මහතා විදුහල්පති පත්ව එන තැන් දක්‌වා එම පදවිය දැරූහ.
මේ අය අතුරෙන් පසුකලෙක පූජනීය ශ්‍රී දළදා මාලිගාවේ තේවා ධුරය හෙබැවූ අපවත් වී වදාළ චන්දානන්ද හිමිපාණන්ගේ සේවා කාලය වැටී තිබූ ගුරුකුලය යළිත් සිය ආවේණික පෞරුෂයෙන් හා අභිමානයෙන් නැගී සිටින කාලපරිච්ඡේදයක් විය.
කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ගුරු වෘත්තියේ යෙදී සිටි උන්වහන්සේ මෙහි වැඩම කර වැඩ භාරගන්නා ලද්දේ 1971 පැනනැගුණු අඳුරු සමයේදී බලවත් අවුල් වියවුල් තත්ත්වයකට ඇදවැටී අරාජිකව පැවති ගුරුකුලය එයින් ගොඩගෙන නැවත පුනරුත්ථාපනය කිරීමේ දැඩි අධිෂ්ඨානයෙනි.
මේ කාලපරිච්ඡේදයේදී ශිෂ්‍ය සංඛ්‍යාව, විභාග ප්‍රතිඵල, බාහිර ක්‍රියාකාරකම්, කලා හා ක්‍රීඩා කුසලතා, පුස්‌තකාල පහසුකම් ගොඩනැඟිලි සංවර්ධනය ආදී සෑම අංශයකින්ම ගුරුකුලය ඉහළට නැංවී අඳුරු කාලවකවානුව අතික්‍රමණය විය. දැන් ගුරුකුල විදුහල්පති ධුරය හොබවන්නේ ඡේ. ඒ. අනිල් ගීතලාල් අභය ගුණවර්ධන මහතාය. විනය, නිදහස් නිවහල් චින්තනය, අධ්‍යාපනය, විභාග ප්‍රතිඵල, කලා කුසලතා, ක්‍රීඩා ජයග්‍රහණ, පරිසර හා සෞඛ්‍ය සංරක්‌ෂණය, ගොඩනැඟිලි සංවර්ධනය ආදී සියලු අංශයන්ගෙන් ගුරුකුල විදුහල් මාතාව එතුමා යටතේ අද වොරැඳෙන්නේ උපරිම ඉහළ තලයක ය.
ගුරුදෙගුරු සම්බන්ධතාව ආදී ශිෂ්‍ය පරපුරේ සමීප සහයෝගීත්වය පොදුජන ඇල්ම බැල්ම අතින්ද මතු වී ඇත්තේ ඉමහත් ප්‍රබෝධයකි.
කවියට, ගීතයට, ලේඛනයට, රංගනයට, සිනමාවට, කෘෂිකර්මයට, පරිපාලනයට, ව්‍යාපාර ක්‍ෂේත්‍රයට ජාතික මට්‌ටමෙන් විශිෂ්ට යුග මෙහෙවරක් ඉටුකළ ගුරුකුල ආදී සිසු සිසුවියන් රැසකට ගුරුකුල රත්න විභූෂණ යන මාහැඟි සම්මානය සම්භාවනීයත්වයෙන් යුතුව පිරිනමා හෙතෙම ඒ හැම දෙනාම තව තවත් දිරිමත් කිරීමෙහිලා සඳහන් කළ යුත්තේ කෘතගුණ පූර්වකය.
ජවන හා පිටිය ක්‍රීඩා කුසලතා අතින් ගුරුකුල ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගෙන ඇතත් එහි ක්‍රීඩාංගණය විධිමත්ව සකස් කර ගැනීම වත්මන් විදුහල්පතිතුමාට මුහුණ දීමට ඇති ප්‍රබල අභියෝගයකි.
ගුරුකුලය දැන් පිහිටා තිබෙන කැලණිය දුම්රියපළ පාරේ පත්තායම් වත්තට ගෙන ආ කාලයේදීම විදුහලට අයත් භූමි භාගයෙන් විශාල ප්‍රමාණයක් බලලෝභී දේශපාලන නායකත්වයේ බලපෑමෙන් විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ආක්‍රමණය කිරීමේ හේතුවෙන් අදටත් ගුරුකුල සිසු දරු දැරියන් මුහුණපාන දුෂ්කරතා ඉමහත්ය.
ගුරුකුලය සිය හැටපස්‌වන සංවත්සරය පවත්වන මේ අවස්‌ථාවේදීවත් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ මේ සන්ධාන රජයේ වගකිව යුත්තන්ගේ බලවත් අවධානය මේ සඳහා යොමු විය යුතුය. ගුරුකුල විදුහල් භූමියට කඩාවැදී ඇති ටෙලිකොම් ආයතනය එතැනින් වහා ඉවත් කර දැමීම ගුරුකුලයේ උන්නතිය පතන ගුරු දෙගුරු ආදි සිසු ආදී සියල්ලන්ගේම ඒකායන ඉල්ලීම සහ බලාපොරොත්තුවයි.
ගුරුකුලය, ජාතික සම්පතකි. එය රැකගැනීම ඔබ හැමගේ ජාතික යුතුකමකි.
ගුරුකුල රත්න විභූෂණ
දයාරත්න රණේපුර
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි