විඩෙන් විඩේ වැටෙන වැහි පොදෙන් තෙත බරියම් වුණු මහ පොළොවේ සොහොන් කොතක් යට පුංචි සුරංගනාවියක් මිහිදන් වුණා. මීට සිවු දවසකට පෙර.
එදා මළ හිරු බැහැගෙන යන හැන්දෑවේ පාළු කනත්ත පුරා දෝංකාර දුන්නු කිරි අම්මා ගේ විලාපය ඇසුණා නම්, ආදරෙන් අකුරු කියල දුන්න ගුරු මවුවරුන්ගේ ඇස්වලින් කඩා වැටුණු කඳුළු කැට දැක්කා නම් ඇය ආයෙත් ඔවුන් වෙත එනවා නොඅනුමානයි.
ඒත්... හැමෝටම ආයුබෝවන් කියලා. තමන්ගේ පාඩුවේ කාටවත් අවලාද නොනඟා ඇය යන්නම ගිහින්. ඒත් ඇගේ ශෝකාලාපය යට ඇත්තේ අපේම නොසැලකිල්ල. අවුරුදු 12 ක් පුරා අම්ම ගේ කිරි සුවඳ ඉල්ලලා, තාත්ත ගේ රැකවරණය ඉල්ලලා අඬා වැටුණු පුංචි කෙල්ල පාළුවෙන් තනිකමෙන් ගෙවුණ ජීවිතේට විරාමයක් තියලා.
අනියත ජීවිතේ මරණය නියත වුණත් මේ පුංචි දුවගේ මරණය ඇසූ දුටුවන් ගේ හදවත කම්පනයට පත් කළා. ටිකක් නෙමෙයි. කියන්න බැරි තරම් වේදනාවකින්.
ඇය ගේ කතාව මේ විදිහට අකුරු කෙරෙන්නේ ඇය වගේ ම අසරණ වෙන, මේ ලෝකයේ ආදරේ ඉල්ලලා හඬා වැටෙන අනන්ත වූ දරු පැටවු වෙනුවෙන්. ඇත්තටම ඇගේ හිත පුරා කියාගන්ඩ බැරි තරම් බොහෝ සිතිවිලි තිබෙන්නට ඇති.
“අම්මට මතක ද? මං පුංචි කාලෙ අම්මයි තාත්තයි මොන තරම් ආදරෙන් හිටිය ද? අම්ම ගේ ඇඟිල්ලක් අල්ලගෙන වැටි වැටී ඇවිදින මගේ පස්සෙන් තාත්තත් දුවගෙන ආවා. මට අනතුරක් වෙයි කියන බයට. ඇඟ ටිකක් රත් වුණත් අම්ම විතරක් නෙවෙයි තාත්තත් නිදිවරාගෙන මගේ ළඟින් හිටියා. ඒත් ඒ ලස්සන දවස් ටික බොහොම ඉක්මනට ගෙවිලා ගියා.
අම්මයි තාත්තයි හැම තිස්සෙම රණ්ඩු වෙන්න පටන් ගත්තා. අම්මා තාත්තට බණිනවා. තාත්තා අම්මට බණිනවා. රණ්ඩු වෙන්න එපා අම්මේ කියලා වචන ගළපා ගන්න බැරි මම ඒ වචන ටික දහස් වාරයකටත් වැඩිය හිතෙන් කියෙව්වා. ඒත් අම්මවත් තාත්තවත් මගේ හිත කියෙව්වේ නෑ. ඔය දෙන්නට මාවත් එපා වුණා. තාත්තා ගෙදර නෑවිත් හිටියා.”
‘මම විතරක් කොහොම ද මේ දරුව ගේ බර කරට ගන්නේ’ අම්මා හැම තිස්සෙම කියනවා මට ඇහුණා.
මුලින් මුලින් දවසකට වරුවක් දෙකක් කිරි අම්මට බාර කෙරුණු මගෙ රැකවරණය හැමදාටම බාර කෙරුණා.
මං මොන්ටිසෝරි ගියෙත් කිරි අම්මත් එක්ක.
‘ඔයා ගෙ අම්මා අපේ ආච්චම්මා වගේ’ දවසක් මගේ හොඳම යාළුවා මට කිව්වා.
ඒ මගේ අම්මා නෙමෙයි කියලා මම කිව්වේ නෑ. මම දන්නවනේ මගේ අම්මට ඒ තරම් වයස නෑ කියලා...’
මම ඉන්නේ ආච්චි අම්ම ළඟ කියල මම කීවේ මගේ ඉස්කෝලේ ටීචර්ට විතරමයි. ටීචර් හැමදාම මගේ ඔළුව අතගාලා කිව්වේ පුතා හොඳට ඉගෙන ගන්නකෝ. අපි හැමෝම පුතාට ආදරෙයි කියලා.
ටීචර් එහෙම කිව්වට මගේ අම්මයි තාත්තයි මගෙ ළඟ නෑ නේ.
එක දවසක් තාත්ත මාව බලන්න ඉස්කෝලේ ගේට්ටුව ළඟට ආවෙ තනියම නෙවෙයි.
තාත්තගේ කාරෙක ඇතුළෙ ඉඳන් ලස්සන ආන්ටි කෙනෙක් මට හිනාවෙලා අත වැනුවා. මම නම් අහක බලා ගත්තා. එයා මොකටද මගේ තාත්තගේ කාරෙකට වෙලා ඉන්නේ. තාත්තා මට තෑගි ගොඩක් ගෙනැත් තිබුණා. ඒත් මට ඕන තෑගි නෙමෙයි. මගේ අම්මයි තාත්තයි ළඟට වෙලා ඉන්න මං ආසයි කියලා එච්චර ලොකු මහත් වෙලත් තාත්තට තේරුණේ නෑනේ.
ඉස්කෝලේ ඇරෙන වෙලාවට හුඟක් දවස්වලට අම්ම එනවා මාව එක්කරගෙන යන්න. මමත් දුවගෙන ගිහින් අම්ම ගේ අතේ එල්ලෙන්නේ මගේ යාළුවන්ට වගේ ම මටත් හොඳ අම්මා කෙනෙක් ඉන්න බව පේන්න. ඒත් අම්ම ගේ අතේ ඉන්න චූටි මල්ලිට නම් මම කවදාවත් ආදරේ වුණේ නෑ. ඉස්සර මගේ අම්මටයි තාත්තටයි හිටියේ මම විතරයිනේ. මාව ආච්චි අම්මගේ ගෙදරට ඇරලවලා අම්ම මල්ලිත් එක්ක වෙන ගෙදරකට යනවා. ඒ වෙලාවට චූටි මල්ලි අම්ම ගේ අතේ ඉඳන් මාත් එක්ක හිනාවෙනවා. එතකොට නම් මට අහක බලන්න හිතෙන්නේ නෑ. මල්ලි මොනවා කරන්න ද? මට ඕන දේ අම්මට නොතේරුණාට.
කිරි අම්මට හුඟක් වයස වුණත් මාව ආදරෙන් බලා ගත්තා. ඒත් හැමදාම පාන්දර නැඟිටලා මට කෑම උයලා දෙන්න බැරි වයස වැඩි නිසා. එහෙම දවසට මට ලැබෙන්නේ සල්ලි. ඉස්කෝලේ කැන්ටිමෙන් මොනවා හරි ගන්න කියලා. දවසක් කිරි අම්මා දුන්නු සල්ලි නැතිවුණා. උදේ බඩගින්නේ හිටියත් දවල් වෙද්දි ඇඟටත් පණ නැති වුණා.
පන්තියේ යාළුවෝ කෑම කන අතරේ මම එළියට ගියා. එක යාළුවෙකුට එයා ගේ අම්මා රස බත් එකක් උයලා දීලා. ඒ සුවඳ දැනුණු මටත් අම්ම ගේ අතින් උයපු බත් ටිකක් කන්න ආස හිතුණා. ඒ යාළුවා කෑම කාලා ඉතිරි ටික කුණු කූඩෙට දානවා මම දැක්කා. කාටවත් නොපෙනෙන්න මම ඒ කෑම එක හොයා ගත්තා. ඒත් කන්න ලැබුණේ නෑ. කවුරු හරි ඒ ගැන අපේ ටීචර්ට කියලා.
‘ඇයි පුතේ සල්ලි ඉල්ලුවානම් මම දෙනවනේ’ ටීචර් එහෙම කිව්වෙ ඇස්වල කඳුළුත් පුරවගෙන. මේ කතාව අපේ අම්මටත් ආරංචි වුණා.
ඒ වෙලාවෙ අම්මා මගේ කන මිරිකුවේ ‘කුණු බක්කිවල තියෙන කෑම අහුලගෙන කන්න උඹ හිඟන්නියක් ද?’ කියලා. ඒත් මම වැරැද්දක් ද කළේ? මට තේරෙන්නේ නෑ.
ආච්චි අම්මයි මමයි නතර වෙලා හිටියේ කැලණිය පැත්තෙ කුලියට ගත්ත ගෙදරක. පුංචිම කාලෙ නම් ලස්සන ගමක ලස්සන ගෙදරක් තිබුණා. අම්මයි තාත්තයි ඈත් වුණාට පස්සේ මටත් ඒ ගෙදරින් එන්න වුණා.
අපි දෙන්න හිටිය පුංචි කාමරේ ජනෙල් අරිනකොටම පේන්නේ වතුර පිරුණ කානුවක්. ආච්චි අම්මනම් පුළුවන් හැටියට වත්ත පිරිසුදු කරනවා. ඒත් ගෙදර අයිති ආන්ටිලාට නම් එහෙම පුරුද්දක් තිබුණේ නෑ. යෝගට් කෝප්ප, ටින් කෑලි වත්තේ අහුමුළුවල. සති දෙකකට විතර කලින් මගේ ඇඟපත රිදෙන්න පටන් ගත්තා. ගිනි කබල වගේ ඇඟත් රත්වුණා. ආච්චි අම්මා බෙහෙත් පෙත්තක් දුන්නා. උණ අඩු වෙන හැම දවසෙම මම ඉස්කෝලේ ගියා. යාළුවොත් එක්ක ඉන්න මම ගොඩක් කැමති නිසා. ඒත් දවස් හතරක් පහක් යනකොට මට හුඟක් අමාරු වුණා. නැඟිට ගන්න බැරි තරමට. තාත්තා ඇවිත් මාව ඉස්පිරිතාලෙට එක්ක ගියා.
හීනෙන් වගේ මට මතක් වෙනවා. අම්මත් මාව බලන්න හැමදාම ආවා. චූටි මල්ලි නිසා ඉක්මනටම ආපහු ගියා. ඒත් මගේ අම්මයි තාත්තයි මගේ ළඟ ඉන්න බව මට හොඳටම දැනුණා. අම්ම පුංචි කාලෙ වගේ ළඟ ඉඳන් මගේ හිස අත ගානවා. තාත්ත හුඟාක් රිදෙන අත්දෙක අත ගානවා. ඇස් පියවුණු වෙලාවට එහෙම දැනුණත් ඇස් ඇරල බලද්දි ඒ දෙන්න වෙනුවට මගේ ළඟ හිටියේ මම අඳුරන්නේ නැති නැන්දා කෙනෙක්.
මාව බලා ගත්ත නිසා එයාට මගේ තාත්තා සල්ලි දෙනවා කියලා කවුදෝ කියනවා මට යාන්තමට ඇහුණා. ඒත් මම ඉක්මනට ඇස් දෙක පියා ගත්ත. මට දැන් කිසිම දෙයක් ඇහෙන්නේ නෑ. පේන්නෙත් නෑ. ඒත් මගේ අම්මයි තාත්තයි මට ආදරෙන් මගේ ළඟ ඉන්නවා මට දැනෙනවා. මම තවත් තදින් ඇස් පියා ගත්තා. ආයෙනම් කවදාවත් අම්ම තාත්තා ළඟ නැති ලෝකෙක ඇස් දෙක අරින්නෙ නෑ...”
වයසටත් වඩා දුක් කන්දරාවක් හිතේ හිර කරගෙන ඒ පුංචි දුව මේ ලෝකෙන් සමුගත්තා. ඇයට වැලඳී තිබුණේ ඩෙංගු රක්තපාතය. ‘නිසි මවුපිය රැකවරණය තිබුණා නම් මේ දරුව ගේ ජීවිතේ බේර ගන්න තිබුණා. කායිකව විතරක් නෙවෙයි මානසිකවත් දරුවා වැටිලයි හිටියේ...’ රෝහලේ වෛද්‍යවරු හැමෝම කම්පා වුණා.
සත්‍ය කතාවක් ඇසුරිනි.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි