Wednesday, July 3, 2013

මෙන්න අපේ ඉස්කෝලේ !

මෙන්න අපේ ඉස්කෝලේ !

මෙරට පාසල් අධ්‍යාපනය තුළ පැහැදිලි බෙදීම් ගණනාවක් පවතී. කොළඹ ඉහළම පහසුකම් සහිත සුපිරි පාසල් පළමු තැනට ද, කොළඹට තදාසන්න ප්‍රදේශවල ඉහළ පහසුකම් සහිත පාසල් දෙවන තැනට ද, මධ්‍යම මහා විද්‍යාලවලින් සමහරක් ඊළඟ තැනට ද තේරී පත්වී ඇති අතර අනෙකුත් සියලු පාසල් ගණන් නොගන්නා තත්ත්වයක පවතී. පාසල්වලට ඇති කීර්ති නාමය අනුව රැකියා සම්පාදනය ආදී අනෙකුත් සමාජ කාර්යයන් සිදු වෙනු ලැබේ. මේ තත්ත්වය මත කොළඹ රාජකීය, ආනන්ද, නාලන්ද ආදී පාසල්වලට ඇතුළුවීම සඳහා විශාල තරගයක් ද, විශාඛා, දේවි බාලිකා ආදී කාන්තා පාසල්වලට ඇතුළුවීම සඳහා තවත් ප්‍රබල තරගයක් ද පවතී.
ගම්බද පාසල්වල අධ්‍යාපන මට්ටම කෙතරම් ඉහළ මට්ටමක පැවැතිය ද ඒවා හඳුන්වනු ලබන්නේ දුෂ්කර පාසල් ලෙස ය. මේ පාසලකින් අස්වීමේ සහතිකය හා අධ්‍යාපන සහතිකය ලබාගත් දරුවකුට රැකියා වෙළෙඳ පොළ තුළ දී ඇත්තේ ඉතා අඩු වටිනාකමකි. කොළඹ සුපිරි පාසලකට ඇතුළුවීම සඳහා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලැබිය යුතුය. අ. පො. ස. උ. පෙ. සඳහා ඇතුළු වන්නේ නම්; සා. පෙ. විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ්‍යය නවයක්ම ලබාගත යුතුය. සුපිරි පාසල්වල පුරප්පාඩු පැවතිය ද විශිෂ්ට සාමාර්ථ්‍යය නවය නැතිව පාසලට ඇතුළු කර ගන්නේ නැත. අධ්‍යාපන ඇමැතිවරයා මේ ක්‍රමය වෙනස් කර තිබේ.
චක්‍ර ලේඛයක් මගින් සියලු සුපිරි පාසල් වෙත දන්වා යවා ඇත්තේ පුරප්පාඩු ඇතොත් ගම්බද දක්ෂ සිසුන් සුපිරි පාසල් සඳහා බඳවා ගත යුතු බවය. එහිදී ඒ නමය පමණක් නොව ඊට පහළ සුදුසුකම් ද සලකා බැලිය යුතුව තිබේ. නව තත්ත්වය ඉතා යහපත් අනාගතයකට පාර කපන බව කිව යුතුය. එක් අතකින් කොළඹ සුපිරි පාසල් හා ගම්බද දුෂ්කර පාසල් අතර විභේදනය නිසා තවත් පන්ති විසමතාවක් ගොඩනැගී තිබේ. සුපිරි පාසල්වල ආදි ශිෂ්‍යයෝ එම විසමතාව තවදුරටත් තහවුරු වන ලෙස කටයුතු කරති. රෝයල් උප සංස්කෘතිය ආරක්ෂා කිරීමට රෝයල් ආදි ශිෂ්‍යයෝ බැඳී සිටිති. ආනන්ද උප සංස්කෘතිය ආරක්ෂා කිරීමට ආදී ආනන්දියෝ බැඳී සිටිති.
නාලන්දා, විශාඛා, දේවි බාලිකා ආදි සෑම සුපිරි පාසලක ම තත්ත්වය එක සමානය. එම උප සංස්කෘතිය හා බැඳුණු අභිමානයක් ඔවුන් ළඟ තිබේ. එය නරක නැත. එහෙත් එය ම පෙරළා සමාජ විභේදනයකට භාවිත කිරීම අසාධාරණය. අයුක්ති සහගතය. අපේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වූයේ පන්ති විසමතාවට ලබාදෙන ප්‍රබල සමාජ උත්තරයක් ද ලෙසිනි. එහෙත් දැන් එය කණපිට පෙරැළී තිබේ. එය හොඳපිට හැරවීමට උක්ත චක්‍රලේඛය හේතු සාධකයක් වනු ඇත. කොළඹ සුපිරි පාසලකට තමන්ගේ දරුවකු ඇතුළත් කරගැනීම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන මාපියන්ගේ එක්තරා සිහිනයෙකි. එම සිහිනය යථාර්ථයක් කර ගැනීම සඳහා යෝධ පිමි රාශියක් පැනිය යුතුය.
සමහර සුපිරි පාසල්වලට සිසුන් ඇතුළත් කර ගනු ලබන්නේ ආදි ශිෂ්‍ය පදනම මත ය. තවත් සුපිරි පාසල්වලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ පවුලේ වත්කමට හා සමාජ පිළිගැනීමට අනුව ය. සමහර සුපිරි පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ තනි අයිතිය ඇත්තේ විදුහල්පතිට ය. මේ කුමන ක්‍රමය අනුගමනය කළ ද අන්තිමේ අසාධාරණයට ලක් වනුයේ නැති-බැරි මිනිසා ය. ඕනෑම පාසලකට සිසුන් ඇතුළත් කර ගැනීමේ අවස්ථා කිහිපයක් තිබේ. පළමු අවස්ථාව පළමුවන ශ්‍රේණිය සඳහා ය. නැති බැරි මිනිසා එතැනදී හැළෙයි. ඊළඟ අවස්ථාව උදාවන්නේ පහ වසරේ ශිෂ්‍යත්වය ඔස්සේ ය. ගම්බද පාසල්වලින් ශිෂ්‍යත්වය සඳහා ඉදිරිපත් වන ළමුන්ගෙන් ඉහළම ලකුණු ලබාගන්නේ සීමිත පිරිසකි. ළකුණකින් - දෙකකින් සුපිරි පාසලකට ඇතුළුවීමේ වාසනාව කැපී යන්නට ද පුළුවන.
ඊළඟ අවස්ථාව උදා වන්නේ අ. පො. ස. උ. පෙ. විභාගයට ඉගෙනීම සඳහා ය. එහි දී ඉහළම සුදුසුකම් පරීක්ෂා කරන බැවින් පුරප්පාඩු පැවතිය ද ළමුන් කැපී යන අවස්ථා එමට ය. මෙය සුපිරි පාසල්වල ඒකාධිකාරය පවත්වාගෙන යන එක්තරා ක්‍රමයකි. ගම්බද හා දුෂ්කර ලෙසින් හඳුන්වනු ලබන පාසල් පද්ධතිය තුළ කොතරම් පහසුකම් වැඩිදියුණු කළ ද තවත් කාලයක් යන තුරු සුපිරි පාසල්වල ඒකාධිකාරය හා කීර්ති නාමය මැකී යන්නේ නැත. එයින් අදහස් කරනුයේ ගම්බද හෙවත් දුෂ්කර පළාත්වල දරුවන් තවත් කාලයක් යන තුරු එක තැන පල්විය යුතු බවය. 1988 - 1989 කාලයේ තරුණ නැගිටීමට යොදාගත් එක්තරා සටන් පාඨයක් වූයේ කොළඹට කිරි අපට කැකිරි යන්න ය. මෙය ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ විභේදනය මූලික කොට මතු වූ සටන් පාඨයෙකි.
දෙවන තරුණ නැගිටීමෙන් පසු කාලයක් ගෙවී ගොස් ඇතත්; ඊට ස්ථාවර විසැඳුමක් තව ම ලැබී නැත. 1988 - 1991 තරුණ කැරැල්ල පිළිබඳ කරුණු සොයාබැලූ කොමිසමේ දී අධ්‍යාපන විභේදනය හා ගම්බද පාසල් සම්බන්ධයෙන් රාජ්‍ය අංශය දැක්වූ නොසැලකිල්ල මනාව පැහැදිලි විය. තරුණ කැරැල්ලට හේතු දැක් වූ එක්තරා ගම්බද තරුණයෙක් කියා තිබුණේ අප කැරලි ගසන්නේ මන්දැ’යි විමසන්නට පෙර කොළඹ සුපිරි පාසල්වල දරුවන් කැරලි නො ගසන්නේ මන්දැ’යි විමසන ලෙස ය. මෙය ඉතා යථාර්ථවාදී කියමනකි. අධ්‍යාපනය ඔස්සේ ගම්බද පාසල්වලට ලැබුණු කුඩම්මාගේ සැලකිල්ල නිසා පසුකලෙක සමාජයට වෛර කරන පිරිසක බිහිවන බව මෙයින් මනා ව පැහැදිලි වේ. අධ්‍යාපනය පැවැතිය යුත්තේ දරුවාගේ නිපුණතා වටහාගෙන ඉන් උපරිම ප්‍රතිඵල නෙළාගත හැකි වන අයුරින් ය.
ජාතියක සංවර්ධනය රැඳී ඇති ප්‍රධාන සාධකය වන්නේ අධ්‍යාපනය යි. අප්‍රිකාව අඳුරු මහාද්වීපයක් ලෙස හැඳින්වූයේ එම කලාපයෙහි පැවැති නූගත්කම හේතු කොටගෙන ය. අප්‍රිිකානු මහාද්වීපයේ ටැන්සානියාව වැනි රාජ්‍යයක් මේ අභියෝගය ජය ගත්තේ ය. ටැන්සානියාවේ හිටපු ජනාධිපතිවරයකු වූ ජුලියස් නියරේරේ සැමට සමාන අධ්‍යාපන පහසුකම් ලැබෙන ලෙස අධ්‍යාපන විප්ලවයක් ඇති කළේය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම ඉහළ තත්ත්වයක පැවැතිය ද එහි විභේදන පවතී. විසමතා පවතී. අධ්‍යාපන අමාත්‍යවරයා එම තත්ත්වය වටහාගෙන අලුත් උපාය මාර්ග ඔස්සේ අධ්‍යාපන විසමතා පිටු දැකීමට ක්‍රියා කරන බව පෙනේ.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි