Friday, March 15, 2013

පාසල් පද්ධතියේ කියවීමේ සංස්කෘතියක් නැහැ

thabara75හාන්දුපැල්‍පොල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති, ‍ලේඛක සුසන්ත ජයනාල් පෙරේරා හොරණ කුඩාඋඩුව, හාන්දුපැල්‍පොල කනිෂ්ඨ විද්‍යාලය මගින් ජාතික කියවීමේ මාසය නිමිතිකොට “වියමන” පුවත් සඟරාවේ තෙවන කලාපය එළිදැක්වීමේ උළෙල අද (14) දින ප.ව. 12.30ට පැවැත්වේ. “වියමන” තෙවන කලාපය එළි දැක්වීමේ පසුබිම් කතාව මදක් විස්තර කළොත්? හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ හාන්දුපැල්‍පොල කනිෂ්ඨ විද්‍යාලය වැසී යාමට ලක්වී තිබූ කුඩා පාසලක්. මේ පාසල සංවර්ධනය කිරීම සඳහා සියලු පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් අපි විශාල වැඩ කොටසක් සිදුකළා. දරුවන්ගේ නිර්මාණශීලිභාවය දියුණු කිරීම ඒ අතර සුවිශේෂී ඉලක්කයක් වුණා. එසේම දරුවන් කියවීමේ පුරුද්දට හුරුකරවීමත් අපේ ඉලක්කයක් වුණා. ඒ අනුව අපි 2010 වසරේ සිටම ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් මාසයක් පුරාවට විවිධ වැඩසටහන් සංවිධානය කරමින් දරුවන් ‍පොතපතට කියවීමට හුරු කරවා ගැනීමට ක්‍රියා කරනවා. එමගින් අපි පාසලක් වශයෙන් සුවිශේෂී තත්ත්වයක් අත්කරගෙන තිබෙනවා. පසුගිය වසර දෙක තුළදීම ජාතික කියවීමේ මාසය, ජාතික සම්මාන දිනා ගැනීමට අප පාසල සමත් වුණා. මෙම වැඩසටහනට සමගාමීව “වියමන” නමින් පුවත් සඟරාවක් එළි දැක්වීමටත් කටයුතු කරනවා. මේ එළිදක්වන්නේ එහි තුන්වන කලාපයයි. අප වැනි ගම්බද පහසුකම් අඩු පාසලකින් මෙලෙස වාර්ෂිකව නිර්මාණ සංග්‍රහයක් එළිදැක්වීම ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ විශේෂ ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ.
* වියමන නිර්මාණ දායකත්වය කුමන පාර්ශ්වවලින් සමන්විත වෙනවාද?
 හොරණ අධ්‍යාපන කලාපයේ ඕනෑම පාසලක දරුවෙකුට මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකියි. ඒ විතරක් නමෛයි ගුරු භවතුන්ට සහ විදුහල්පතිවරුන්ට ද මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබෙනවා. හොරණ අධ්‍යාපන කලාපයේ පරිපාලන අධ්‍යක්ෂ ජී.ඩී.රංජිත් පේමසිරි මහතා, හොරණ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා, ඩබ්.ඒ.ප්‍රේමා විජේතුංග මහත්මිය පවා මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කර තිබෙනවා. එයට අමතරව, ප්‍රවීණ ‍ලේඛක ‍ලේඛිකාවන් වන රත්න ශ්‍රී විජේසිංහ, චූලානන්ද සමරනායක, පියසීලි විජේනායක, යමුනා මාලනී පෙරේරා මෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ඒ.වී.සුරවීර, ඩබ්.ඒ.අබේසිංහ, ඇරැව්වල නන්දිමිත්‍ර, ප්‍රේමරත්න අල්විස් ආදී වියතුන් වියමනට අදහස් දක්වා තිබෙනවා.
* පාසල් දරුවන් ‍පොත පත කියවීමෙන් ඈත් වෙලාද?
 විද්‍යුත් මෙවලම් භාවිතයත් සමග කියවීමේ පුරුද්ද යම් පසුබෑමකට ලක් වී තිබෙනවා. පාසල් පද්ධතිය තුළ කියවීමේ සංස්කෘතියක් නෑ. කියවීමේ ආයාසකර බවක් දරුවන් දකිනවා. ආයාසයකින් තොරව දැනුම අත්දැකීම් ලබා ගැනීමේ ක්‍රමවේද සඳහා දරුවන් වැඩිහිටියන් යොමුවෙලා තිබෙනවා. මේ ඔස්සේ පරිකල්පනය දියුණු වෙන්නේ නෑ. පරිකල්පනය දියුණු නොවූ ජාතියක් නිර්මාණය කිරීමෙන් මේ රටට සිදුවන්නේ බරපතළ හානියක්. පාසල් පද්ධතිය තුළ දැනුම ‍පොම්ප කිරීම මූලික කොට සැලකුවත් දරුවන්ගේ පෞරුෂ වර්ධනය ගුණ යහපත්කම් සංවර්ධනය, පරිකල්පනය, නිර්මාණශීලි භාවය දියුණු කිරීම ආදී ක්‍ෂේත්‍රවලදී සක්‍රීය කළ යුතු භූමිකාවන් තිබෙනවා.
එහෙත් නාගරික පාසල් සංස්කෘතිය තුළ මේ සංස්කෘතිය, සමාජයීය විෂය නිර්දේශය බැහැර කර තිබෙනවා. මෙය ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ ගැටලුවක්ම නොවෙයි. ජාතික ප්‍රතිපත්තියේ මේ ක්‍ෂේත්‍ර ඉලක්ක කොට තිබෙනවා. නමුත් තරගකාරී නාගරික සංස්කෘතිය තුළ පාසල මගින් මෙම භූමිකාවන් නොසලකා හැර තිබෙනවා. සමාජ අර්බුදය දිනෙන් දින උග්‍ර වෙමින් තිබෙනවා. මෙහිදී ප්‍රධාන වගකීම පාසලට පැවැරෙනවා. මේකට කාටවත් අත දිගු කරලා වැඩක් නැහැ. පාසල විසින් මෙය ආරම්භ කළ යුතුයි. පාස‍ලේ භූමිකාව විෂය නිර්දේශය සම්පූර්ණ කරමින් දරුවන් විභාගවලට සූදානම් කිරීමටම නොමෙයි. මේ වැරදි දර්ශනයෙන් අපේ පාසල් පද්ධතිය ගලවා ගත යුතුයි. මේ සඳහා ප්‍රබල සමාජ මැදිහත්වීමක් අවශ්‍යයයි. සමාජ බල කිරීමක් අවශ්‍යයයි. “අපිට විභාග ප්‍රතිඵල එපා. දරුවෝ ටික යහපත් මිනිස්සු කරලා දෙන්න”  යන සටන් පාඨය දෙමාපියන් තුළින් සමාජ ගත විය යුතුයි. මේ තත්ත්වය වෙනස් නොවුණොත් විභාග කේන්ද්‍රීය මානසිකත්වය සමාජයෙන් ඉවත් නොවුණහොත් මුළු සමාජයම අනාගතයේ විශාල අර්බුදයකට ලක් වෙනවා. එබැවින් පාසල වඩා සවිඤ්ඤාණක විය යුතුයි.
එවිට මේ අර්බුදයට විසඳුම් ලබා ගත හැකියි. අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ ව්‍යායාමයේ දිගටම නියැළෙමින් සිටිනවා.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි