Sunday, July 14, 2013

‘සව්දම්ජෙමා’

ඩී. එ‍ෆ්. කාරියකරවන

අෂ්මත් ශබ්දය උත්තමපුරුෂ ඒකවචනයට යෙදෙන්නේ මම යනුවෙනි. මම යමි යන්නෙමි හා ගියෙමි යෙදෙන්නේ ලියන බසෙහි ය.
‘මම යනවා - ‘මම ගියා’ යනුවෙන් අද බොහෝ දෙන කථනයෙහි යොදති. එහෙත් එය වියරණ විරෝධි ය. වියරණ බිඳීමේ, චෝදනාවෙන් මිදිය හැකි ඉතා පහසුක්‍රමය ‘මා යනවා’ - ‘මා ගියා’ යන විසින් වැහැරීම ය‍.
‘මම යමි’ යන්න වෙනුවට ‘මා යනවා’ යනුවෙන් ගතහොත් එහි වියරණය කිමෙක්ද?
‘මා යනවා’ යන දෙපදය ම කර්තෘ හැටියට ගෙන ‘වේ’ යන ක්‍රියා පදය ආධ්‍යහාරයෙන් ගත යුතුය. මේ වේ හැඬවිය යුතු නො වේ. ‘මා යනවා’ කීවාම ඇති. එසේ ම මා ගියා, මා කෑවා, මා බීවා, මා ආවා, මා කීවා, මා ගත්තා, මා දුන්නා යන ආදිය ද නිවැරැදි ය.
මෙනයින් ‘මම යනවා’ යන වැරැදි වහරෙන් මිදිය හැකි වනු ඇත‍.
‘මම ගියා’ මෙන් ම නරක යෙදුමෙකි ‘මං ගියා'. මෙය වඩාත් නරක වන්නේ ‘මං’ යනුවෙන් (මාර්ගවලට යෙදෙන) නිවැරැදි අන් වදනක් ඇති බැවිනි.

එක් - අකු
“(නමක්) කැමරා කරුවකු නොවේ” යන සිරසක් සති අන්තයේ දකින්නට ලැබිණි. මේ කියන්නේ ඡායා රූප ගැනීමෙනි. නියුක්ත ඒ තැනැත්තා සුවිශේෂි දස්කම් ඇත්තකු බව ය.
“(කැමරා) කරුවකු නොවේ” යන්න වැරැදි වැකියෙකි. ‘නොවේ’ යන්නෙන් උක්ත වන තැනැත්තා ‘කරුවකු’ නොව ‘කරුවෙක්’ විය යුතු ය. උක්ත ප්‍රත්‍යය ‘එක්’ යන්නයි. ‘අකු’ ප්‍රත්‍ය අනුක්තයි.‍ එහෙයින් (කැමරා) කරුවකු නොවේ’ යන්න වියරණ වි‍රෝධි වේ.
පුරුෂ ලිංග උක්තයෙහි ඒක වචනයට යෙදෙන්නේ ‘එක්’ ප්‍රත්‍යයි. (නිදසුන්: මිනිසෙක් - ළමයෙක් - සතෙක් යන ආදී වශයෙනි) පුරුෂ ලිංග අනුක්ත ප්‍රත්‍යය ‘අකු’ ය. (නිදසුන්: මිනිසකු - ළමයකු - සතකු)

ස්ත්‍රී ලිංග උක්තයෙහි ඒක වචනයට යෙදෙන්නේ ‘අක්’ ප්‍රත්‍යයි. (නිදසුන්: ස්ත්‍රියක් - දැරියක් - කතක් ආදී වශයෙනි.‍ ස්ත්‍රීලිංග අනුක්ත ප්‍රත්‍යය අක ය. (නිදසුන් ස්ත්‍රියක - දැරියක - කතක ආදී වශයෙනි.)


බයිට්
‘ක්‍රිකට් පිටියට පැන්න කොටි හිතවත්හු බයිට් වෙති’
සති අන්තයේ පුවත්පතක දකින්නට ලැබුණු සිරස්තලයෙකි.‍
මෙහි කොටි යන්න පළමු වැනි පේළියේ අගටත් හිතවත්හු යන්න දෙවැනි පේළියේ මුලටත් වැටීම විකෘතියෙකි.
අනෙක් අතට බයිට් යන්න ද සිංහල පත්‍රයක සිරසට සුදුසු නොවේ. මේ බයිට් යන්න යෙදුණේ ඉංගිරිසියෙන් කටගැස්ම යන අරුතෙනි.
කන බොන මිනිසුන් බයිට් කියන්නේ නැතිනම් ටේස්ට් කියන්නේ අඩි ගහන විට කන කට ගැස්මට ය. අඩි ගැහීම පිළිකුල් කරන්නෝ කට ගැස්ම ද කොන් කරති.
කෙනකු බයිට් වෙනවා යැයි කියන එක ගොදුරු වෙනවා යැයි කියනුවාට වඩා‍ පහත් තත්ත්වයක් පෙන්නුම් කරයි. එසේ යෙදූ කල කොටි හිතවතුන් හෙළා දැක්වෙන බව එක අතකින් ඇත්තය. එහෙත් බසට වන හානිය!


අබුද්දස්ස
“අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි” යන අපේ සමාජයේ ඇති කතාවෙකි‍.
අබුද්දස්ස කාලය යනු බුදුවරයකු නොමැති බුදු දහමට පිටු පාන කාලයයි. මේ කාලයේ බොහෝ විට බොහෝ දේ සිදුවන්නේ නොපිටට ය. ලබු තිත්ත රසයෙන් යුක්ත වීම ඒ එක් දෙයක් පමණි.


පිපෙන
පිපෙන යනු විකසිතවීමයි. පොහොට්ටුවක් මලක් වන්නේ විකසිත වනවිට එයට කියන්නේ පිපෙනවාය කියා ය. පිපෙන මල් චිත්තාකර්ෂණීයයි.
‘බඩ පිපෙන’ යන තන්හි එය වෙනස් වේ. බඩ පිපීම සුළු රෝගාබාධ‍ෙයකි.‍


ගැටලුව
ගැටලුව නම් ගැට සහිත ප්‍රශ්නයයි‍‍. පැටලිලි සහිත ය. විසඳීමට අපහසු ප්‍රශ්නයකි.
මේ වචනය ඇතැමුන් ලියන්නේ ‍ගැටළුව යනුවෙනි. එය වැරැදියි. නිවැරැදි බහු වචනය ගැටලු නම් වේ.


කැඩිච්ච
‘කැඩිච්ච ටීවී එකට අලුත් ටී වී එකක්’ යන්න පුංචි තිරයෙහි නිතොර නිතොර දකින්නට ලැබේ.
කැඩිච්ච යැයි කියන්නේ කැඩුණු යන්නට ය. කැඩිච්ච ටීවී එකකැයි කියා ඇත්තේ කෑලිවලට වෙන්වූ හෝ හානි වූ ටීවී එකකට ය. බිම වැටීම වැන්නකින් එසේ විය හැකි ය.
එහෙත් ඉහත කී කතාවෙන් අදහස් කරනුයේ එසේ හානිවීමක් නොව යාන්ත්‍රික දෝෂයක් ගැන ය. එනම් යාන්ත්‍රික දෝෂයක් නම් කැඩිච්ච යන වදන නොයෙදේ.
අනෙක් අතට කැඩිච්ච බිඳිච්ච යන ආදී වචන ග්‍රාමීය වේ. ඒවා කැඩුණු බිඳුණු යන ආදී වශයෙන් විය යුතුය.


දුම්වැටි
දුම් ඉරීම සඳහා ගන්නා සුරුට්ටු, සිගරැට් යන ආදිය සඳහා පොදුවේ යෙදෙන නම දුම් වැටි නම් වේ. දුම්වැටි යන්න කදිම වදනෙකි.


‘ධූම පානය’
දුම් වැටි මඟින් දුම් ඉරීම කාලාන්තරයක් තිස්සේ මේ රටේ වැහැරෙන්නේ ධූම පානය නැත්නම් දුම් බීම යනුවෙනි.
දුම් බොන්නේ හෝ පානය කරන්නේ කෙසේද? පානය කරනු හැක්කේ දියර වර්ග පමණි. සිගරැට් සුරුට්ටුවල පානය කරනු නැති දියරයක් නැත.

Smoking යන්නට ධූම පානය - දුම් බීම යන නම් ඈඳුණේ කෙසේ දැයි සිතා ගන්නට නොහැකි ය.
කෙනකු දුම් වැටියක් දල්වාගෙන කරන්නේ එයින් දුම් ඉරීම ය. ඇතැමකුට එය ප්‍රිය ජනක ය. එසේ දුම් ඉරීමෙන් භයානක රෝගවලට ගොදුරු විය හැකි ය.
දුම් වැටි හා දුම් ඉරීම යන වදන් නිවැරැදි වුවත් ඒ වැ‍ෙඩ් නිවැරැදි නොවේ.


කොටහළු
කොටහළු යනු කොට සළුවයි. දැරියක මල්වර වනවිට සාමාන්‍යයෙන් හැඳ සිටින්නී කොට සළුවකි. කොටහළු යන්න හැදී ඇත්තේ එහෙයිනි.
වැඩිවිය පැමිණීම පිළිබඳ උත්සවයට, මල්වර උත්සවයට වඩා පැතිර ගියේ කොටහළු මඟුල යන්න ය.


කොටා බානවා
කමතේදී ආහාර ගැනීම හැඳින්වෙන්නේ කොටා බානවා යනුවෙනි. අන් තැනෙක මජරිකමට පමණට වැඩියෙන් ආහාර ගන්නා විට ද කොටා බානවා යන්න වැහැරේ.


සවුදමා
අප්‍රමාණ අන්දමින් කන්නා ද සවුදමා යනුවෙන් හඳුන්වනු ලැබේ.
දෙතුන් දෙනකු කන ප්‍රමාණයක් කා හැකි තැනැත්තෙක් ‘සව්දම්ජෙමා’ නමින් සිටියේ ය.
අද එසේ කන අයට සවුදමා කියන්නේ ඒ ජෙමාගේ නමේ මුල් කොටස අල්ලාගෙන ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි