Tuesday, July 23, 2013

ඔබේ හඬ අද ඇහෙන්නෙ ම නැති තරම්

විශාරද සුජාතා අත්තනායක
සුජාතා අත්තනායක බොහෝ දෙනකු හඳුනන්නේ චිත්‍රපට පසුබිම් ගායිකාවක හා ගුවන් විදුලි ගායිකාවක ලෙසිනි. එහෙත් ඈ ස්පර්ශ කළ සංගීත ක්‍ෂේත්‍රය අති පුළුල් ය. එයිනුදු කැපී පෙනෙන්නේ ඇගේ සුභාවිත හඬ ය. අපේ සිනමා රිදී තිරය නින්නාද කළ සුමියුරු ලලනා හඬ සුජාතාගේ ය. ජන සම්මානයෙන් මෙන් ම රාජ්‍ය සම්මානාවලියකින් ද පිදුම් ලද ඈ සම්භාව්‍ය ගායන ශිල්පිනියක, සංගීත වේදිනියක හා මෙරට පළමු කාන්තා සිනමා සංගීත ඇදියුරුවරිය ලෙස ද ප්‍රකට ය.
පැරණි ටවර්හෝල් ශිල්පිනියක වූ විමලා කාන්තා මෑණියන් ගේ නූර්ති ගීත උණුසුමේ හැදුණු වැඩුණු සුජාතා දිගුනිහැඬියාවකින් පසු තවත් මාහැඟි මෙහෙවරකට උරදී සිටින්නීය. මේ සංලාපය ඒ පිළිබඳවයි.
ඔබේ හඬ අද ඇහෙන්නෙ ම නැති තරම්. ඒ ගුවන් විදුලි නාළිකා ඔබේ ගීත ප්‍රචාරය නොකරන නිසාද?
”ඒකත් එක හේතුවක්. නාළිකාවල මගේ ගීත ඕන තරම් තියෙනවා. ප්‍රචාරය නොකරන, එකයි ප්‍රශ්නෙ. ළඟදී රූපවාහිනියේ ‘ආලකමන්දාව‘ කළා. නමුත් තාම ඒක විකාශය කළේ නෑ. ඔය අද තියෙන ප්‍රසිද්ධ ටීවී නාළිකාවල මගේ ගීත ඕන තරම් තියෙනවා. ප්‍රචාරය කරන්නෙ නැත්තෙ මොකද කියල දෙය්යො තමයි දන්නෙ. ජීවත් ව ඉන්න ටිකේ නැත්නම් මං මළාට පස්සෙ ඒ ප්‍රචාරය කරන්න එපා කියලා මං ඉල්ලා සිටිනවා.”

මෙරට ප්‍රථම කාන්තා චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරිය ඔබ.
විලියම් ඔලම්ස් ගේ ‘හරියට හරි’ චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කරමින් මා එහි ගීත ගැයුවා. ‘සඳකිඳුරු’ චිත්‍රපටයේත් සංගීතය කළේ මම. නමුත් ඒ ගීතවත් අද ප්‍රචාරය කරන්නෙ නෑ. ඒ චිත්‍රපට ගීතවල ප්‍රස්ථාර ලියල තනු හදල සංගීතය නිර්මාණය කරල අධ්‍යක්ෂණය කරල ගායනා කළේ මං. කාන්තාවක් විදිහට මේක අභියෝගයක්. ඒත් ඒ අභියෝගය මං ජයගත්තා. සමහර විට එය ලංකාවෙ වාර්තාවක් වෙන්නත් පුළුවන්.”

ඔබේ දිගු ගමනේ සුවිශේෂී සිදුවීම් ගැන සිහිපත් කළොත්?
”එකම දවසකදී චිත්‍රපට 4 ක පසුබිම් ගීත ගායනා කළා. ආර්. මුත්තුසාමි සමඟ කඳානේ SPM චිත්‍රාගාරයේ මුල් ගීතය කළා. එම්.කේ. රොක්සාමි සමග හැඳල විජය චිත්‍රාගාරයේ දෙවන ගීතය කළා. සෝමදාස ඇල්විටිගල සමග දළුගම සරසවි චිත්‍රාගාරයේ තුන්වැනි ගීතය කළා. පී.එල්.ඒ. සෝමපාල සමඟ කිරුළ පාරේ ලංකා චිත්‍රාගාරයේදී හතරවැනි ගීතය කළා. මේක ලෙහෙසි පහසු වැඩක් නෙමේ. එකම දවසක එකම රැයක කාන්තාවක් විදිහට හතර පොළක ගීත හතරක් කරනව කියන එක ලේසි වැඩක් ද? තවත් එකක් තියෙනවා.
‘වාසවදත්තා’ චිත්‍රපටය ලංකා චිත්‍රාගාරයේ නිෂ්පාදනය කළේ. එය තෙළිඟු චිත්‍රපටයේ ම කොපියක්. “වාසවදත්තා” තෙළිඟු චිත්‍රපටිය තිරයේ පෙන්වද්දි ඒ දිහා බලාගෙන එහි ගීත ගායනා විලාසයට ම වචන හසුරුවමින් මං සිංහල ගීත ගායනා කළා. ඒ අතර ඔකෙස්ට්‍රා එක එවෙලේ ම සංගීතය සැපයුවා. කරු අය්යා එවෙලේ ම තෙළිඟු ගීතවලට සිංහල ගී පද ලිව්වා. ‘වාසවදත්තා’ චිත්‍රපටයේ ගී ගැයීම සිංහල සිනමා කර්මාන්තයේ සුවිශේෂී සිදුවීමක්. මේ සිදුවීම මගේ ගායන දිවියේ අමරණීය සිදුවීමක්.”

උත්තර භාරතීය හා කර්‍ණාඨක සංගීතය මනාව ඇසුරු කළත් ඔබ දේශීය සංගීතය මැනවින් ස්පර්ශ කළ ශිල්පිනියක්?
”හින්දි ගීත හා හින්දි අනුකාරක ගීත ගායනා කරපු කෙනෙක් විදිහටයි මාව කාලයක් හංවඩු ගහල තිබුණෙ. උත්තර භාරතීය හා කර්‍ණාඨක යන දෙකොටසට ම අදාළ ගීත මං ගයා තියෙනවා. එම සංගීත ක්‍රම දෙක ඇසුරින් කළ ස්වතන්ත්‍ර සිංහල ගීත මං ගයා තියෙනවා. ඒ කාලෙ හින්දි ගීත වුණත් හැමෝට ම හරියට ම ගයන්න බෑ. ඒ අතින් මට හොඳ ඉල්ලුමක් තිබුණා. සමහරු මට ඊරිසියා කළා. එදත් අද වගේ කැපිලි කෙටිලි රැවිලි බැවිලි තිබුණා. මං ඒවට බය වුණේ නෑ. කොහොම වුණත් සුභාවිත ගීත කලාව පැත්තට තමයි මං නැඹුරු වුණේ.”

රියැලිටි ගායක ගායිකාවන් ඔබේ ගීත ගයමින් සෑහෙන්න උපයනවා. මුල් ගායකයාගේ අවසර නැති ව කිසිම ගීතයක් ගැයීම තහනම් කියන ක්‍රමවේදයකට ඔබ එකඟද?
”මගේ ගීත කවුරු කිව්වත් මුල් ගායනයට හානියක් නොකර ගායනා කරනවාට මා අකමැති නෑ. ඒ ගීත ගායනා කරන පිළිවෙළකුත් තියෙනවනෙ. ඇඳුම් අඳින පිළිවෙළකුත් තියෙනවා. සමහර රියැලිටි ගායිකාවන්යැයි කියා ගන්න අය කලිසම් ඇඳගෙන නට නටා මගේ ගීත ගයනවා. මුල් ගායනයට හානි නොකර, ඒ ගීතයේ අර්ථය කෙළෙසන්නෙ නැතිව, හොඳ ඇඳුමක් ඇඳගෙන වේදිකාවක ගීත ගායනා කළාට කමක් නෑ. හැබැයි මගේ ගීත ඒ අයගෙ නමින් සීඩී කරල වෙළෙඳපොළේ විකුණන එකට නම් මං විරුද්ධයි. ඔය කියන ක්‍රමවේදයට වුණත් මගෙ අකමැත්තක් නෑ.

නෘත්‍ය, වාද්‍ය හා සංගීත ක්ෂේත්‍රය ම ප්‍රගුණ කළ ඔබ ප්‍රකට කලා පවුලක සාමාජිකාවක්
”ගායනය, වාදනය විශාරද කළා. කථක් නැටුම් ඉගෙන ගත්තා. තරමක් දුරකට කර්ණාඨක සංගීතයත් ප්‍රගුණ කළා. විමලා කාන්තා මගේ අම්මා. ප්‍රකට ටවර්හෝල් නිළියක්. ෆ්ලෝරී දේවි අක්කා ටවර්හෝල් නිළියක් වගේම නැටුම් ගුරුවරියක්. රංජනී නංගී නැටුම් උපදේශිකාවක්. ගායිකාවක්. සුසිල් පෙරේරා මල්ලි බටහිර ඩ්‍රම්ස් වාදකයෙක්. ධර්‍මසිරි පෙරේරා අය්යා සංගීත උපදේශකවරයෙක්. මේ අයගෙන් වැඩියෙන් කැපී පෙනුණෙ මං.”

විමලා කාන්තා මෑණියන්ගේ රංගන ආලෝකය ඔබට ආශිර්වාදයක් වුණා.
”මවගේ උරුමයට මං ණය ගැතියි. ‘ටවර් හෝල්’, ‘නූර්ති ගී’ පොත ලියන්න කලින් හුඟාක් ගීත අම්ම ලව්ව ගායනා කරවා ප්‍රස්ථාර ලියා ගත්තා. හුඟක් ගීත අම්මට මතක තිබුණා. වෙනත් පොත්වල තිබුණු ප්‍රස්ථාර පවා මම නිවැරදි කළා. අම්ම ගීත කියනවා, නටනව දැකල තමයි මං මේවට පෙළඹුණේ.”

ඔබ අතින් පසුගියදා ‘ටවර්හෝල් නූර්ති ගී’ නමින් ප්‍රශස්ත ග්‍රන්ථයක් සම්පාදනය වුණා.
”මං මේක ලියන්න ගත්තේ 1989 වසරේ. ඒ විවිධ බාධා නිසා 2012 එළිදැක්වූවා. නූර්ති ගීත පොත් සෑහෙන්න මං කියවල තියෙනවා. ඒ පොත්වල හුඟාක් ප්‍රස්ථාර වැරදියි. ඒවා නිදොස් කරන්න මට ඕන වුණා. මෙහි දෙවන පොතත් මේ දවස්වල ලියාගෙන යනව. මේ ගීතවල නිවැරදි තොරතුරු හුඟක් හොයල දුන්නෙ ස්ටැන්ලි මාස්ටර්. එදා මේ ගීතවල වචන මට කියල දුන්නෙ අම්මා. මේ පොත සමග නූර්ති ගීත ඇතුළත් සී.ඩී. තැටියකුත් නිකුත් කළා. නූර්ති ගීත ඉගෙන ගන්න අයට මෙන් ම උගන්වන අයටත් මේක හොඳ අත්පොතක් වේවි.”

අද බිහිවෙන හුඟක් ගායක ගායිකාවන්ට තමන්ට ම වෙන්වූ අනන්‍යතා හඬක් නැත්තෙ ඇයි?
”ඒ, ඒ අය අනුන්ගෙ සින්දු කියන නිසයි. ඒකෙන් වෙන්නෙ මුල් ගායකයා ම ඉස්මතු වෙන එකයි. අනුන්ගෙ ගීත ම ගයන නිසා තමන්ට ම වෙන්වූ ස්වර පරාශයක් හැදෙන්නෙ නෑ. ඒකයි හේතුව.”

නූර්ති ගීතවලට අද වැඩිදෙනෙක් උනන්දුවක් නෑ. විශේෂයෙන් තරුණ පරපුර. ඒකට හේතුවක් තියෙනව ද?
”මේ නූර්ති ගීත නාළිකාවලින් පෙන්වන්න ඕන. ප්‍රචාරය කරන්න ඕන. එතකොට තමයි මේවා අහන්න, ගයන්න මිනිස්සු හුරුවෙන්නෙ. පෙලඹෙන්නෙ. මේ ගීත හුඟ දෙනකුට අමතක වෙලා. නූර්ති ගීත නූර්ති දර්ශන නිතර නිතර රූපවාහිනීවලින්, ගුවන්විදුලි නාළිකාවලින් පෙන්වනව නම්, ප්‍රචාරය කරනවා නම් ඉබේම මේව ජනපි‍්‍රය වෙනවා. අද නාළිකාවලින් වැඩි හරියක්පෙන්වන්නෙ මොනවද? අඟර, දඟර. මේ ගීත ශාස්ත්‍රීය සංගීතය ඇසුරු කරගෙන හදලා තියෙන්නෙ. මේවා උතුරු ඉන්දීය රාගධාරී සංගීතයෙන් රසවත්ව හදපුවා. කවුරුත් මේවට කැමැතියි.

නූර්ති ගී කෙරෙහි වැඩි උනන්දුවක් ඇති වුණේ ඇයි?
’ටවර්හෝල් නූර්ති ගී’ පොත කරන්න මාව උනන්දු කළේ මගේ සැමියා. නවරත්න අත්තනායක. “ඔබට ඔච්චර දැනුම් සම්භාරයක් තියාගෙන නිකම් ඉන්නෙ ඇයි කියල” සැමියා නිතර ම මගෙන් ඇහැව්වා. අනික අම්මත් එක්ක මං කුඩා කාලේ ටවර්හෝල් එකට ගියා. අම්ම රඟපාමින් ගීත ගායනා කරන දිහා මං බලාගෙන හිටියෙ හරිම ආශාවෙන්. ඒ ගීත නිකම් මට පාඩම් හිටියා. මේ පොතේ අඩංගු ගීතවලට අමතර ව තවත් විශාල ගීත සංඛ්‍යාවක් මා සතුව තියෙනවා. මා කුඩා කාලයේ ටවර්හෝල් එකේ රඟපාමින් ගයපු ගීතත් මේ පොතේ තියනවා. නූර්ති ගීවලට වැඩි උනන්දුවක් ඇති වෙන්න තවත් හේතුවක් තමා අම්මත් එක්ක රඟපෑ, ගී ගැයූ නළු නිළියන් ගායක ගායිකාවන් මට ඇසුරු කරන්න ලැබීම.”

සංලාපය - චන්ද්‍ර ශ්‍රී සෝමසිරි
http://www.silumina.lk/punkalasa/20130721/_art.asp?fn=ar13072112

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි