Sunday, March 10, 2013

චූටි දූගේ චූටි උවමනාව.....


චූටි දූගේ චූටි උවමනාව.....

දිනය : 2010.05.01
වෙලාව : හරියටම මතක නැහැ. උදේ 11.30 නම් පහුවෙලා

රේඩියෝ එකේ මම දාල තිබ්බෙ “විදුල ළමා ගුවන් විදුලි සේවය (FM 102.6)“. නිවේදිකාවක් තමා වැඩසටහන මෙහෙයවමින් හිටියේ. ඉතින් චූටි දූත් අම්මෙ අපි අදත් සිංදුවක් කියමුද කිවුවා. එයා කලින් දවසකත් විදුලට කථා කරලා සිංදුවක් කිවුවා. ඒ නිසා තමා ඉතින් මම මේ කියන දවසෙත් සිංදුවක් කියන්න ඕනි වුනේ.

ඉතින් මමත් 0112........... අංකනය කළා. සාමාන්‍යයෙන් සිංදුවක් යද්දි පිළිතුරු දෙන්නෙ නැහැනෙ. නමුත් මෙන්න එකපාරටම ගැහැණු කෙනෙක් කථා කළා.

ඇය: “හෙලෝ“
මම: “විදුලද?“
ඇය: “විදුල විදුල..“

චූටි දූට රිසිවරය දුන් මා නැන්දෙක් කථා කරනවායි පැවසීමි.

දූ: “නැන්දෙ මට සින්දුවක් කියන්න ඕනි“
ඇය: මොනවාද පවසන්නට ඇත.

දූ මට රිසිවරය දුන්නාය.

මම: “හෙලෝ“
ඇය: “අම්මද?“
මම: “ඔව්“
ඇය: “දුවට වයස කීයද?“
මම: “5යි“
ඇය: “අනේ, මේ වෙලාවෙ ෆෝන් එක විදුලට කනෙක්ට් කරන්න බැහැනෙ. කනෙක්ට් කරන මැෂින් එක අකුණකට පිච්චිලා“

හා හොඳයි කීමි. නැවත ටික වේලාවකින් ඒ බව නිවේදිකාව දැනුම් දුන්නාය. “ආදරණීය දුවේ පුතේ අපට ලොකු පාඩුවක් වෙලා තියෙන්නෙ. අකුණක් නිසා අපට ඔයාලව සජීවීව සම්බන්ධ කරගන්නට නොහැකි වෙලා තියෙනවා. ගොඩාක් කල් යන, ගොඩාක් සල්ලි යන දෙයක් තමා වෙලා තියෙන්නෙ“ ඇයගේම වචනවලින් නොවුනත් ඇය කිවූයේ මේ අදහසයි.

අනේ අපේ චූටි දූගෙ බෙරි මුහුණ......
ඊටත් වඩා නංගී සින්දු කියන තෙක් බලා සිටි අක්කාගේ මැලවුණු මුහුණ.....

කෙසේ වෙතත් සියළු බාධක හමුවේ නොසැලී අපේ ගුවන් විදුලිය තවමත් ක්‍රියාකාරීය... එය අපට මහත් අස්වැසිල්ලකි. ඉතා ඉක්මනින් එම යන්ත්‍රය යථා තත්ත්වයට පත් කරලන්නට සභාපතිතුමා ඇතුළු සැමට හැකිවේවායි පතනු හැර මට කළ හැකි අන් යමක් වේද?

මගේ දියණිය 2010 ජනවාරි 10 දින විදුල ගුවන් විදුලිය හරහා ගැයූ ගීතය මෙහි සඳහන් කරනු කැමැත්තෙමි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි