Friday, July 12, 2013

හේ, ගුණතිලක බණ්‌ඩාර සේනානායක නම් විය

හේ, ගුණතිලක බණ්‌ඩාර සේනානායක නම් විය

ජී.බී. සේනානායක සාහිත්‍ය ලෝකය මෙන්ම ඔහුගේ පෞද්ගලික ජීවිතයද අන් ලේඛකයන්ට වඩා සුවිශේෂී වූවකි. ඔහුට බාහිර සමාජය සමග තිබුණේ අල්ප වූ ගනුදෙනුවකි. වරක්‌ 'කල්පනා' සඟරාවේ (1982 ජුනි මස කලාපයේ) රොහාන් පියදාස, ජී.බී. සේනානයක සමග සම්මුඛ සාකච්ඡාවක්‌ පැවැත්වීමට ඔහු හමුවූ විට අදාළ සාකච්ඡාව ලබාදීමට රුපියල් 300.00 ක්‌ අවශ්‍ය බව පැවැසීය. කෙසේ හෝ අවසානයේ දී අදාළ මුදල ජී. බී. සේනානායකට ලබාදී එම සාකච්ඡාව සිදුවිය. මෙහි පළවන ලිපිය 'කල්පනා' සඟරාවේ පළවූ එම සංවාදයේ සංස්‌කරණයකි.


ප්‍රතිපත්තියක්‌ වශයෙන් පත්තරවලටවත්, ගුවන්විදුලියටවත්, රූපවාහිනියටවත් මම නොමිලයේ සාකච්ඡා දෙන්නේ නැහැ. මා ගැන ලියුමක්‌ දෙන්නෙ නැහැ. මට ගෙවන්න ඕන. මිස්‌ටර්ගේ මාතෘකාව ගැන ලියන්න මිස්‌ටර්ට මගේ අදහස්‌ අවශ්‍ය නම් මට දෙන්න පුළුවනි. ඒකට මට පැය තුනක කාලයක්‌ ගතවේවි. මිස්‌ටර් මං කියන දේවල් අහගෙන ගිහිං ලියන නිසා මිස්‌ටර් එක්‌ක ප්‍රවේශමෙන් කතා කරන්න ඕන. ඒකට මගේ හිතත් කයත් දෙකම පාලනය කරගන්න වෙහෙසෙන්න ඕන. මහන්සි වුණාට පස්‌සෙ මට නිදාගන්න ඕන. මහන්සියි හිතට ගතට දෙකටම. මං දැන් වයසට ගිය මිනිහෙක්‌. මගේ ජීවිතේ වැය වුණේ සාහිත්‍යයට. මං පුළුවන් තරම් කියවලා තියෙනවා. ලියලා තියෙනවා. තවත් අලුත් දේ ලියලා තියෙනවා. අලුත් දේ ලියන්න පටන් අරගෙනත් තියෙනවා. මම වෘත්තීය ලේඛකයෙක්‌. මං ජීවත්වෙන්නෙ ලියල. මම මහළුවෙලා. ඒ නිසා මට පිටස්‌තරයන්ගෙන් අනුකම්පාව ලැබිය යුතුයි. දයාව ලැබිය යුතුයි. මට මුදල් ගෙවා මා සමග සාකච්ඡා කිරීම මානුෂිකයි. දයාවන්තයි. අනුකම්පා සහගතයි. මිස්‌ටර් ගැන මට කනගාටුයි. ඒ ප්‍රතිපත්තිය කඩන්න බැහැ මට. එතකොට ඒක තේරුමක්‌ නැහැ. මිස්‌ටර්ට ඒක තේරුම් යන එක මම අගේ කරනවා.

'මට රුපියල් තුන්සියයක්‌ මුදලින් ගෙවන්න. එතකොට මම මිස්‌ටර්ගෙ මාතෘකාව ගැන කතාවට එන්නං.

රුපියල් තුන්සීයක්‌ මොකක්‌ද? මට එයින් වැඩක්‌ නැහැ. මම එයින් ජීවත්වන්නේ නැහැ. මේ රටේ කලාකරුවන්ගේ මොළ හූරාකන නිර්දය සම්ප්‍රදාය බිඳීමට පටන්ගත් ව්‍යාපාරයක්‌ ඒක. මට හිතුණ අනාගත කලාකරුවන් වෙනුවෙන් මමවත්, දැන්වත් මේක පටන්ගන්න ඕන කියල.

මහලුවනතුරු වහලුන් තලා පෙලා උන්ගෙන් වැඩගන්නට වගේ පත්තරවලින්, රේඩියෝ මාධ්‍යවලින් කලාකරුවන්ගේ, උගතුන්ගේ, රටට වැඩක්‌ කරපු උදවියගෙ මොළ හූරා කනවා. මුළු ඉතිහාසයක්‌ තිස්‌සේ කරගෙන එන අසාධාරණ ව්‍යාපාරයක්‌ මේක. කාටවත් මුදල් හම්බකරන්න අපේ උගත්කම අපි නිකම් දිය යුතු නෑ. නේද මිස්‌ටර්?

ඇමෙරිකාවේ, එංගලන්තෙ, රුසියාවෙ ලේඛකයන්ට කලාකරුවන්ට සලකන හැටි අපේ රටේ උදවිය ඇහුවොත් පුදුම වෙයි. ඕව ගැන කතාකරල පලක්‌ නැහැ. සංස්‌කෘතික අමාත්‍යාංශ මිනිස්‌සු දෙන්නෙක්‌ (මම හොඳට ඒ අයව අඳුනනව) ආව මාව හම්බවෙන්න. ලොකු වෑන් රථයක නැගිල දවසක්‌දාá මං ඇහුව ඇයි කියල. ජී.බී. සේනානායක මහත්තය අසනීපවෙලා නිසා ආණ්‌ඩුවෙන් මුදල් දෙන්න ආවයි කිව්ව. මං කිව්ව මම අසනීපවෙලා මිසක්‌ අසරණ වෙලා නැත. මට මුදල් එපාය කියල. රුපියල් දාහක්‌ දෙන්නයි ඇවිත් තියෙන්නෙ. මට කිව්වේ ඒ දාහත් හොයාගන්න එකතු කරන්න හරියට දුක්‌ වින්දය, මහන්සි වුණාය කියල. පට්‌ටපල් බොරුනෙ. ලක්‌ෂයක්‌ දෙන්aන ආවත් මම එපා කියනවා. මට එපා දේ එපා. බැරි දේ බෑ.

මෙකී සංවාදයෙන් පසුව ජී. බී. සේනානයකයන්ට රුපියල් 300.00 මුදලක්‌ ගෙවා අදාළ සාකච්ඡාව සිදුවිය. මෙතැන් සිට දිගහැරෙනුයේ එම සංවාදය යි.

මම ඉපදුණේ කොළඹ. සේනානායක මහතා අපේ කතාබහට මුල පිරීය.

'කොළඹ කොහේද?'

'කොළඹ කියන්නෙ කොළඹ. කොළඹ කොහෙද කියල වැඩක්‌ නෑ. ඒව වැඩක්‌ නෑ මිස්‌ටර්ෘ'

අපේ නෑයෝ ගැන හොයන්න කුරුණෑගල - නුවර ප්‍රදේශයට යන්න ඕනෑ. මගෙ දෙමව්පියොත් කොළඹ පදිංචි වෙලා හිටියා. අපේ පවුල කොළඹ නොයෙක්‌ තැන්වල පදිංචිව හිටියා.

කුඩා කාලයේ දෙමාපියන් මාව කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනීමට පිටත් කළා. මා අවසානයට ඉගෙන ගත්තේ අටවැනි පන්තියෙයි.

මා තරුණ වයසට එද්දී මගේ පියා මළා. එහෙත් අම්මා හුඟ කාලයක්‌ හිටියා. ඒත්, පියාගේ මරණින් පසු මා ජීවිතයේත්, නගරයේත් අතරමං වුණා. දරුවකුගේ පියා නැතිවූ විට, නෑදැයන් උදව් කිරීම තමා සිරිත. එහෙත් ඒ උදව් පවා නැතිව ගියා. ඊට හේතුව නෑයන් කොළඹින් පිට ගම්මානයේත්, මා කොළඹ නගරයේත් විසීම.

මා ආයතනික අධ්‍යාපනයක්‌ ලැබූවෙක්‌ නොවෙයි. කේම්බ්‍රිඡ් ජූනියර් පන්තියෙහිදී මට ආනන්දයෙන් අස්‌වන්න සිදුවුණා. එයට හේතුව ගෙදර තිබූ අමාරුකම්. තාත්තා සිටි කාලයේත් පාසල් යාම මට අවහිරයක්‌ව තිබුණා. තාත්තා බොහෝ ආර්ථික අමාරුකම්වලින් පෙළුණු අයෙක්‌.

මම ලබාපු උගත්කම් මම කියන්නං මිස්‌ටර්ෘ

මම අවුරුදු 14 කාලෙදි වෙච්ච සිදුවීමක්‌ මේක. එය මගේ සාහිත්‍ය ජීවිතය හා තදින් බැඳී තිබෙනවා. මා ආනන්දයේ පස්‌වෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී දිනක්‌ අපේ පන්තිභාර ගුරුවරයා පැමිණියේ නැහැ. එදා ඒ වෙනුවට ආවේ 'ගුප්ත' නමැති ඉන්දියානු ජාතික චිත්‍රකර්ම ගුරුවරයෙක්‌. එයා කීවා පත්තිභාර ගුරුවරයා උගන්වන හැටි තමා කිසිත් නොදන්නා නිසා කතන්දරයක්‌ කියා දෙන්නම් කියා. එයා එදා අපට කියා දුන්නේ වික්‌ටර් හියුගෝ ගේ 'ද ලේ මිසරාබ්ලේ' කියන ලෝක පූජිත ප්‍රංශ නවකතාව.

මා මේ කතාව ඇහුවේ පළමුවැනි වතාවට. ගුප්ත උදේ හිට දහවල් වන තුරු මේ කතාව කිව්වා. ඒත් ඉවර කරන්න බැරිවුණා. ගුප්ත ගියා.

ගුප්ත මගේ රසභාව අවුස්‌සා දමා තමා ගියේ. ඔහු ආපසු ආවේ නැහැ අපගේ පන්තියට. 'ලේ මිසරාබ්ලේ' නවකතාව කියවන්නට මා තුළ තද ආසාවක්‌ ඇතිවුණා. මා ඊටත් පෙර ඉතා පහළ මට්‌ටමේ ඉංග්‍රීසි නවකතාවකුත් කියවා තිබුණා.

මා ළඟම මගේ පන්තියේ හිටියා දොස්‌තරවරයකුගේ පුතෙක්‌. මම ඔහුට කීවා තාත්තාගේ පුස්‌තකාලයේ ඇත්නම් ලේ මිස්‌රාබ්ලේ නවකතාව ගෙනැවිත් දෙන ලෙස. ඔහු පහුවදා ගෙනැවිත් දුන්නා. මම මේ පොත කියෙව්වෙ පුදුම ආසාවකින්. ගුප්ත කීවාට වඩා මට මේ පොත ගැන ආසාවක්‌ ඇතිවුණා. ඒ ආසාව කොපමණ දරුණු වුණාද කීවොත්, මම පොත් සාප්පු ගානේ ඇවිද වික්‌ටර් හියුගෝගේ පොත් සොයා මිලදී ගෙන කියෙව්වා. මට වියදමට ලැබුණු මුදල් මා වියදම් කළේ මේවාට. ලාපිං මැන්, අවුට්‌ලෝ ඕµa අයිස්‌ලන්ඩ්, එයිටීන් නයින්ටීන් මා ඒ කාලයේ සොයාගෙන තිබුණු හියුගෝගේ කතා. හියුගෝගේ කතා කියෑවීමෙන් බටහිර ලේඛකයන්ගේ නිර්මාණ කියෑවීමට තවත් ආසා මා තුළ ඇතිවුණු නිසා මා පසුව ඇලෙක්‌සැන්ඩර් ඩූමා වැනි මහා ගත්කරුවන්ගේ කෘතීන් පවා කියෑවූවා. ත්‍රී මස්‌කටියර්ස්‌, ලුවී ඩිලා වැලියර්, බ්ලැක්‌ ටියුලිප් වැනි ඩූමාගේ කෘතීන් මා ඒ කාලයේ ඉතා ආසාවෙන් ඇසුරු කළා. මා කෙරේ බලපෑම් කළ තවත් පොතක්‌ තමා ටෝල්ස්‌ටෝයිගේ 'ඇනා කැරනිනා'. ඊට පස්‌සෙ කියවපු පොත් ප්‍රමාණය මතක නෑ. ඒ තරම් කියෙව්වා. වෙද පොත්, නවකතා පොත්, ත්‍රාසජනක කතාපොත්, කුණුහරුප පොත් පවා. හැබැයි දැන් කාලෙ ළමයි වාගේ ත්‍රාසජනක කතාපොත් වුවමනාවෙන් තෝරාගත්තේ නැහැ.

මොනව වුණත් වික්‌ටර් හියුගෝත් ඔහුගේ 'ලේ මිසරාබ්ලේ' නවකතාවත් යන දෙකම නිසා මා ලේඛකයෙක්‌ වූවාය, ඊට පෙළඹුණාය කීවොත් වරදක්‌ නෑ. ඔහුත් ඔහුගේ ඒ නවකතාවත් තරම් මා තුළ බලපෑම් කළ අන් කෘතියක්‌ නැති තරම්ෘ

ජාතක පොතට මගේ ඇල්මක්‌ තිබුණා. ඒ කාලෙ මගේ පුරුද්දක්‌ තිබුණා අම්මාට ඇහෙන්න ජාතක කතා පොත කියවන්න. ඒ කාලෙ මගේ වයස අවුරුදු හතක්‌ විතර ඇති. ජාතක පොතත් මගේ සාහිත්‍ය ජීවිතයට බොහෝ ලෙස බලපෑවා. මගේ මුල්ම නවකතා තුනට පසුතලය වන්නේ බුදුන්ගේ කාලයට ටිකක්‌ එපිට කාලයේ සමාජ පරිසරය. ජාතක පොත ඇරෙන්නට සද්ධර්මරත්නාවලියත් මා කුඩා කාලයේ ඉතා ආසාවෙන් ඇසුරු කළ කෘතියත්. ඉතා අමාරුවෙන් වුණත් මා මේවා කියෑවූයේත් තේරුම් ගත්තේත් තනිවම. ගෙදර තිබූ පෙට්‌ටගමක්‌ උඩ වාඩිවී හැමදාම හවසට ශ්‍රී සුමංගල සන්නස ටිකක්‌ කට පාඩම් කිරීමෙන් කුඩා කාලයේ ලැබුවේ ඉතා මිහිරි ආස්‌වාදයක්‌. පිට දරුවන් සමග විනෝදවීම ප්‍රිය නොකළ මගේ මනස මිහිරට පත්වූයේ මෙයින්.

මම හත්වැනියේ ඉගෙනගනිද්දී පංතියේ පළමුවැනියා වුණා. ඊට පාසලින් ලැබුණු ත්‍යාගය තමා සද්ධර්මරත්නාවලිය. ඒ කාලයේත් මා ඉංගිරිසියටත්, සිංහලටත් මුල් පෙළේ දස්‌කම් ඇත්තෙක්‌ව සිටියා.

ව්‍යාකරණ ළමයින්ට අප්‍රියයි. ඇතැමෙක්‌ බයයි. ඒත් මා තුළ තිබුණේ තද ආසාවක්‌. මම මුලදීම ව්‍යාකරණ ඉගෙනගත්තේ තනියම. ඊට උදව් කරගත්තෙ ජොහැන්ස්‌ සේනානායකගේ සිංහල ව්‍යාකරණ පොතයි. සිදත් සඟරාවේ ව්‍යාකරණ තමා එහි තිබුණේ. ඒ කාලයේ මගේ වයසේ සිටි කිසි ළමයකුට මට තිබූ ව්‍යාකරණ දැනුම තිබුණේ නැහැ. මට ඉගැන්නූ එකදු සිංහල ගුරුවරයකුවත් මා තරම් හොඳින් සිංහල ව්‍යාකරණ දැනගෙන සිටියේ නැහැ.

ඒ කාලයේ කුමාරතුංග ව්‍යාකරණය ගැන රටපුරා විවාද ඇතිවුණා. මම ඒ විවාද හැමකටම වාගේ කන්දුන්නා. ඒවා කියෙව්වා. කුමාරතුංගගේ පොත් ඔක්‌කොම කියෙව්වා. කුමාරතුංග ඉතා වියත් ලේඛකයෙක්‌. පඬිවරයෙක්‌. ඒත් මා කුමාරතුංගගේ ව්‍යාකරණ අනුගමනය කරන්නේ නැහැ. කුමාරතුංග මගේ ජීවිතයට බලපෑවෙ නැහැ.

මා ආයතනික අධ්‍යාපනයක්‌ නොලැබූ බව මම මිස්‌ටර්ට කීවානේ. ඇත්තෙන්ම මගේ විශ්වවිද්‍යාලය තමා කොළඹ මහජන පුස්‌තකාලය. වයස අවුරුදු 17 කාලයේදී මම මෙහි ඇසුරට වැටුණා. එදා මෙහි පොත් විසිපන්දාහක්‌ පමණ තිබුණා. මම මුලින්ම මහජන පුස්‌තකාලයට ගියදා මේ පොත් දිහා දැඩි ගිජුකමකින් හා විශ්මයකින් බැලුවේ. මම එදා හිතාගත්තා මේ පොත් විසිපන්දාහම කියවනවා කියා. මොනව වුණත් එයින් සෑහෙන කොටසක්‌වත් මා කියවන්නට ඇති.

මම ලියන්න පටන් ගත්තා. මට වුවමනා කළේ පත්‍රවලට ලියන්න. රටේ පිළිගත් ලොකු පත්‍රවලට ලියන්න මුලින්ම බය හිතුණා. ඒ නිසා මුලින් ලියුවෙ 'සිංහල බෞද්ධයා' පත්‍රයට. මේ කාලෙ මට වයස අවුරුදු 19 ක්‌ විතර ඇති. රස්‌සාවක්‌ තිබුණෙත් නැහැ. සිංහල බෞද්ධයා පත්‍රයේ කර්තෘකම කළේ හේමපාල මුනිදාස මහතා. මුනිදාස මහතා ලොකු අකුරු දමා මගේ ලිපි ඉතා ඉහළින් පළ කළා. එතුමා මට ඒ විදිහට බොහෝ උදව් කළා. ඒත් අප දෙදෙනා අතර කිසිත් දැන හැඳිනීමක්‌ තිබුණේ නෑ.

සිංහල බෞද්ධයා පත්‍රයට ලිවීමෙන් මා තුළ අලුත් ප්‍රබෝධයක්‌ ඇතිවූ නිසා මා 'දිනමිණට' ලියන්නට පටන් ගත්තා.

මාර්ටින් වික්‍රමසිංහ දිනමිණේ කර්තෘ, ඒ කාලෙ ඔහු මගේ කෙටිකතාවලට ලොකු සැලකිල්ලක්‌ දැක්‌වූවා. ඇතැම් විට මගේ කතාවක්‌ පළවීමට පෙර පුවත්පත මගින් ජී.බී. ගේ කෙටිකතාවක්‌ අසවල් දා පළවෙතැයි රටට දැනුම් දුන්නා. ඒත් ඒ වනවිට වික්‍රමසිංහ මා දැන අඳුනාගෙන සිටියේ නැහැ.

මම මේ කාලෙ නැවතිල හිටියෙ කොළඹ තට්‌ටු නිවසක. දවසක්‌ මට මිත්‍රයෙක්‌ ඇවිත් කීවා මාර්ටින් වික්‍රමසිංහ කතා කළා. වික්‍රමසිංහගේ ගෙදරට ගොස්‌ හමුවන්න කියා. වික්‍රමසිංහ මා දැන සිටියේ මගේ කෙටිකතා කෘතීන් කියෑවීමෙන් හා ඒවා පළකිරීමෙන්. වික්‍රමසිංහ පදිංචිව හිටියේ ගල්කිස්‌සේ.

'දිනමිණ' කර්තෘ මණ්‌ඩලයට බැඳීමට වික්‍රමසිංහ කළ යෝජනාවට මම කැමති වුණා. ලේක්‌ හවුසියට ගොස්‌ ඩී. ආර්. විඡේවර්ධන හමුවන ලෙස ඔහු මට කීවා.

මට නියමව තිබූ පඩිය රුපියල් පනහයි. විඡේවර්ධනගේ නියෝගය නිසා මට රුපියල් හැටක්‌ පඩි ලැබුණා. මේ මීට අවුරුදු හතළිහකට ඉස්‌සර වුණ සිද්ධියක්‌.

මාර්ටින් වික්‍රමසිංහ 'දිනමිණ' කර්තෘකම බාර ගැනීමෙන් පසු 'දිනමිණ' කතුවැකිය වඩාත් හරබර වන්නටත්, නිර්මාණ ශෛලියක්‌ ඇතිව ස්‌වකීය අදහස්‌වලින් පිරෙන්නටත් පටන් ගත්තා. ඒ කාලයේ දිනමිණේ කතුවැකි දෙකකි. එකක්‌ කුඩායි. එකක්‌ විශාලයි. මෙයින් කුඩා කතුවැකිය ලියන්නට වික්‍රමසිංහ මුලින්ම මා පුරුදු කෙරෙව්වා.

කාලයත් යද්දී වික්‍රමසිංහ මට කීවා දිගු කතුවැකිය ලියන්නැයි කියා. මම කොළමක්‌ම කතුවැකිය ලීවා. වික්‍ර්‍රමසිංහ කල්පනා කළා මා ලියූ කතුවැකිය තමාගේ කතුවැකියට වඩා උසස්‌ය කියා. එයා එයාගෙ කතුවැකිය කපා මගේ කතුවැකිය උඩින් දානවා. ඒක කර්තෘ කෙනෙක්‌ගෙන් බලාපොරොත්තු විය නොහැකි දෙයක්‌. මම වික්‍රමසිංහ සිහිකරන්නේ ගෞරවයෙන්. ඔහු ඉතා නිහතමානී තැනැත්තෙක්‌.

එකම කාර්යාලයේ වැඩ කිරීම නිසා, වික්‍රමසිංහ හා මා හවස්‌ කාලයේ වැඩ ඉවර කිරීමෙන් පසු එකට කතාබස්‌ කරමින් ඇවිද්දා. වික්‍රමසිංහ දුම්රියපොළට එනතෙක්‌ මම වික්‍රමසිංහ සමග ගියා.

වික්‍රමසිංහ සමග රාත්‍රියේ වැඩ හමාර කර පයින් යද්දී අපි සාහිත්‍ය ගැන සමාජය ගැන බොහෝ දේ කතාබස්‌ කළා. මේ අතරතුර මට අවවාද කිරීමටද වික්‍රමසිංහ අමතක කළේ නැහැ. වික්‍රමසිංහ මට මුලින්ම අවවාද කළේ පත්තර රස්‌සාවෙන් දිගටම ජීවත්වන්නට උත්සාහ නොගන්නැයි කියායි. මුලින් පොතක්‌ දෙකක්‌ ලියා පසුව පත්තර කලාවෙන් අස්‌වී පොත් ලියන්නකු ලෙස ජීවිතය ගොඩනගා ගන්නැයි වික්‍රමසිංහ මට තරයේ කියා සිටියා. මා ලියූ මුල් පොත් දෙකම 'දුප්පතුන් නැති ලෝකය' හා 'නවකතා කලාව' වික්‍රමසිංහ විසින් තම මුදලින්ම මුද්‍රණය කර ප්‍රකාශනය කරවා දීමෙන් මට උදව් කළා.

ටික කලකට පසු, දිනක්‌ හවස්‌ ජාමයේ මා සමග කොළඹ දුම්රිය පොළේදී කතාබස්‌ කරමින් සිටි වික්‍රමසිංහ හිටිගමන් කීවා තමා ලේක්‌හවුසියෙන් අස්‌වීමට නෝටිස්‌ දී ඇතැයි කියා. මා එයින් කම්පාවට පත්වුණා. මා ලේක්‌හවුසියට කැඳවා ගත්තේ වික්‍රමසිංහ නිසා වික්‍රමසිංහ සමගම මාත් ඉවත්වීමට අවශ්‍ය යෑයි මම ඔහුට කීවා. ඒත් වික්‍රමසිංහ එය ඒ මොහොතේ වැළැක්‌වූවා.

'පළිගැනීම' පොත ලීවේ මේ සිද්ධියෙනුත් පසුවයි. වික්‍රමසිංහ නොමැතිව සිටීම නිසා ඇති වූ පාළුවත්, පඩි මදිකමක්‌ නිසා මට ලේක්‌හවුසියේ රස්‌සාව එපා වෙන්නට පටන් ගත්තා. මම විඡේවර්ධනට ලියුමක්‌ ලීවා මගේ වැටුප රුපියල් හැත්තෑපහකින් වැඩි කරන ලෙස. එසේ කිරීමට අකැමැතිනම් ඒ ලියුම අස්‌වීමේ නෝටිස්‌ එක ලෙස බාරගන්නා ලෙසද එහිම සඳහන් කළා. විඡේවර්ධන එය නෝටිස්‌ එක හැටියට බාරගත්තා. බාරගෙන මට අඬගසා චෝදනා කළා. ආණ්‌ඩුවේ ලිපිකරුවකුටවත් වඩා වැඩි පඩියක්‌ ගෙවන නිසා තමා මේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරන බව කී විඡේවර්ධන වික්‍රමසිංහ විසින් මා නරක්‌ කරනු ලැබීයෑයි ද කීවා. මා විඡේවර්ධන සමග උරණ වී ලේක්‌හවුසියෙන් එළියට බැස යන්නට ගියා.

විඡේවර්ධනගේ මරණින් පසු එස්‌මන්ඩ් වික්‍රමසිංහගේ කාලයේ මම දෙවැනි වරටත් 'දිනමිණ' කාර්යාලයේ සේවය කළා. එවර මට රුපියල් පන්සියයක මාසික පඩියකුත් බොහෝ ගරු සැලකිලිත් ලැබුණා. දෙවැනි පාර අවුරුද්දක්‌ වැඩ කළා. ඉන් එහාට මේ වනතුරුත් මා එකද රස්‌සාවක්‌ වත් කළේ නැහැ. දෙවැනි වර ලේක්‌හවුසියෙන් අස්‌වීමෙන් පසු මා සම්පූර්ණයෙන් ලේඛන කටයුතුවලට කාලය කැප කරන්නට පුරුදු වුණා. විශේෂයෙන් පොත් ලියන්නට.

ඔබ අසනීප ගතියෙන් පසුවන නිසා ලිවීම කායික හිරිහැරයක්‌ වෙන්නේ නැද්ද?

ඔව්ෘ මම දැන් ලියන්නේ නැහැ. මම කියනවා. අවශ්‍ය ආකාරයට කියන විට, මගේ නංගී ඒවා සටහන් කරනවා. මගේ සියලු සාහිත්‍ය කටයුතුවලට අත දෙන්නෙ නංගී තමා. මට බොහෝ උදව් වන්නේ ඇය. දවසකට පැය පහක්‌ පමණ ලිවීමේ කටයුත්තට වැයවෙනවා. මේ පැය පහ ගත කරන්නෙත් තුන් සැරයකට.

බුදුන් හැර අන් අයකු උතුම්කොට සැලැකීම මගේ සිරිත නොවෙයි. ඒත් උතුම් ගතිගුණ ඇති මිනිසුන්ට ගරු කිරීමට මා කැමැතියි.

ලෝකයේ කිසි සාහිත්‍ය කෘතියක්‌ අති විශිෂ්ට යෑයි කිව නොහැකියි. මගේ මිණුම් දණ්‌ඩ එයයි. මා අදහන ලේඛකයකු නැහැ. ගරු කරන්නකු හැරුණු විට.

මගේ කෘති අතුරින් වඩාත් කැමැති 'චාරුමුඛ', 'වරදත්ත' හා 'මේධා' යන නවකතා තුනටයි සේනානායක මහතා කීය.

රොහාන් පියදාස
 
http://www.divaina.com/2013/07/11/sarasavi%203.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි