රූපවාහිනියට ඇබ්බැහිවීමෙන් මනස විකෘති වූ ළමයි අද ඕනෑ තරම් ඉන්නවා
වර්තමානයේ දී දරුවන් අනවශ්‍ය ලෙස රූපවාහිනියට ඇබ්බැහිවීම මහත් ව්‍යසනයක් බවට පත්වී ඇත. ඇතැම් අවස්ථාවල අපට අසන්නට ලැබෙන්නේ රූපවාහිනියට අන්තර්ජාලයට ඇබ්බැහි වූ දරුවන් පොත පතෙහි ඉගෙනුම පවා අත්හැර දැමූ බව ය. දරුවන් පමණක් නොව වැඩිහිටියන් ද රූපවාහිනියට ඇබ්බැහිවීමෙන් සිදුවන හානිය පිළිබඳව කතාබහ කරන්නට අප හමුවූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය එස්.ටී. හෙට්ටිගේ මහතා ය.
“අද රූපවාහිනි වැඩසටහන්වල අවුරුදු දෙක තුන තරම් වයසේ දරුවන්ටත් වැඩසටහන් තිබෙනවා. ‘බේබි ටීවී’ වල කුඩාම ළමයින්ට වැඩසටහන් තිබෙනවා. මේ වැඩසටහන්වල ළමයාට හානිදායක යමක් නොතිබෙන්නට පුළුවන්.
නමුත් දරුවන් කුඩා ම වියේදී මීට ඇබ්බැහිවීම සුදුසු නැහැ. අවුරුදු හතර, පහ, හය වයසේ දරුවන් මේ වැඩසටහන්වලට ඇබ්බැහි වෙනවා.
කාටුන් අතර යථාර්ථවාදී නොවන, ළමා මනස විකෘති කරන, ළමයා මේ ලෝකයෙන් වියුක්ත කරන කාටුන් නිර්මාණ තිබෙන්නට පුළුවන්. ළමයා මේවාට ඇබ්බැහි වීම වෙනවා කියන්නේ ඔවුන් නිතරම ඒ ලෝකයේ හිඳීමයි.
ජනමාධ්‍ය අතර අද විශේෂයෙන් ම රූපවාහිනි නාළිකා බොහොමයක් තිබෙනවා. මේ අතර මහජන සුබසෙත වෙනුවෙන් කැපවුණු දැනුම අවබෝධය ලබාදෙන පරමාර්ථයෙන් ක්‍රියාත්මක වෙන කිසිම රූපවාහිනි නාළිකාවක් නැහැ. මේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ වාණිජ පරමාර්ථයෙන්. අද මාධ්‍ය හැම දෙයක් ම විකුණන මට්ටමට වැටිලා.
අද ප්‍රවෘත්තිත් විකුණනවා. බොහොම ඛේදනීය, චිත්තවේගයට පත්වන දෙයක් හෝ ප්‍රවෘත්ති මඟින් ඉදිරිපත් කරන්නේ සිනහ සෙමින්.
අද හැම නාළිකාවකම ටෙලිනාට්‍ය තිබෙනවා.
මේවායින් විකාශය වෙන්නේ වැඩිහිටියන් ඒ කෙරෙහි අද්දවා ගන්නා දේවල්.
මවුපියන් ඇබ්බැහි වෙලා නම් ළමයිනුත් එයට යොමුවෙනවා.
ළමයින් සෙල්ලම් කරන්න, දුවන්න පනින්න, නිදාගන්න තිබෙන කාලය තමයි රූපවාහිනිය ඉදිරියේ ගත කරන්නේ.
ශාරීරික හා මානසික වර්ධනය මෙයින් අඩාල වෙනවා. රූපවාහිනියට ඇබ්බැහි වීමෙන් ළමයාගේ ශාරීරිකක්‍රියාකාරිත්වය නැතිව යනවා.
ඒ වගේ ම ළමයා පාරිසරික යථාර්ථයෙන් ඉවත් වෙනවා. රූපවාහිනිය දෙස බලා ඉන්න කාලය වැඩි වෙන්න වැඩිවෙන්න ළමයාට ස්වාභාවික පරිසරය හා බද්ධ වීමට තිබෙන ඉඩ අඩුයි. ගස් කොළන් සතුන් ස්වභාවික පරිසරය සමඟ ගැටෙන්න තිබෙන කාලය අඩුයි.
මේ සියල්ලෙන් ම ළමයකුට ඉගෙන ගන්න දේවල් තිබෙනවා. නමුත් එය එසේ සිදුවන්නේ නැහැ.
ඉරපායන වෙලාවට ළමයාට අව්ව අවශ්‍යයි. ඒ විටමින් ඩී ලබාගැනීමට. සූර්යාලෝකයට අනාවරණය වීමෙන් විටමින් ඩී ලබාගන්නට පුළුවන්.
ඒ වගේ ම ළමයෙක් පරිසරය සමඟ ගැටීමෙන් විවිධ අය හඳුනා ගන්නවා. මිනිසුන් දකිනවා. ඔවුන් සම්ග කතා බහ කරනවා. පරිසරයේ වෙනස්කම් දකිනවා.
අන්තර් ක්‍රියා කාරකම් ඇති වෙනවා.
නමුත් රූපවාහිනියට ඇබ්බැහි වීම තුළින් ඒ සියල්ලම නැතිවී යනවා. කුඩා කල සිටම කළ යුතු දේ තිබෙනවා. සෙල්ලම් කිරීම, සමවයස් ළමයින් සමඟ ගැටීම, ගමේ ඇවිදීම, ගස් කොලන් හඳුනා ගැනීම ආදී දෙයින් ළමයා යමක් ඉගෙන ගන්නවා. ඒ වගේ පෙර පාසල් කාලයේදී ළමයි බොහෝ දේ දැනගන්නවා. අනිත් ළමයි සමඟ ගැවසීම නිසා සමාජානුයෝජනය වෙනවා. ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යාමත් සමඟ පාසලේ දී කියවීමේ හා ලිවිමේ හැකියාව ලැබෙනවා. ළමයා ක්‍රමයෙන් මේ දේවල් වැඩි දියුණු කරගන්නවා. භාෂාව ඉගෙන ගන්නවා. නොයෙක් දේ කියවන්න ලියන්න ඉගෙන ගන්නවා. එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගන්නවා. එමෙන්ම පිරිසක් ඉදිරියේ කතා කරන්න ඉගෙන ගන්නවා.
තමන්ගේ අදහස් ලිඛිතව ඉදිරිපත් කිරීමට පුරුදු පුහුණු වෙනවා. නමුත් මේ අධ්‍යාපන ක්‍රියාවලිය ඇනහිටීමට, ඕනෑවට වඩා රූප මාධ්‍යයට ඇබ්බැහි වීම බලපාන්න පුළුවන්. විවිධ කුසලතා වර්ධනය වීමත්, ශාරීරික මානසික වර්ධනය වීමක් සිදුවන්නේ නැහැ. දරුවාගේ පෞරුෂ වර්ධනය නැතිවෙන්නට පුළුවන්.
රූපවාහිනියට ඇබ්බැහිවීම තුළින් බාහිර ලෝකයා හා තිබෙන සම්බන්ධකම් නැති වෙන්න පුළුවන්. ‘කියවීම මිනිසා පූර්ණ මිනිසකු කරයි’ කිව්වත් දරුවා පොත පතින් ඈත්වීමක් සිදුවෙනවා. රූපවාහිනියට අමතරව අද ළමයි ජංගම දුරකථනයට හුරුවෙලා තියෙනවා. ළමයි මේ මගින් විවිධ සම්බන්ධකම් ඇති කරගන්නවා. කෙටි පණිවුඩ (ඉර්ඉ) හුවමාරු කිරීම මගින් ළමයින්ට හානිකර දේ හුවමාරු වෙන්න පුළුවන්.
අනවශ්‍ය සම්බන්ධකම් ගොඩ නැගෙන්නට පුළුවන්. අන්තර්ජාලයෙන් හානිකර දේ ලැබෙන්න පුළුවන්.
ජනමාධ්‍ය නොතිබුණ කාලයේ පොත් කියවීමට ඉඩ තිබුණා. පොතක් කියවීමට උවමනාවක් තිබිය යුතුයි. ඒ සඳහා කාලය, වෙන් කළ යුතුයි.
විනය හා ඉවසීම මේ මතින් ගොඩ නැඟෙනවා. නමුත් අද ඒ සියල්ලම ක්‍රමයෙන් අඩු වීමේ ප්‍රවණතාවක් තිබෙන්නේ.
මීට අවුරුදු හතළිහකට පෙර අවුරුදු පහළොවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන්ගේ කාලයේ ගත කළ ජීවිතය අද අයට ගත කරන්නට බැහැ. අද මාධ්‍යයට ඇබ්බැහි වීමෙන් විකෘති වූ ළමයි ඉන්නවා. අද ළමයින් තුළ නිර්මාණශීලී බව, කුසලතා වර්ධනය අඩුයි.
රටේ අනාගතයට අවශ්‍ය වෙන්නේ දැනුමෙන් නිර්මාණශීලී බවින් කුසලතාවෙන් පිරිපුන් පරපුරක්. මෙය රටේ මවුපියන්ගේ ජනමාධ්‍යයේ වගේ වගකිවයුත්තන්ගේ අවධානයට යොමු විය යුත්තක්.
මීට බොහෝ කාලයකට පෙර අපේ රටේ තිබුණේ එක ගුවන් විදුලියයි.
එය ව්‍යාපාරිකයන් හෝ දේශපාලනය විසින් පාලනය කළේ නැහැ. මේ කණ්ඩායම් දෙකෙන් ම තොරව පාලනය වූ ගුවන් විදුලිය දැනුම ලබාදීමේ සහ විනෝදය ලබාදීමේ අහිංසක ආයතනයක් ලෙසයි ක්‍රියාත්මක වුණේ.
මහජන සුබ සිද්ධිය සඳහා වෘත්තිකයන් විසින් මෙහෙයවන මාධ්‍ය ආයතන අද නැහැ.
වර්තමානයේ ළමයා රූපවාහිනි මාධ්‍යයෙන් නිදහස් විය යුතුයි. මෙහිදී සිදු කළ යුත්තේ සම්පූර්ණ ඈත් කිරීමක් නොවෙයි.
ළමයාට ළමා කාලය, ගත කිරීමට ඉඩ ලබාදිය යුතුයි. අපට කුසලතා පූර්ණ, නිර්මාණශීලී, බාල පරපුරක් හදා ගැනීමට අවශ්‍යයි. ඒ එවැනි බාල පරපුරක් නැතිව රටක ඉදිරි ගමනක් යා නොහැකි නිසයි.
ළමයින්ට පොත පත කියවන්නට යම් යම් දේ අත්හදා බලන්නට ඉඩ ලබාදිය යුතුයි.
එවිටයි අපට නිර්මාණශීලී කුසලතා පූර්ණ පිරිසක් බිහිකර ගැනීමට හැකියාව ලැබෙන්නේ. දරුවන් රූපවාහිනි මාධ්‍ය කෙරෙහි තිබෙන ඇබ්බැහි වීම අවම කිරීම කොයි කාගේත් යුතුකමක්.
අද කතාබහ
3 comments:
විදුල එකේ හරි පුදුම ඉස්කෝලේ යනවද ???
ඔව් මලින්ද,
හැම සදුදාම සවස 02.20 ට විදුල ළමා ලෝකය අහන්න.
එෆ් එම් 91.7, 91.9
ගොඩක් ස්තුතියි, මං ගොඩක් මේක ගැන හෙව්වා, ඒත් හම්බුනේ නෑ,
හොඳයි බ්ලොග් එකක් කරපු එක.
ස්තුතියි.
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි