Wednesday, July 10, 2013

පාරාවෝ ශාපය යළිත් කරළියට ගෙනා කැරකෙන පිළිරුවේ අබිරහස

11-1

ළාබාල වයසින් පරලෝ සැපත් වූ සුප්‍රකට තූතන්කාමන් පාරාවෝගේ ශාපය විසින් මිනිස් ජීවිත විස්සක් පමණ බිලි ගත්තද නෙබු සෙනු නමැති පාරාවෝවරයාගේ ශාපය විසින් එල්ල කොට ඇති එකම බලපෑම නම් සෑම තෙදිනකට වරක්ම එම ශාපය රැඳි අඟල් දහයක ප්‍රමාණයේ කුඩා පිළිරුව එහි මුල් පිහිටීම තෙක් සකස් කිරීම පමණි. ඇමෙරිකාවේ මැන්චෙස්ටර් නුවර පිහිටි කෞතුකාගාරයේ වන වීදුරු කැබිනෙට්ටුවක් තුළ වර්ෂ ගණනාවක සිට තැන්පත්කොට ඇති වසර හාරදහසක් පමණ පැරණි මෙම ප්‍රතිමාව මෑතකදී සිට කිසිදු බාහිර බලපෑමකින් තොරව 180ංකින් (අඩ වෘත්තාකාර වටයක්) භ්‍රමණය වීමට පටන්ගෙන ඇත්තේ සෑම තෙදිනකට වරක් එය යළි මුල් පිහිටීමට ගෙන ඒමේ අවශ්‍යතාවක් කෞතුකාගාර භාරකරුවන්ට මතුකරමිනි. ඊජිප්තු යුගයේදී වන්දනාවට ලක්වූ මළවුන්ගේ අධිගෘහිත දේවතාව වූ “ඔසිරිස්” හට නෙබු සෙනු පාරාවෝ විසින් ක්‍රි.පූ. 1800 දී පමණ ඔප්පු කළ බවට සැලකෙන මෙම කුඩා ප්‍රතිමාවේ භ්‍රමණයද සම්බන්ධ මෙම අබිරහස මෑත ඉතිහාසයේදී ඊජිප්තු පෞරාණික විද්‍යාව සම්බන්ධයෙන් අසන්නට ලැබුණු අත්භූතම සිදුවීම බවට සැකයක් නැත. පිරමීඩ හා මමි හා ඈඳුණු ගුප්ත විශ්වාසයන් කෙරෙහි දැඩිව එල්බ ගත්තවුන් මෙයද පුරාණ පාරාවෝවරුන්ගේ අබිරහස් බලපරාක්‍රමය හඟවන සාධකයක් ලෙස පිළිගත්තද මෙබඳු කාරණා දෙස වඩාත් විවෘත මනසකින් පිළිගත හැකි පදනමක හිඳිමින් බැලුම් හෙළන භෞතික විද්‍යාඥ මහාචාර්ය බ්‍රයන් කොක්ස් විසින් ඊට ඉදිරිපත් කරනුයේ විද්‍යාත්මක පැහැදිලි කිරීමකි. ඒ කවර හේතුකාරණා ඉදිරිපත් වුවද මැන්චෙස්ටර් කෞතුකාගාරය වෙත නිතිපතා ඇදෙන සංචාරකයන්ගේ සංඛ්‍යාවේ අඩුවක් වීමට එය හේතුවක් වී නොමැති බව නම් පැහැදිලිය. ප්‍රතිමාවේ අබිරහස්මය අර්ධ වෘත්තාකාර භ්‍රමණය මුලින්ම නිරීක්ෂණය කොට ඇත්තේ ප්‍රතිමාවේ භාරකරු ලෙස ක්‍රියා කරන විසිනව හැවිරිදි කැම්ප්බෙල් ප්‍රසිස්ය. කාල විරාම (බඪථඥ  තචනඵඥ) කැමරාවක් මගින්ද ඉතා සෙමින් සිදුවන භ්‍රමණය පටිගත කොටගෙන ඇති ප්‍රයිස්ගේ විශ්වාසය නම් මෙම අත්භූත සංසිද්ධිය සඳහා යම් අධ්‍යාත්මික තලයේ පැහැදිලි කිරීමක් තිබිය යුතු බවය. ප්‍රතිමාව රඳවා ඇති කැබිනෙට්ටුවේ විවෘත කළ හැකි යතුරක් ඇත්තේ ප්‍රයිස් සන්තකයේ පමණක් වන අතර, තමා විසින්ම කිහිපවරක්ම ප්‍රතිමාව මුල් පිහිටීමට ගෙනාවද මීළඟ දිනයේදී එය යළිත් භ්‍රමණයට ලක්වී තිබෙනු කිහිපවරක්ම සියැසින්ම දුටු ප්‍රයිස් පෙන්වා දෙන විශේෂ කරුණක් නම් ප්‍රතිමාව හැමවිටම 180ංක් පමණක් භ්‍රමණය වී නතර වන්නේ එහි පිටුපස සටහන් කොට ඇති එක්තරා යාතිකාවක් ඉදිරිපසට නිරාවරණය කරමිනි. එය පාන්, බිර, ගවයන් හා කුකුළන් ඉල්ලා සිටිමින් කළ යාඥාවක් වීම කුකුසක් දනවන්නකි. මමියක් විනාශ වූ කල ඒ සමග තැන්පත්කොට තිබූ එහි අනුරුව දැක්වෙන ප්‍රතිමාවකට මමියට අරක්ගත් ආත්මයේ විකල්ප දාරකයා ලෙස ක්‍රියාකළ හැකි අතර, මෙහිදීද සිදුව ඇත්තේ එබඳු සංසිද්ධියක් බව ප්‍රයිස්ගේ අදහසයි. පිළිමය භ්‍රමණයට ලක්වන්නේ හැමවිටම දිවා කාලයේදී පමණක් වීමත්, භ්‍රමණය 180ං නොඉක්මවීත් මෙහි ඇති අපූර්ව ගුප්තභාවය ඉතා තීව්‍ර කරන්නකි. එසේ වුවද මීට විද්‍යාත්මක  පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට තැත්දරන මහාචාර්ය කොක්ස් කියා සිටිනුයේ කෞතුකාගාර නරඹන්නට එන්නවුන්ගේ අඩි ශබ්දවලින් හටගන්නා කම්පන තරංගවල බලපෑමට ලක්වීමෙන් ප්‍රතිමාව චලනය වන්නට ඇති බවයි. නමුත් එසේ නම් මෙතුවක් කාලයක් කිසිදු චලනයක් නොපෙන්වූ එය හදිසියේම චලනය වීමට පටන් ගත්තේ කෙසේ ද? එසේම හැම විටම එය වෘත්තාකාර පථයකම භ්‍රමණය වන්නේ කෙසේද? මේවාට පිළිතුරු ලැබෙනතුරු මෙයද මෑත කාලීන අබිරහස් ගොන්නට එකතු වනු ඇත.

ප්‍රියන්ති රුද්‍රිගු

1 comments:

බොහොම ආසාවෙන් කියෙව්වා..

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි