රේඩියෝ සර්කිට් හදපු මට ගුවන්විදුලියට යන්ඩත් පාර කිව්වෙ ආනන්දෙ ගුරුවරු
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
ඒ සොඳුරු ආඥාදායකයා ‘දෙඤ්ඤං බැටේ’ විචාරකයා සොයා මම නුගේගොඩ මිරිහානේ දාබරේ මාවත පීරමි. එහි කෙළවරම නිවෙසේ එතුමා මා හමුවන්නට සුව පහසුව සිටී. දොරටුව විවර කළේ ද එම ප්‍රාඥයාය.
අප එක්තැන් වූ මොහොතේ පටන් ම ඔහුගේ විදේශයෙන් ගෙන්වන ලද විශාල බලු තඩියා නොකඩවාම බුරන්නට පටන් ගත්තේය. අප පිළිසඳරට බාධාවක් වන තැන එතුමා හුනස්නෙන් නැඟිට්ටේය.
ඔයා නිකම් ම බල්ලෙක් නොවෙයි. වැදගත් බල්ලෙක්. කවරදාවත් වැදගත් බල්ලෙක් කරන දෙයක් නොවෙයි ඔබ මේ කරන්නේ. කරුණාකරලා ශබ්ද කරන්න එපා. එතුමා කීවේය.
පුදුමයකි! බල්ලා හෝරා ගණනක් පුරා පැවැති අපේ කතාවට ඉන් අනතුරුව මොහොතක්වත් බාධා කළේ නැත.
මගේ මතකය දශක තුනක් තරම් ඈතකට දිවෙයි. ධර්මසිරි ගමගේ සූරින් සංවිධානය කළ කොග්ගල යොවුන් පහන් වැට නිර්මාණශීලී එකමුතුව මට මැවී පෙනෙයි. රටේ විදග්ධ කලාකරුවෝ ද, සාහිත්‍යධරයෝ ද තවත් බොහෝ නිර්මාණ ශිල්පිහු ද එක්තැන් වී සිටිති. එහි මාර්ටින් වික්‍රමසිංහ ජනකලාගාර බිමේ සංවාදයකි.
රංජිත් මල්ලියාවඩු - දේ. වි. ගාල්ලගේ, හෙන්රි වර්ණකුලසූරිය ඇතුළු යොවුන් නිර්මාණ ශිල්පීහු මේ සොඳුරු ආඥාදායකයාගේ මාක්ස්වාදී කතාවකින් ඇවිළුණ හ. ඔව්හු තර්ක පැනසර එකතු කරමින් එතුමාට වදන් කසපහර එල්ල කරන්නට ද වූහ.
අද අපේ කතානායක මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සුපුරුදු හිනාව පා මෙසේ කීවේය.
මං දන්නවා. මං දන්නවා. මගෙ කොල්ලො මාත් එක්ක පැටැලැවෙන බව. (ඔහු අත ඇති බෑගය පෙන්වයි.) ද ජර්මන් අයිඩියලොජි, ඩාස් කැපිටාල්, මේ ඔක්කොම පොත් මං මේ බෑගයේ ගෙනාවේ ඒකමයි.
අනුමානයෙන් මාක්ස්වාදය කතා කරන කොල්ලෝ බිරාන්ත වූහ. ඔව්හු දුර්මුඛ වී ගියහ.
එදා රාත්‍රියේ විද්වතුන් නැවතුණේ ඒ අසල හෝටලයේය. සෝමවීර සේනානායකයන්ට කවදත් රාත්‍රියට පොත් කියවන පුරුද්දක් තිබේ. ඔහු අප ආඥාදායකයාගෙන් රාත්‍රියට කියවන්නට පොතක් ඉල්ලුවේය.
පිස්සු කෙළින්ට එපා බං. කොල්ලන්ට ඇහෙයි. මේකෙ තියෙන්නෙ මගෙ සරමයි බැනියමයි තවත් අඩුම කුඩුම ටිකක් විතරයි. සුනන්ද මහේන්ද්‍රයෝ කීහ. එතුමගේම ක්‍රමවේදය අනුව එතුමා හඳුන්වාදීමට මම සිතුවෙමි. ඒ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් අද ඔබ හමුවේ තමන්ගේ රමණීය පාසල් දවස මතකයට නඟයි.
බොහෝ වෙලාවට මාපියන්ගේ රැකියාව අනුව දරුවන්ගේ පාසල් කටයුතු වෙනස් වෙනවා. මගේ තාත්තා සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්. මා මූලික අධ්‍යාපනය ලැබුවේ 47 – 48 – 49 වගෙ කාලයේ. මහනුවර ධර්මරාජ විදුහලින්. 1949 ගණන්වල අගභාගයේ නැවත ගම්පහට තාත්තාට මාරුවක්. ඒ කාලෙ කොළඹ ආනන්දයට ඇතුළු වෙන්ඩ පරීක්‍ෂණයක් තිබුණා. කොළඹ ඇවිත් ඒ පරීක්‍ෂණයට මාව තැබුවෙ තාත්තා. මා (මධ්‍යම පංතියට) තේරුණා. ප්‍රාථමිකය, මධ්‍යම, ජ්‍යෙෂ්ඨය නමින් පංති බෙදීමක් එදා ආනන්දෙ තිබුණා.
මාව මධ්‍යම පංතියට තෝරා ගත්තම දැන් අපි නවතින්ඩ තැනක් හොයනවා. අපට ලැබුණෙ පුංචි බොරැල්ලෙ නොරිස් හෝටලයෙ කාමරයක්. දුෂ්කරතා මැද්දෙ ටික දවසක් මෙහෙ ඉඳගෙන පංති යන ගමන් මගෙ දෙහිවල පුංචි අම්මාගෙන් (නෙලී බ්‍රියටිස් මැතිනිය) ඇගේ ගෙදර නවතින්ඩ ඇරැයුමක් ආවා. ඊට පස්සෙ මං ආවෙ දෙහිවල ඒ ගෙදර ඉඳන්.
1950 වසරෙදි තමයි මා නමෝ විත්තියෙන් ආනන්දයට ඇතුළු වුණේ. තාත්තා නොයෙක් පළාත්වල වැඩ කළ කෙනෙක් නිසා එතුමාට බොහෝ දැන හැඳුනුම්කම් ඇති පිරිසක් රටේ විවිධ තැන්වල හිටියා. කොළඹ මරදාන බොරැල්ලෙත් එහෙමයි. බොහෝ සාහිත්‍යධරයන් පවා තාත්තා දැනගෙන හිටියා. ඇත්තටම පොත් මගේ ජීවිතයට මුලින්ම ආවෙ තාත්තා හරහා.
ජුලියස් ද ලැනරෝල්ගෙ මල්ලි කේ.ඩී,, ද ලැනරෝල් පියදාස සිරිසේනයන් තාත්තා කිට්ටුව දැන සිටියා. මුලින්ම රම්‍ය පොත් නම් ලැනරෝල්ගේ පොත් මා කියෙව්වා. ඊළඟට පාහිත් සමාගමේ පොත්. ඒ අය රීඩර්ස් ඩයිජස්ට් වර්ගයේ ප්‍රථම සඟරාව ‘පාඨකයා’ කළා මතකයි. අදත් මා ළඟ ඒවා සුරැකිව තිබෙනවා.
මගෙ ඉස්කෝලෙ මතකයට නඟනකොට මට හොඳට තේරෙන අවදිය 6 වැන්න පමණ. ටයි කෝට් දාලා කලිසම ඇඳලා බොහොම උජාරුවට අපේ මධ්‍යම පංති භාර විදුහල්පති කේ.ඩී. ද ලැනරෝල් මහත්මයා හිටියෙ. එස්.පී. පෙරේරා අපේ පංති භාර ගුරුතුමා ඒකෙ අනෙක් පැත්ත. එතුමා ඇන්ෙඳ ජාතික ඇඳුම.
සුප්‍රකට පුවත්පත් කලාවේදී ටාසි විට්ටච්චි එස්.පී. පෙරේරා මහත්මයගෙ පුතා. පෙරේරා මහත්මයා ලියූ සුප්‍රකට පොතක් තමයි ‘පැනපොඩි’. මේ පොත පදනම් කරගෙන තමයි ගුවන් විදුලියෙ ‘පැනපොඩි’ වැඩසටහන පවා ඇරැඹුණෙ. ලැනරෝල් මහත්මයා ඒ කාලෙ පංති මට්ටමින් පාසල් පුස්තකාල පවත්වන්ඩ ඕනෑ කියලා නියෝගයක් දීලා තිබුණා. ඉතින්! මං දිහා බලලා දවසක් එස්.පී. පෙරේරා මහත්මයා අහනවා. පොත් පත් ගැන උනන්දුයි නේද? කියලා. මාත් ඉතින්! හිස පහත් කරගෙන එකඟතාව දැක්වුවා. ඒ වෙලාවෙම ලැනරෝල් සර් ආවා. එතුමාත් දැන් අපේ සර්ට එකතුවෙලා.
කියනවා බලන්න? මහියංගණය ගැන වචන කීපයක්... දැන් ලැනරෝල් සර් කියනවා.
මහී කියන්නෙ මහපොළොව. අංගණ කියන්නෙ තැනිතලා බිම් පෙදෙස. මහියංගණයට බුදුන් පළමු වරට වැඩියෙ යක්‍ෂ – නාග කෝලහලය සංසිඳුවන්න. එහි මියුගුණ වෙහෙර ඉතිහාසය විශිෂ්ටයි. සොරබොර වැව පෙදෙසත් මහියංගණයට කිට්ටුයි. වැව කපන ලද බුලතාගේ පරම්පරාව ගැන කියැවෙනවා.
මෙහෙම මං කියාගෙන යද්දි ලැනරෝල් මහත්තයත් එස්.පී. පෙරේරා මහත්මයත් මා දිහා බලලා මෙයා තමයි මේ ‘පංතියේ පුස්තකාලයාධිපති’ කියලා මා පත්කැරගත්තා. ඒත් එක්කම එතුමා තවත් ප්‍රශ්නයක් ඇහුවා. සුරංගනා කතා කියන්නෙ මොනවාද? කියලා. මා විදේශීය ලේඛකයන් කීපදෙනෙක් ලියූ සුරංගනා කතා කීපයක් කියලා ලංකාවෙ තවම ලියා ඇත්තේ එකම සුරංගනා කතාවයි. ඒ තමයි ‘පුවක් මල් කුමාරි’ කියලා කීවා.
ඊළඟ ප්‍රශ්නය ආයිත් ලැනරෝල් මහත්මයාගෙන්. කවුද? ඒක ලීව ලේඛකයා.
’ඔබතුමාගේ අයියා’ මා හිනැහෙමින් කීවා.
සර්ටත් හිනාවක් ආවා. එහෙනම් යන්ඩ කලින් මගෙ ඔෆිසියට එන්ඩ ඕනෑ. සර් මට එකයි තිහට කෝච්චිය. මං කීවා. නෑ. නෑ. විනාඩි 5 යි. එතුමා එහෙම කියාගෙන තමන්ගෙ කාර්යාලයට ගියා. පාසල ඇරුණු ගමන් කුරුල්ලා මිටින් අතහැරියා වගේ මං දිව්වෙ සර්ගේ ඔෆිසියට. සර් මං එනතුරු බලාගෙන ඉන්නවා. කොහොමද අපි පුස්තකාලයක් පවත්වාගන්න කොට අනුගමනය කළ යුතු පිළිවෙළ. පළමුවැන්න. අකාරාදිය පිළිවෙළට මේ පොත් පෙළ ගස්වන්ඩ ඕනෑ. දෙවැන්න පොත් ලබා දෙන ක්‍රමය එක ළමයකුට සතියකට එකයි. වැඩිවන දිනයක් ගානේ දඩ මුදලක් අය කරන්ඩ ඕනෑ. ඔයාට සතියකට 2 ක් ගෙනියන්ඩ පුළුවන්. මේ විදියෙ උපදෙස් වැලක් ලැබුණා.
මං එදා කෝච්චියට ගිහින් කොහොම හරි ගෙදර යනකොට මගේ හිතේ ලොකු වීරත්වයක්. අභිමානයක්. මං තමයි පංති පුස්තකාලයාධිපති. කර්නල් රාජපක්‍ෂ විදුහල්පතිතුමා පවා පසුකාලයක මගේ පුස්තකාලය ගැන සතුටු වුණා. පුස්තකාලයාධිපති වුණාට පස්සෙ මගේ ජීවිතය තවත් අලුත් වුණා. ශේක්ෂ්පියර්, ක්‍රිස්ටීන්, ඇන්ඩර්සන්, චාල්ස් ඩිකන්ස්, වර්ඩ්ස්වර්ත් වගෙ විදේශීය ලේඛකයන්ගේ වගේ ම මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, ඒ.පී. ගුණරත්න (පරිවර්තන) මේ වගේ දේශීය කීර්තිධර බොහෝ ලේඛකයන්ගේ පොතපතත් මා කියවන්න පටන්ගත්තෙ එහෙමයි.
ඒ කාලෙ ‘සිංහල දරුවා’ කියලා සඟරාවක් පළ කෙරුණා. මේකෙ පුංචි පුංචි ප්‍රබන්ධ කරන්ඩ ලැනරෝල් සර් ආශ්‍රයෙන් මං පුරුදු වුණා. කූඹි ගැන, උන්ගේ ගෙවල් ගැන, තරමක විද්‍යා ලිපි, බල්ලො බළලුන් ගැන මං ඒවගේ ලීවා. මා තෝරා ගන්නා මාතෘකාත් අමුතුම ඒවා. බල්ලන් බුරන්නෙ ඇයි! බළලුන් ඤාව් ගාන්නේ ඇයි? කුරුල්ලන් ඉගිලෙන්නෙ ඇයි? වගෙ ඒවා. ඉස්කෝලෙ ජනපි‍්‍රය වෙලා තිබුණු මේ සඟරාවෙ මටත් නමක් හැදුණා. මගෙ ඉංගී‍්‍රසි බසත් හොඳයි. හැමවිට ම පංති සාමාර්ථය ලැබෙන්නෙත් මට.
මට මතකයි දවසක් ආචාර්ය එන්.එම්. පෙරේරා අපේ ස්කෝලෙට ආවා. එතුමා ඉංගිරිසියෙන් දීර්ඝ දේශනයක් පවත්වලා ළමයින්ට ඉංගිරිසි භාෂාවෙන් ප්‍රශ්න අහන්ඩ කීවා. ඒ දෙසුම තරමක ආර්ථික විද්‍යාත්මක එකක්. සමාජ මානව විද්‍යාත්මක කරුණුත් එහි තිබුණා. දැන් ළමයින්ගේ ප්‍රශ්න අහන වාරෙ. ලැනරෝල් සර් මගේ දිහාත් බලනවා.
මං බය නැතිව නැඟිටලා ඩොක්ටර් එන්.එම්. ගෙන් මෙහෙම ඇහුවා. who is an Economist...එතුමා බොහොම හොඳ ප්‍රශ්නයක් කියලා ආර්ථික විද්‍යාඥයා කවුද? කියලා තවත් විග්‍රහයක් කළා. ඊළඟට පොත් අවශ්‍ය නම් දැන් ඇන්.ඇම්. අනුස්මරණ කේන්ද්‍රය පිහිටි තැන තිබූ නිවෙසට එන්ඩ කියලා ගියා. ගුරුවරු මට කීවෙ ගිහින් අදාළ පොත්පත් එතුමාගෙන් ඉල්ලගන්ඩ කියලා.
මං එහෙම ගියාම එතුමා බලාගන්න හිටියෙ මාටින් කියලා මහත්මයෙක්. එන්. එම්ටත් මාටින් කෑල්ල තියෙනවා. මගේ තාත්තගෙ නමත් මාටින්.
ආ, මේ මාටින්ගෙ පුතා ද? කියලා තමයි එන්.එම්. මහත්මයා කතාව පටන් ගත්තෙ. මා බොහෝ සමසමාජ කියැවීම් කළේ ඒ හරහා. ඇත්තටම මගේ සමාජ පිළිබඳ විද්‍යා දැනුම ඒ අයුරින් වැඩුණ. පොත පත හුරු පුරුදු නිසා දැන් තාත්තා හඳුනන සාහිත්‍යවේදියො හරහා මාත් විවිධ තැන් ඇසුරු කරනවා. පී. ද ඇස් කුලරත්න, පියදාස සිරිසේන මේ විදියට මගේ සාහිත දැනුම දියුණු කරන්න බලපෑවා.
සාහිත්‍ය විෂය ඇසුරු කළාට මගේ තාත්තගෙ ඕනෑකම නිසා මා ඉස්කෝලෙදි කරන්නෙ විද්‍යා විෂය ධාරාව. උද්භිද විද්‍යාවට දක්‍ෂ වුණාට ජීව විද්‍යාවට මා දුර්වලයි. මේ වගේ විද්‍යාවන් හදාරන්න ගිහින් මට වැරදුණා. මේ අතර අපේ භෞතික විද්‍යා ගුරුවරයා පී. කීර්තිසිංහ මහත්මයා ‘රේඩියෝ ක්ලබ්’ කියලා එකක් ඉස්කෝලෙ ඇති කළා.
මුලින්ම අපට කියලා දුන්නේ සර්කිට් එකක් හදන හැටි. ඇත්තටම මම හොඳට ඒකට අවශ්‍ය ආම්පන්න දන්නවා. රේඩියෝ හදන්ඩ පුළුවන් බව දන්නවා නම් මට ඒකත් කරන්ඩ වේවි. ඒ කාලෙ මගේ වීරයා කීර්තිසිංහ සර්. එතුමා රේඩියෝ හදන්ඩ වගේ ම නිර්මාණාත්මකව බොරු කියන්ඩත් දක්‍ෂයෙක්. රේඩියෝ හදන්ඩ ඒක පුරුදු වෙන ගමන් ඒ සර් මට කීවා ගිහින් රේඩියෝ සිලෝන් එකේ රවුමක් ගහලා බලා ගන්නවා කියලා.
රේඩියෝ එකේ යන පුංචි පුංචි ගුවන් විදුලි නාට්‍ය මං අහන්ඩ පටන් ගත්තේ ඒ අනුවයි. සර්ගේ මෙහෙයවීමෙන් මං ගුවන් විදුලිය පැත්තෙත් දැන් යනවා. තාත්තා දන්නා හඳුනන අයත් හිටියා. තේවිස් ගුරුගේ, ඩී.එම්. කොළඹගේ, සරත් විමලවීර, පී. වැලිකල, මහාචාර්ය සරච්චන්ද්‍ර වගේ අය මට බොහොම උදව් කළා.
රේඩියෝ හදන්ඩ ආසා කළ මට හිටිහැටියේ ම රේඩියෝ එකේ කතා කරන්ඩත් හිතුණා. එදා තිබුණෙ ගී ද මෝපසාංගේ කෙටිකතාවක් ඇසුරින් හදපු නාට්‍යයක්. ‘දියමන්ති මාලය’ නාට්‍යයේ නම. මුලින් ම සරච්චන්ද්‍රයන් ඒ ලේඛකයා ගැන වචන කිහිපයකින් අපූරුවට හැඳින්වීමක් කළා. ‘යෞවන සැන්දෑව‘ ප්‍රෝග්‍රෑම් එකේ නම. ඒ.පී. ගුණරත්න මහත්මයා මේ වැඩසටහනේ නිවේදන කටයුතු කළේ.
මං ගුණරත්න මහත්මයා වැඩසටහන නිමකරලා ‘පුෂ්’ බයික් එකේ එනකොට එතුමාට ළං වෙලා මාත් මේකට ලියන්ඩ ආසයි කීවා. එතුමා පාගොඩ පාරේ තාත්තා හදාපු නිවෙස ළඟ කෙනෙක්. මට එතකොට අවුරුදු 16 ක් විතර ඇති. අපේ ගෙවල්වල ලයිට් නෑ. චිමිනි පහන් එළියෙන් තමයි පාඩම් කළේ. පොඩි පොඩි නිර්මාණාත්මක වැඩ කළේ. කොහොම හරි රේඩියෝ සර්කිට් අත ගාපු මගෙ අතට කඩදාසි පැන්සල් ආවා. ඒ කාලෙ ‘පාඨකයා’ සඟරාවටත් මං යම් යම් දේ ලියනවා.
දැන් සරච්චන්ද්‍රයන්ගේ ඇසුර ලබන්ට හා ඒ නාට්‍යවලට යෞවන සැන්දෑවට සහභාගි වෙන්ඩ මං වැඩිපුරම විදේශීය ලේඛයන්ගේ නාට්‍ය හා ලේඛන නැවත කියවනවා. ගී ද මෝපසාං, ඇන්තනි චෙකොෆ්ගේ කතා හොය හෙයා කියවන්නෙ. ඒ කාලේ ඩබ්ලිව්.එම්.ඒ. වාහිඩ් පොත් සමාගමේ පොත් මට විශාල එළි දහරක් වුණා.
මගෙ අලුත් ගමන පිළිබඳව පෙරේරා සර් හරියට උනන්දු කළා. මං මුලින් ම ඇන්ඩර්සන්ගේ 'SLEEPING beauty ‘ ‘නිදි කුමාරි’ නාට්‍යයක් ලෙස ලියුවා. මට රුපියල් 5 ක් ලැබුණා. ඒ කාලෙ රුපියල් පහක් කියන්නෙ ලොකු මුදලක්.
“මේ ලෝකය හා ජීවිතය ගැන මා කතා කළ දේ සියල්ල ම නිවැරැදියි. ඒවා සියල්ලම සත්‍යයි. ඒවා වැරැදියි අසත්‍යයි කියා මට කිසිසේත් ම කියන්නට බෑ. ඒ නිසා නුඹලා මට දෙන මේ විස සහිත පානය බොන එක මට සතුටක්.”
ගී‍්‍රසියේ ඇතැන්ස් නුවර සිටි කිතුණු මූලධර්මවාදීනට එසේ කී ගී‍්‍රක මහා දාර්ශනික සොක්‍රටීස් සත්‍යය වෙනුවෙන් එදා වස පානය කළේය. ඒ සත්‍යවාදී දාර්ශනිකයා පිළිබඳ අප දුටු විශිෂ්ටතම නාට්‍යය හැදු අපේ සාහිත්‍ය විචාරක නාට්‍යවේදී ‘සොක්‍රටීස්’ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ඒ රමණීය පාසල් මතකය අදත් මෙසේ අවදි කරයි.
මහා බුද්ධිවාදී දාර්ශනික බෙන්ඩික් ස්පිනෝසා මෙන් ජීවිතයේ බොහෝ කාලයක් “ස්වභාව ධර්මයම දෙවියන්” බව ඇදහූ මේ මිනිසා එතුමා මෙන් බැරලයක ජීවිත කාලය ගත කරන්නකු නොවේ. ඔහු ඒ බැරලයෙන් පිටට විත් බොහෝ දේ අපට කියයි.
කොතරම් පොතපතට පෙම් බැන්දත් සාහිත්‍යයට ඇල්ම දැක්වූවත් මට කවරදාවත් ස්ථුල ශරීරයක් තිබුණෙ නෑ. මං එහෙම කිව්වෙ සාහිත්‍යධරයො මහත ශරීර තිබෙන අය කියන්න නොවෙයි. නමුත් ආනන්දය, උදාව, සිංහල දරුවා වගේ ඉස්කෝලෙ සඟරා එළියෙ ඉඳන් කියවපු ඇතැමුන් එහි පළවුණු මගේ ඇතැම් ලිපි දැකලා මං එහෙම කෙනෙක් කියලා හිතලා තිබුණා. ඒත් මට හැමදාම තිබුණේ කෘෂ කෙසඟ ශරීරයක්.
මට දවසක් ආශාවක් ආවා ‘කැඩේට්’ කරන්ඩ. විශේෂයෙන් ‘බ්‍රෙන් ගන්’ එකක් පාවිච්චි කරන්ඩ. කැඩේට් කරන අයට ඒ වරප්‍රසාදය ලැබුණා. මගේ කෙට්ටු ශරීරය අබිබවා ඒ ආශාව වැඩුණා. ඒත් ගෙදර අය මේකට විරුද්ධයි. ඉස්කෝලෙ ඇරිලා දවල්ට පාක්‍යලක්‍ෂ්මි හෝටලයෙන් වඩේ දෙකකුයි තෝසෙ එකකුයි කාලා තමයි පුහුණුවට යන්නෙ. ගෙදර පෝෂ්‍යදායි ආහාර තිබුණත් මේ වගේ අතේ තියෙන හැටියට කාලා මේ ‘බ්‍රෙන්ගන්’ පුහුණුවට ගිහින් දවසක් වෙඩි තියද්දි මාව උඩ ගිහින් බිම වැටුණා. අතත් පැන්නා වගේ ම රිදුණා. නහයෙන් ලේ වාගේ දියරයක් පවා ගලන්න ගත්තා. පාගොඩ පාරේ හිටි ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහත්තයා මගේ පි‍්‍රයතම පුද්ගලයෙක්. මං එතුමා හමුවෙලා නිතර කතා කරන්ඩ යනවා. එතුමා මේ සිද්ධිය ඇහුවා ම මගෙන් ඇහුවා තමුන් තුවක්කු පුරුදු වෙන්නෙ කාට වෙඩි තියන්නද? කියලා. මට තරමක ලජ්ජාවක් ආවා. ඒකෙනුත් ඉවත් වුණා.
අපට හිටියා බොහොම දක්‍ෂ ඉංගිරිසි ගුරුවරුන් දෙන්නෙක්. මොනිකා කන්නන්ගර මහත්මිය හා තණබාලසිංහම් ගුරුතුමා.
මේ අය ඉංගිරිසි සාහිත්‍යය උගන්වනකොට ශේක්ස්පියර්ගේ හැම්ලට් කෑලි කියනවා. උදේ පාන්දර සමහර දිනක මේ දෙන්නා රණ්ඩු වෙනවා. තණබාලසිංහම් ගුරුතුමා මොනිකා ටීචර්ට බැන බැන යන්නෙ හැම්ලට් කෑලි කියමින්.
TO BE OR NOT TO BE THATS THE QUESTION මේ වගේ දේවල් අහන අපට හරිම ආස්වාදයක්. මේක අගෞරවය සඳහා නොව පාසලේ චමත්කාරය මතු කරන්නයි කීවෙ.
මාගම් තෙන්නකෝන්, ටී.බී. කුරුප්පු, තිලක් රත්නකාර, ජේ.ආර්.පී. සූරියප්පෙරුම මේ ගුරු ඇසුරත් මගේ ජීවිතය එකලු කළා.
”නවක තරු” නම් සඟරාවක් කරලා වෙච්ච ඇබැද්දියක් මතකයි. ඒ සඟරාවෙන් මං පාසලේ හිටි එක්තරා ගුරුවරයකුගේ ක්‍රියා කලාපය විවේචනය කළා. එදා කොටගම වාචිස්සර හාමුදුරුවන් තමයි ඉස්කෝලෙ විනය භාරව හිටියෙ. ලෝරන්ස්ලාගේ පොත් කියවන ගමන්, මේ පැත්තෙන් ‘ගොළු හදවත’ වගේ කරුණාසේන ජයලත්ගේ පොත් කියවන ගමන් මං සිසිර කුමාර මානික්කආරච්චිගේ “සාගරයක් මැද අමන රටක් ඇත”, “සාහිත්‍ය කොල්ලය” (එය ලීවෙ වංශනාථ ධර්මබන්දු ආරූඪ නාමෙන්) වගෙ පොත් කියවලා ලැබූ ආවේගශීලී චින්තනයෙන් අර ගුරුවරයාට ගහලා ලීවෙ. කොහොම හරි පි‍්‍රන්සිපල් දක්වා වැඩේ දුර දිග ගියා. අන්තිමට මට නියම කළා ඒ සර්ගේ දෙපා වැඳලා සමාවෙන්න කියන්න. මොනවා කරන්නද මාත් එහෙම කළා.
අපේ තාත්තා රූපසිංහ මාස්ටර්ගෙත් හොඳ යාළුවෙක්. අපේ තාත්තා නාට්‍යකාරයෙක්.
”තේ පැන් දින දින වැඩි වැඩියේ - බීමෙන් සිරුරට සැප වැඩිවේ! ගීතය ලියුවෙ තාත්තා. අපේ පාසලේ නාට්‍ය උගන්වන ක්‍රමයක් තිබුණෙ නෑ. මගෙ මාමා කෙනෙක් හිටියා (සුගතදාස වෛද්‍යරත්න) එයත් නාට්‍යකාරයෙක්. මේ මාමගෙයි තාත්තගෙයි ආභාසය අරන් මං නාට්‍ය පැත්තට යොමු වුණා. මුහුදු පුත්තු, ජනේලය, ඉබිකට්ට, කුවේණි වගේ නාට්‍ය බලන්ඩ මං යොමු වුණේ ඒ හරහා. එක් වතාවක් මට මතකයි ගම්පහ පබ්ලික්හෝල් එකේ නාට්‍යයක් බලන්ඩ මාත් එක්ක තාත්තා ගියා. මට මතක හැටියට එදා මේ නාට්‍ය බලන්ඩ ඉදිරි පෙළේ හිටියෙ බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණි වගෙ කලාකරුවො. නාට්‍ය සිරිසේන විමලවීර මහත්තයගෙ ‘සීදේවි’ හෝ ‘අම්මා’. ලක්‍ෂ්මි බායි කියන ගීතයත් එක්ක (‘තිලෝගුරු නාමෙන් මෙමටා යමක් ලැබුණොත් කුසල් සැමටා’) නාට්‍ය දැන් වේදිකාගත වෙනවා. මේ අතර කවුදෝ හැඩිදැඩි මිනිහෙක් කෑලි අටේ ටෝච් එකක එළිය විහිදුවමින් වේදිකාවට මේක එල්ල කරනවා. මේක කීප වතාවක්ම කළා.
මේක ප්‍රේක්‍ෂකයන්ට මහා කරදරයක්. කළුවරේම ඉදිරි පෙළ හිටපු හැඩිදැඩි මිනිහෙක් නැඟිටලා ගිහින් අර ටෝච් එළිය වේදිකාවට ගහන මිනිහා අල්ලාගෙන නාට්‍ය නවත්වන්ඩ මොහොතක් කියලා අතින් සන් කරලා මිනිහට කනේ පහරක් දීලා කෑලි අටේ ටෝච් එක කුඩුවෙන්ඩ බිම ගැහුවා. මිනිහවත් ශාලාවෙන් පැන්නුවා. මං තාත්තගෙන් ඇහුවා කවුද තාත්තේ ඒ වීරයා කියලා. එතකොට තමයි තාත්තා කීවෙ පුතේ ඒ තමයි බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න මහත්මයා. පුතා දැනගන්ඩ වටින කෙනෙක් කියලා. මං ලොකු මහත් වුණාම පිටරට අධ්‍යාපනයට යන්ඩ පෙර එතුමා හොයාගෙන ඒ ගෙදර ගිහින් ඒ කතාව මතක් කළාම එතුමාට ඒක මතක නැතැයි කීවා. ඒ කාලෙ ජේ.බී. දිසානායකත් මා සමඟ හිටිය. එයා ‘රැජිණ’ කියලා පාසල් නාට්‍යයක් හැදුවා මතකයි.
මං චිත්‍රපටි පිටපත් ලියන්ඩ පටන් ගත්තා. ඩී.බී. නිහාල්සිංහයන්ට ‘තරුණ විය’ කියලා මුලින්ම පිටපත ලීවා. එහි රඟපෑවෙ ප්‍රෙඩී සිල්වා, විශාඛා විජයරත්න, ඇලන්සන් මෙන්දිස්. ඊට පස්සෙ මා නිහාල්සිංහටම ලීවා ‘නැටුම් පටුන’.
ඒ කාලෙ ‘දිනෙන් දින’ කියලා සඟරාවක් මට කියවන්නට ලැබුණා. පස්සෙ කාලෙක ඒකම පත්තරයක් වෙලා ‘දිනදින’ කියලා ආවා. මේකෙ සංස්කාරක ආනන්ද තිස්ස ද අල්විස්. ඒ සඟරාව කරද්දි එතුමා හිටියෙ සර් ජෝන් කොතලාවල මහත්මයගෙ පෞද්ගලික ලේකම් හැටියට. මං දවසක් ගියා එතුමා හමුවෙන්ඩ. කොල්ලුපිටියෙ සිරිකොත තිබුණු මුම්ටාස් මහල් මන්දිරයට. මට යම්තම් අවුරුදු 18 ක් විතර ඇති. මං එතුමාට ආරාධනාවක් කළා ආනන්ද විද්‍යාලයෙ දේශනයක් පවත්වන්ඩ එන්ඩ කියලා. මාතෘකාව ශ්‍රී ලංකාවේ සඟරා ඉතිහාසය.
එතුමා කීවා බොහොම හොඳයි. මං එන්නම්. ඒත් මෙහෙම ආරාධනා අපට ස්කෝලවලින් ලැබෙන්නෙ නෑනේ. මේ ළමයා කොහෙද කියලා. මං කීවා පාගොඩ කියලා. ඉතින්? මාත් ඒ පැත්තෙමනේ. කියලා තවත් සතුටු වුණා. නියමිත දිනයට එතුමා දෙසුමට ආවා. අපට අසන්නො හිටියෙ 25 ක් විතර. එතුමා මා ගැනත් වර්ණනයක් කරලා සඟරා ඉතිහාසෙ පටන් ගත්තෙ. බලනකොට එයත් පරණ ආනන්දියන් කෙනෙක්. මේ වගේ දේවල් අහන්ඩ ශිෂ්‍යයො නැති වුණාට මේ වගේ දේවල් සංවිධානය කරන එක වැදගත්. කවද හරි මේ මිනිස්සු රටේ වටිනා අය වෙනවා කියලා එතුමා කීවා.
(මා වටිනා මිනිහෙක් වුණිද කියලා දන්නෙ නෑ.) ඔහු සුපුරුදු සාවඥ සිනාව පා කියයි.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහත්මයා ගුවන් විදුලියට කරන ලද අන්තිම කතාව පටිගත කරන අවස්ථාවෙ මාත් එතැනට යන්ඩ තරම් භාග්‍යවන්ත වුණා. 58 හර්තාලය ගැන තමයි මාතෘකාව වුණේ.
බණ්ඩාරනායක මහත්මයා පටිගත කිරීම් සඳහා ගිය ශිල්පීන් අතර සිටින මේ පාසල් ශිෂ්‍යයා ගැන විමසුවා. මා දිහා බලලා හිනාවෙලා ඇහුවා ඔබ කොහෙද? ඉගෙන ගන්නෙ කියලා. මං කීවා කොළඹ ආනන්දෙ කියලා. බොහොම හොඳයි කියලා හිස වනලා දුම් පයිප්පෙ උරලා එතුමා ගාම්භීරව මා දිහා බැලුවා.
තිලක සුධර්මන් ද සිල්වා මගේ මිතුරෙක්. එතුමා තමයි වැඩසටහනේ නිවේදක. එතුමා සුධර්මන්ගෙන් ඇහුවා. විනාඩි කීයක් ද කියලා. විනාඩි 15 ක් කියලා පිළිතුරු ලැබුණා. මැය 58 හර්තාලය. එහෙම කියාගෙන එතුමා දැන් රොස්මීඩ් වලව්වෙ එහාට මෙහාට ඇවිදිනවා. දුම් පයිප්පයෙන් අත්ලට තට්ටු කරමින් නැවත උරමින් තනිවම හිතින් කතාවක්. මුහුණෙන් විවිධ ඉරියව් නිරූපණය වෙනවා. නැවතත් එහෙට මෙහෙට යනවා. සියල්ලන් අතර දැඩි නිශ්ශබ්දතාව. හිටි ගමන් එතුමා සාකච්ඡාවට වාඩි වුණා. හරි කතා කරමු. දිගටම කතා කළා. කරුණු අංකනය කරමින් 1, 2, 3, 4 වශයෙන් කරුණු දැක්වූවා. මේක මගේ හිත් ගත්තා. මාත් අද කතා කරන්නේ ඒ පිළිවෙළට. හරියටම විනාඩි 15 කින් කතාව ඉවරයි. තමන්ට අවශ්‍ය දේ පමණක් ම කියලත් ඉවරයි. ඊට ටික දවසකට පස්සෙ එතුමා ඝාතනය වුණේ.
මගෙ ඉංගිරිසි දැනුම දියුණු කළ තවත් ගුරු මහත්මයෙක් තමයි ඒ.ඩී.එච්. පෙරේරා. එතුමා ඇසුරින් මගේ ඉංගිරිසි දැනුම තරමක් හෝ දියුණු වුණා. නිවාඩුවට තාත්තා උතුරු කළුතර පුලිනතලාරාමයට යන වෙලාවට මාත් එක්කගෙන යනවා.
බේරුවල සිරිනිවාස නායක හාමුදුරුවො එහි වැඩ සිටියෙ. ඒ ගියාම තාත්තයි හාමුදුරුවොයි කියනවා මේ ළමයා (තට්ටු ගොඩනැඟිල්ලක් තිබුණෙ) උඩට ගිහින් පොත් ගුල පරීක්‍ෂා කරන්ඩ කියලා.
ඒකෙ පත්තර අතිරේකයක් තිබුණා “සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය” කියලා. හරිම අනර්ඝයි. මා හිතන්නේ සංස්කරණය කළේ පියසේන නිශ්ශංක මහත්මයා. හිටපු කර්තෘ. “මේ අතිරේකය කපා එකතු කැර තබාගන්න” වැනි වගන්තියක් තිබුණා. ඊට අමතරව ‘මී වදය’, ‘උක්දඬුගින්න’, ‘සුවඳ’ වගේ මීමනගේ කවි එකතු කියවීමෙන් තමයි මගේ ශාස්ත්‍රීය කුහුල වැඩුණේ. ශාස්ත්‍රීය කුහුල වගේම අපට නොයෙක් ආකාරයේ පොත් කියවන්ඩත් ලැබුණා.
ඩීමන් ආනන්දගේ පොත් වගේම නැන්දම්මා, මකුණා, මඟුල් දා රෑ, වගේ තරමක ග්‍රාම්‍ය ඒවත් අපි කියෙව්වා. ඩී.එච්. ලෝරන්ස් කියවන ගමන් මේවා කියෙව්වම මේවයෙ රසය විචාරය කරන්ඩ ගිහින් විචාරය පිළිබඳ හැඟීමත් වැඩුණා. මේ විදියට තමයි මා විචාරශීලී වුණේ.
මට ඒ කාලෙ ලොකු හින්දි පිස්සුවක් තිබුණා. දැන් එහෙම චිත්‍රපටි නෑ. උරං කටෝලා, ආන්, මධුමති වගේ ඒවා. මං මධුමති 7 සැරයක් බලලා තියෙනවා සින්දු ටික අහන්ඩ. මං හින්දි රසිකයෙක් කියලා බොහෝ අය අදත් දන්නෙ නෑ. ස්කෝලෙ කානිවල් කාලෙට මේ චිත්‍රපට බැලීම වැඩියි. ගැලරිය සත 50 යි.
තෝසෙ කාලා චිත්‍රපටි බලනවා. දවසක් චිත්‍රපටියක් බලන්ඩ ගිහින් වලක වැටුණා. බලනකොට වැටුණයින් පස්සෙ දන්නෙ එතැන ‘මෙහි පා නොතබනු’ කියලා බෝඩ් ලෑල්ලකුත් ගහලා තිබිලා. මං ඉණවටක් ජරා වතුරෙ ගිලෙනකොට යාළුවො දෙන්නෙක් එක්කෙනෙක් මතකයි මාරසිංහ.
මාව අමාරුවෙන් ගොඩගත්තා. අරන් තෙත ඇඳුම් පිටින්ම අපේ හොස්ටල් එකට එක්ක ගියා. එතැනදි යාළුවෙක්ගෙ ඇඳුම් දාගෙන පහුවෙනිදා උදේ ගෙදර යනකොට මහ ජරමරයක්.
අම්මයි තාත්තයි කලබලවෙලා මාමා කෙනෙක් එවලා මා බලන්ඩ. එයා එළිවෙනකම් රවුම් ගහලා. අන්තිමට නුගේගොඩ ස්ටේසන් මාස්ටර් කියලා තියෙනවා මාමාට. එක්කො ඔය ළමයා ඕපනායකටම ගිහින් ඇති. නැත්නම් තවම මරදානෙන් නැඟලා නෑ කියලා. මේ වගේ රසවත් පාසල් සිදුවීම් මටත් ඕනෑ තරම්.
මගෙ කතාව අවසන් කරන්ඩ මං තවත් එක සිදුවීමක් කියන්ඩ කැමැතියි. මං පාලි භාෂාව ඉගෙන ගත්තෙ මහාචාර්ය සුමන ලාල් කැකුළාවල මහත්මයාගෙන්.
එතුමා බරපතළ රිය අනතුරකට පසුව පත්වුණා. ඒ වෙලාවෙ එතුමා බලන්ඩ මාත් ගියා. එතුමා කීවා ජීවිතයේ අපට සිදුවන සමහර දේ ගැන උත්තර හොයන්ඩ බෑ. කියවලා, බලන්න පුතේ ‘මනුස්මෘති’ කියන පොත කියලා මට අවවාදයක් දුන්නා. මා ‘මනුස්මෘති’ පොත හොයා ගත්තා.
ඒක මා ඉතා ආසාවෙන් අදත් කියවනවා. ජීවිතයේ බොහෝ දේවල් අපෙන් නැතිව යනවා.
සමහර දේ ඉතිරි වෙනවා. සමහර සිදුවන දේට උත්තර හොයාගන්ඩ බෑ. ඒ වගේ පාසල් ජීවිතයේ ලබන අත්දැªකුම්, ඉගෙනුම් ඕනෑම කෙනෙකුට මුළු මහත් ජීවිත කාලය පුරාම බලපානවා. මටත් එහෙමම වෙන්න ඇති.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි