Saturday, July 20, 2013

කට ඇරියොත් වචන ඔබනවා

අතුල රන්සිරිලාල්

කට ඇරියොත් වචන ඔබනවා. 
මෙහෙමයි අපේ කාර්යාලයේ තියෙන්නේ. 
එහෙම ලිව්වේ ‘ටයි මහත්තයා’

ජාතික රූපවාහිනියේ හැමෝම මේ අපූරු මිනිසාව හැඳින් වූයේ එහෙමයි. 1984 දී ජාතික රූපවාහිනියේදී ඔහුට මාව මුණ ගැහෙන කොට මම හිටියේ නිෂ්පාදන පුහුණු වන්නන් කණ්ඩායමේ. මේ දවස්වල ‘දොස්තර හොඳ හිත’ කාටුන් වැඩසටහනේ පෙළ දෙබස් කවන්න කටයුතු සූදානම් කරලා.
‘උඹ එන්න කැමැති ද මගෙත් එක්ක’
දවසක් මගෙන් ටයි මහත්තයා ඇහුවා.
අපි රූපවාහිනියට බැෙඳන කාලේ ටයි මහත්තයා ළඟ වැඩ කරන එක විශාල ගෞරවයක්. ඒ වගේම ඒක හරිම අමාරු වැඩක්. බොහෝ දෙනෙක් ඒ ඒකකයට යන්න සිද්ධ වෙන එක සැලකුවේ තමන්ගේ ජීවිතයටම ලැබුණු දඬුවමක් විදියටයි. කොහොම වුණත් ටයි මහත්තයා කළ මේ යෝජනාවට ගුරුහුරුකම් ගත්තේ මගේ අති ජාත මිත්‍රයන් වුණු ගාමිණී මාතර ආරච්චි වගේම පාලිත ප්‍රනාන්දුගෙන්.
‘මචං උඹ පලයන්. ඔය උඹ යන්නේ කවදාවත්ම වරදින්නේ නැති ගමනක්.’
ඒ දෙන්න එදා මට කිව්වා.
ඔන්න ඔය විදියටයි මම ටයි මහත්තයා ළඟට ගියේ.
මීට කලින් ඉඳලා ටයි මහත්තයත්, මමත් අතර පුංචි යාළුකමක් තිබුණා. ඒ දොස්තර හොඳ හිතට ඕන ලා තණ කොළ පෙත්තාස් ගීත කණ්ඩායම හොයන කාලයේ. මේ අපූරු වැඩේ ටයි මහත්තයා මට පැවරුවා. මම ඒ දවස්වල හිටියේ මඩවල එස්. රත්නායක මහත්තයා ගාවට වෙලා. කොහොම වුණත් එතුමා ළඟ වැඩ කරන අතරතුර ‘ලා තණකොළ පෙත්තාස්’ ගීත කණ්ඩායම හොයා ගන්නේ කොහොමද කියලා දස අතේ කල්පනා කළා. මගේ මතකයට ආවේ මම උගන්වන කළුබෝවිල සම්බුද්ධ ජයන්ති දහම් පාසලයි. මගේ ළඟ හිටියා සමස්ත ලංකා හැම ගායන තරගයකින්ම අංක එක ලබා ගත්ත භක්ති ගීත කණ්ඩායමක්.
‘අපූරු කණ්ඩායම’
ඒ කණ්ඩායම ජාතික රූපවාහිනියට ගෙනාවා. දීපිකා ප්‍රියදර්ශනී, රසාදරී පීරිස්, රවීන්ද්‍ර මුණසිංහ කියන අද ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වය හිමි කර ගෙන සිටින බොහෝ දෙනෙක් එතන හිටියා.
හඬ කැවිම් ඒකකය එදා අද තරම් විශාල ප්‍රමාණයක තැනක් නෙමෙයි. කබඩ් දෙකකින් වෙන් කරලා තිබුණු පුංචි කෑල්ලක තමයි ඔබ මේ තරම් ආදරය කරන කාටුන් කාර්යාලය ගොඩ නැඟුණේ. මිලි මීටර් 16 ක සංස්කරණ යන්ත්‍රයක් තියාගෙන ටයි මහත්තයා වැඩේ පටන් ගත්තේ.
ටයි මහත්තයා චිත්‍රපටය බලලා ගැළපෙන දෙබස් කියනවා, මම ලියනවා. වෙලාවකදී කියපු දෙබසක් අයෙත් වෙනස් කරලා ඊටත් වඩා රසවත්ව කියනවා. මම දැනගන්න ඕන මේක කිව්වේ කලින් දෙබස වෙනුවට කියලා. එහෙම නොවුණොත් කෝටියක බැනුම් අහන්න අපි ඉන්නේ සූදානම් ශරීරෙන්.
මේ විදියට දොස්තර හොඳ හිත පිටපතක් අඩුම ගණනේ සති දෙකක් විතරවත් මුල ඉඳලා ලියන්න මම සූදානම්. ඒතරම් ජීවයක් ඒ කාටුන්වල තියෙන්නේ ඒ නිසා කියලා අපට හිතෙන්නේ දැන් තමයි.
මේ කාටුන්වල ගීත නිර්මාණයෙත් අපූරු ඉතිහාසයක් හැංඟිලා. ඔහු මේ කාටුන්වල තියෙන ඉංග්‍රිසි ගීතය සම්පූර්ණයෙන්ම අරන් දමනවා. මොකක් හරි කොළයක කුරුටු ගානවා. ‘අතුල, ප්‍රේමකීර්ති ළඟට අරන් ගිහින් හදාගෙන වරෙන්’. මමත්, අනුරත් මේ කොළය අරගෙන ප්‍රේමකීර්ති මහත්තයා ළඟට දුවනවා. ආයෙත් එනවා. ආයෙත් යනවා. ඔහොම ඉඳලා ඉඳලා කොහොම හරි ඔන්න ප්‍රේමකීර්ති ගන්නවා ටයිප් රයිටරේ, ඔහුම ටයිප් කරනවා.
‘අපි හැදුනේ රට රකින්න බැහැයි කියලා බෑ
රට වෙනුවෙන් වැඩ කරන්න බැහැයි කියල බෑ
යුතුකම් ඇත ඉටු කරන්න බැහැයි කියල බෑ
පුතේ දුවේ කිසිම දෙයක් බැහැයි කියලා බෑ’
සෝමසිරි ඉලේසිංහ මාස්ටර් මේකට තනුවක් දානවා. ඔන්න ඔහොමයි ලොකු පොඩි හැමෝම අදත් ආදරය කරන දොස්තර හොඳ හිත, පිස්සු පූසා වගේ කාටුන් බිහි වුණේ.
වෙලාවට වැඩ කරන්න වගේම තමන් කරන කාර්ය අවංකව පූර්ව සූදානමක් ඇතිව කරන්න ඉගෙන ගත්තේ ටයි මහත්තයගෙන්. කොයි තරම් රෑ වෙලා නිදා ගත්තත් උදේ 5 ට වැඩට එනවා. ඒ වෙන කොට අපිත් එන්න ඕන. නැත්නම් විනාසයි. ඊළඟ දවසේ පටිගත කිරීම් නම් අද ඉවර වෙන පිටපතට අනුව ලූප් කඩලා මුල් පිටපත කාබන් කොපි තියලා පිටපත් කරන්න ඕන. ඒක කරන්නෙත් 9.00 ට විතර වැඩ ඉවර වෙලා ගෙදරදී. එහෙම නොවුණොත් ඊළඟ දවසට ගෝරි ගොඩයි. පෙර සූදානමක් ඇතිව මේ විදියට වැඩ කරන්න කියලා දුන්නේ ටයි මහත්තයා. ඒක පසුකාලීනව අපේ ජීවිතවලට කියා දුන්නේ හොඳ පාඩමක්.
ඔහු නෙවෙයි කිසිම කෙනෙකුට බය වුණේ. කියන්න තියෙන දේ කෙළින්ම කිව්වා. හඬ කැවීම් ඒකකයට හොඳ අත්තිවාරමක් දැමුවේත් එතුමායි. එතකොට මෙහේ තිබුණු පෙර පුහුණුවීම් ශාලාව ඉල්ල ගත්තේ තාවකාලික නවතැනකටයි. ඒත් ඊට පස්සේ අපටම සින්න වුණා. මේ විදියට හැදුව හඬ කැවීම් මැදිරියේ ‘මොන්ත ක්‍රිස්තෝ’ මුලින්ම හඬ කැව්ව විදිය තවමත් මගේ මතකයේ රැව් දෙනවා. මල් ගුඩි දවසක් හඬ කැවීම් කළේ ඊට පස්සේ.
සමහර වෙලාවට ඔහු ඉංග්‍රිසි කාටුන්වලට දමන්නේ අපේ මනෝ පුබ්බංගමා ධම්මා ගාථාව. ඉංග්‍රීසි අදහස්වලට අලුත් අර්ථ දැම්මා. ටයි මහත්තයාගේ සංස්කරණ ඥානය පිළිබඳ මා ලැබූ හොඳම අත්දැකීමයි ඒ. වාර්තා වැඩසටහන්, මපට් වැඩසටහන්, උප සිරස්තල වැඩසටහන්, වගේම ලංකාවේ ප්‍රථම සජීවී ටෙලි නාට්‍ය කරන්නෙත් ටයි මහත්තයා. ‘වැටත් නියරත්’ බැලුව ජපන් ඉංජිනේරු මහත්වරු පවා ඒ ගැන පුදුමයට පත් වුණා.
1989 දී ‘කොරා සහ අන්ධයා’ රූගත කිරීම් කරලා ගෙදර ගියා. ඊට පස්සේ ඔහු හිටියේ රෝහලේ. හවස මම ගියේ ඔහුව බලන්නයි.
‘උඹ මොකටද ආවේ’
‘ටයි මහත්තයා බලන්න’
‘මාව බලන්න දොස්තරවරු ඉන්නවා. උඹ ගිහිං අරන් වරෙන් ඩෙක් එකයි, ටී. වී. එකයි. රොබින් හුඩ් ලියන්න තියෙනවා.’
සති ගණනක් මමත්, ටයි මහත්තයත් එක්ක රෝහලේ ඉඳගෙන රොබින්හුඩ් ලිව්වා. රෝහලේ හිටියත් වැඩ කළා.
හැම දේකටම වඩා ඔහු මුල් තැන දෙන්නේ තමන්ගේ අතින් ඉටු විය යුතු කාර්යයටයි. ඔහු හරියට විශ්වවිද්‍යාලයක් වගේ. දවසේ විය යුතු දේ කාල සටහනක් විදියට නිතරම තිබුණෙත් ඔහුගේ සිතේ. තිර පිටපත ලිව්වාට මුළු පිටපතම කට පාඩමින් ඔහුගේ සිතේ ලියැවී තිබුණා. ඒ නිසා අපට වරද්දන්න ඉඩක් තිබ්බේ නැහැ.
මේ මොන දේ කළත් හරි අපූරු විහිළු ඔහුගේ වාග් කෝෂයේ තිබුණා.
මෙයට අවුරුදු විස්සකට විතර ඉස්සර එක දවසක් ටයි පටියක් දාගත්ත ගජ ඉළන්දාරියෙක් අපි සිටිය තැනට ආවා. ටයි මහත්තයා ඉස්සරහ මේසේ ඉඳගෙන පිටපතක් කියවනවා. මම රූගත කිරීම් සැලසුමක් හදනවා.
‘ඔයාද ටයිටස් තොටවත්ත’
මේ ඉළංදාරියාගේ සද්දෙ නෙමෙයි ටයි මහත්තයට ඇල්ලුවේ. තමන්ගේ නම නෙවෙයි වගේ ඒ වැඩේම කර කර හිටියා. ඉළංදාරියා විනාඩි 05 ක් විතර හිටගෙන. මාත් මගේ වැඩේ. ඔහු ආයෙත් අර ප්‍රශ්නයම ඇහුවා. තඹයකටවත් මායිම් නොකළ ටයි මහත්තයා තවත් විනාඩි ගණනක් මේ ඉළංදාරියාව හිටගෙන තිබ්බා. ඉවසීමේ සීමාව ඉක්මවපු මේ තරුණයා එක පාරටම,
‘මං ආවේ ජනාධිපතිතුමාගෙන්’ කියලා කිව්වා.
ටයි මහත්තයා හිටි ඉරියව්ව වෙනස් කළා.
‘ඒයි බලනවා මෙයා මාර වැඩකාරයෙක්නේ. අපි නං ආවේ අම්මලගෙන්. මෙයා ඇවිත් තියෙන්නේ ජනාධිපතිගෙන්නේ’
මම ඔළුව උස්සලා බලන කොට ඒ ඉළංදාරියා ආ ගිය අතක් නැහැ.
මේ වගේ අතීත සැමරුම් රාශියක් ඔහු සමඟ වැඩ කටයුතු කරන කාලයේ මගේ මතකයේ තැන්පත් වෙලා තියෙනවා. ඔහු කියූ, කළ දෑ අද මතකයට නඟන්න වගේම තවත් කාලයක් ගියත් මතකයට නඟන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ සිදුවීම්වල වටිනාකම එන්න එන්නම වැඩි වෙනවා. සංස්කරණයෙන්, අධ්‍යක්ෂණයෙන්, පිටපත් ලිවීමෙන්, කැමරාවෙන් කියන මේ හැම අංශයකින්ම දක්ෂ ඔහු වගේ කෙනෙක් සමාන වෙන්නේ අකිර කුරසෝවා වැනි මහා සිනමාකරුවෙකුට බවයි මගේ හැඟීම වෙන්නේ.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි