Sunday, July 28, 2013

බිරියෝසා කුමාරී

රුසියාවේ ජනශ‍්‍රැති ජනකතා සහ සුරංගනා කතා

එක්තරා ඈත කාලයකදී එක්තරා රුසියානු හමුදා භටයෙක් සිය නිවාඩු කාලය ගත කරනු පිණිස ගමරට බලා පිටත් ව ගියේ ය. එසේ ඔහු යා යුතු ව තිබුණේ මහා වනාන්තරයක් මැදිනි.
මේ වනයේදී ඔහුට මායාකරුවකු මුණගැසිණි.
මායාකරුවාට වනයෙන් බැහැර ව යෑමට වුවමනා වූ හෙයින් ඔහු බාරයේ සිටි රාජාලියන් සිව් දෙනකු හමුදා භටයා ගේ භාරයට පත්කරවන්නට ඔහුට අවශ්‍ය ව තිබිණි.
තම නිවාඩු කාලයේදී කළ හැකි අන් යමක් ද නො වූ නිසා සොල්දාදුවා මේ කාර්යයට අත ගැසුවේ ය. ඔහුට වාසය සඳහා දැවමුවා නිවෙසක් ලැබිණි.
කෑම බීම සියල්ල එහි තිබේ. රාජාලියෝ ද සිටිති. කිසිවකින් අඩුවක් නැත. එහෙත් වස කම්මැළි ය. මිනිස් හඬක් නැත. පුදුමාකාර පාළුවකි!
හමුදා භටයාට ඉක්මනින් ම මේ සියල්ල එපා විය. ඔහු ගෙයින් බැහැර ව යාබද වනයට පිවිසියේ ය. එවිට ම ඔහුට මිනිස් කටහඬක් ඇසිණි. ඒ බිරියෝසා ගසකිනි.
”කරුණාවන්ත තරුණය, මා අද බිරියෝසා ගසක්ව සිටින්නේ මායාකාරයා නිසා. ඔහු මා සරණ පාවා ගැනීමට උත්සාහ කළා. මා ඊට අකමැති වූ විට මා බිරියෝසාවක් කළා. ඔය රාජාලියන් මගේ සහෝදරයන්. ඔවුන් මා බේරාගන්නට ඇවිත් ශාපයට හසුවෙලා.”
මේ පුවතින් කරුණාවන්ත සොල්දාදු සිත රිදිණි. ඈ බේරාගන්නට කළ යුත්ත ඔහු අසා සිටියේ ය.
”එසේ නම් නුඹ එහා ගමට යා යුතුයි. එහි යහපත් මිනිසෙක් සිටිනවා. ඔහු නුඹට පොතක් තෑගි කරාවි. නුඹ එය දින තුනක් කියැවූ විට මේ ශාපය නිමාවේවි”
හමුදා භටයා ඒ වචන එසේ ම පිළිපැද්දේ ය. ඔහු බිරියෝසා ව පාමුල සිට පොත කියවන විට ගහේ කඳ දෙපළු වෙමින් රූබර කාන්තා රුවක් ඉස්මතු වන්නට විය. තෙවැනි දින අවසානයේදී ගසින් බට රූබරිය හමුදා භටයාගේ බිරිය වන්නට කැමැත්ත පළ කොට සිටියා ය.
එවිට රාජාලියෝ ද පියාඹා’විත් අළු පැහැති පොළොවේ හැපී ශක්තිමත් තරුණයෝ බවට පත්වූහ. ඔවුන් සියල්ලන් යාබද රාජධානියක රජුගේ දරුවන් බව ද හෙළිවිණි. ඔවුහු හමුදා භටයා ද රැගෙන සිය මාලිගය වෙත ගියෝ ය.
මිනිසුන් ගස් ගල් බවට පත් නොවන්නට නම් පොත් පත් පරිශීලනය කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි