Tuesday, March 26, 2013

මදුරංගල සිරිසුධම්ම දහම් පාසලට ගොඩනැගිල්ලක්‌ නැතිව දුෂ්කරතා

ගස්‌යට ඉගැන්වීම කළත් වැසි දිනවලදී ගැටලු මතුවෙනවා.
මදුරංගල සිරිසුධම්ම දහම් පාසලටගොඩනැගිල්ලක්‌ නැතිව දුෂ්කරතා..

මනම්පිටිය - ඡේ. ඒ. ජයකොඩි

ළමා මනසත් වැඩිහිටි මනසත් සංවරව සකස්‌ කර ගැනීමට ඇති එකම ස්‌ථානය පන්සලයි. මෙහිදී ළමා මනස සකස්‌ කර බුදු දහම මගින් ජීවිතය සාර්ථකව පවත්වාගෙන යැමට ළමයින්ට ඇත්තේ දහම් පාසලයි. දහම් පාසල ක්‍රමවත්ව ඇත්නම් ළමයින්ද ක්‍රමවත් වනු නොඅනුමානයි. දෙමාපියන්, ගුරුවරුන් කොතෙක්‌ වෙර දැරුවත්, තම වට පිටාව යහපත් නැතිනම්, ඔවුන්ට යහපත් මානසිකත්වයක්‌ ගොඩනැගීමට අපහසුය.

දහමට ලැදිව උගන්වමින් හා ඉගෙනගනිමින් සිටින වැලිකන්ද මදුරංගල සිරිසුධම්ම දහම් පාසල් සිසුන් හා ගුරුවරුන්ට ඇති ගැටලු අතරින් ප්‍රධානම ගැටලුව වන්නේ ඔවුන්ට ඉගෙනීම් කටයුතු කිරිමට සුදුසු ගොඩනැගිල්ලක්‌ නැතිකමයි. වැසි කාලයට දහම් පාසල වසා දැමීමට පවා සිදුවන්නේ ගොඩනැඟිල්ලක්‌ නැති බව විහාරාධිපති මීගමුවේ සුගතානන්ද හිමියන් හා ගුරු භවතුන් පෙන්වා දෙති.

මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූ එම දහම් පාසලේ එච්. පී. විමලසේන ගුරු මහතා - අපේ ළමයින්ට තියෙන ලොකුම අඩුව තමා ඉගෙනගන්න තැනක්‌ නැති එක. වැහි කාලෙට ළමයින් එන්නේ නැහැ. මේ ළමයි දැන් ඉගෙන ගන්නේ ගස්‌ යට. ළමයින් හරිම උනන්දුයි දහම් පාසල් එන්න. ළමයින් ගස්‌යට ඉගෙන ගන්නේ. ඒ නිසා අපට ගොඩනැඟිල්ලක්‌ හදාගන්න ඕන. අපිට අපේ ශ්‍රමය දෙන්න පුළුවන්. ඒ සඳහා අපට ද්‍රව්‍ය ලබාදෙන්න හැකිනම් ලොකු දෙයක්‌.

ඩබ්. ගංගා කුමාරි ගුරු මහත්මිය - මේ ළමයින් හරිම උනන්දුවෙන් දහම් පාසල් එන්නේ. ඒත් වැහි කාලෙට තමා ගැටලුව. වැසි නැති කාලෙට ගස්‌ යට පැදුරු එලාගෙන ඉගෙන ගන්නවා. වැස්‌ස තියෙන කොට ළමයින් එන්නෙ නැහැ. සමහර දවස්‌වලට ළමයින් කීපදෙනෙක්‌ විතරයි එන්නේ. කොයිතරම් අඩුපාඩු තිබුණත් මේ ළමයින් ඉගෙනගන්න හරි කැමැතියි. ඉතින් අපට ගොඩනැගිල්ලත් ලබාගන්න පුළුවන්නම් ලොකු සේවයක්‌ වෙනවා.

ඩී. වී. කරුණාවතී ගුරු මහත්මිය- මෙහෙ ඉගෙන ගන්නෙ ගොවීන්ගේ ළමයින්. උගන්වන අපිත් ළමයිනුත් හරි සතුටින් දහම් පාසලට එනවා. නමුත් අපට ඉන්න වෙලා තියෙන්නේ ගස්‌ යට. මේ දහම් පාසලේ ළමයින්ට සුදු රෙදිත් නැහැ. අපටත් නිල ඇඳුම්වලට රෙදි ලැබිලා නැහැ. ගමක්‌ ඇතුළේ තියෙන මේ දහම් පාසලට වැඩි අවධානය යොමු වෙලා නැහැ.

අයි. එන්. ප්‍රියන්ත ප්‍රේමතිලක ගුරු මහතා - උනන්දුව කැපවීම තියෙන මේ ළමයින් හරි වටිනවා. ඉතින් අපට කොහොම හරි පොඩි ගොඩනැඟිල්ලක්‌ තියෙනවා නම්, මේ ළමයින්ගේ දහම් දැනුම දියුණු මට්‌ටමකට ගන්න පුළුවන් වෙනවා. අපිත් හරි ආශාවෙන් උගන්වනවා. නමුත් පහසුකම් අඩු නිසා බාධක එනවා. අපි කියන්නේ මේ ළමයින් වෙනුවෙන් අපේ දහම් පාසලට ගොඩනැඟිල්ලක්‌ ලබා දෙන්න කියල.

ලිපිනය - විහාරාධිපති, මීගමුවේ සුගතානන්ද හිමි,

සිරිසුධම්ම දහම් පාසල,
මදුරංගල, සෙවනපිටිය,
පො/වැලිකන්ද.
0725140746


Divaina News Paper
http://www.divaina.com/2013/03/26/provin02.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි